ආණ්ඩුව යන වේගය

ආණ්ඩුව යන වේගය

77 බලයට ආව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අවුරුදු 17ක් හොල්ලන්න බැරිව තියෙද්දී ඒක පෙරළන වැඩේ භාර ගත්තේ ‘චන්ද්‍රිකා’ය. පොදු පෙරමුණ ඡන්දෙට බැස්සේ ආකර්ෂණීය චරිතයක් වෙච්ච චන්ද්‍රිකා පෙරටු කොටගෙන කැපී පෙනෙන පොරොන්දු ගොන්නක්ද එක්කය.අල්ලස-දූෂණය පිටුදැකීම, ප්‍රජාතන්ත්‍රවාදය-මානව හිමිකම් සුරැකීම, රජයේ අනවශ්‍ය වියදම් පාලනය කොට නාස්‌තිය අඩුකිරීම, වැරැදි කළ පාලකයන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම, ජනවාර්ගික ගැටලුවට තිරසාර විසඳුමක්‌ ලබාදීම, ජීවන වියදම අඩුකිරීම, සමෘද්ධි සහනාධාර පිරිනැමීම හා තරුණයන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීම වගේ පොරොන්දු පොදු පෙරමුණ වෙත ‘රැල්ල’නිර්මාණය කරන්නට සමත් විය.

කරට කර තරඟයක් දෙමින් ප්‍රතිපල එනකොට පක්ෂ දෙකේ ප්‍රභලයෝ හිටියේ වෙන්නේ මොනවද කියලා හිතා ගන්න බැරිවය . ප්‍රතිඵලය අනුව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ නිත්‍ය බහුතරය හිමිකර ගැනීමට කිසිදු පක්‍ෂයක්‌ අසමත් විය. ඡන්ද ප්‍රතිඵල පිටවූ පසු ආණ්‌ඩුව පිහිටුවීමේ අදහසින් පො.එ.පෙ. මෙන්ම එ.ජා.ප.යද සුළු ජාතික පක්‍ෂ සමග සාකච්ඡා කොට තිබිණි.එක්සත් ජාතික පක්ෂයේ ගාමිණී දිසානායක ඒ පක්ෂය වෙනුවෙනුත්,පොදු පෙරමුණේ චන්ද්‍රිකා ඒ පක්ෂය වෙනුවෙනුත් වෙහෙසෙමින් හිටියේ සුලු පක්ෂ දිනා ගන්නටය.කොහොම නමුත් චන්ද්‍රිකා ‘ඉක්මන්’ වූවාය.1994 අගෝස්‌තු 19 වැනිදා පෙ.ව. 10.14 ට එතෙක් පැවති දාහත් වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය නිමා විය.එක් බහුතර ආසනයක් තියාගෙන ‘චන්දිකා කුමාරණතුංග’ආණ්ඩුව හැදුවාය.

ඒ වෙනකොට රටේ තිබ්බේ ශාපලත් දේශයක් බව ලෝකයාම කීය.අස්ථාවර රටක්,උද්ධමනය ඉතිරී ගිය රටක්,ගොවීන් දිවි නසා ගන්නා රටක්,ජාස්තීන් අතර විරසකය පිරි රටක්,තෞණයින් නන්නත්තාර වූ රටක්,විරැකියාව ,දුප්පත්කම ඉහවහා ගිය රටක්,සියල්ල දේශපාලනීකරණය වූ රටක් චන්දිකා භාර ගත්තාය.

එතැන් සිට ඈ ආණ්ඩුව කරගෙන ගියේ තනි වැඩි ඡන්දයකින් ය.එකකට එකක් නොපෑහෙන පක්ෂ එකතුවක සභාගයක් වූ පොදු පෙරමුණ එකට එකතු කරගෙන යන්න ඈ සමත් වූවාය.ඒ විතරක් නොවේ ඈ ශ්‍රී ලනිපය දෙකඩ නොවෙන සේ රැකගෙන ගියා ය.

ජාතික ආණ්ඩුවකට කියා පස්සේ සරත් අමුණුගම ඇතුලු පිරිසක් පොදු පෙරමුණට ගියද පාලන රටාවේ ‘වෙනසක්’තිබ්බේ නැත.

මයිත්‍රීපාල සිරිසේන බලයට එන්නේද අවුරුදු 20ක් ඉක්මවූ ‘සන්ධාන’ පාලනය පෙරළා දමාය.එහෙමත් නැත්නම් මහින්දගේ දස වසරක පාලනය පෙරළා දමා ය.එදා 94 පොදු පෙරමුණ එක්සත් ජාතික පක්ෂ පාලනයට නැගූ චෝදනා ඒ විදිහටම වගේ මෙදා මහින්ද පාලනයට එරෙහිව නැගෙමින් තිබුණේය. අතුරුදන් වීම්,පවුල් පාලනය,දූෂනය,හොරකම්,මෙගා ඩීල්,ජාතිවාදය,උද්ධමනය,අරාජික රට වගේ බොහෝ චෝදනා මහින්දගේ ආන්ඩුවට එරෙහිව තිබ්බේය.

‘මිනිහෙක් බුලත් විටක් කාල කෙල ගැහුවත් දඩ ගහන රටක් මේක.තව දුරටත් මේ පාලකයොන්ට මේ විදිහට යන්න දෙනවද?’ඒ කාලයේ ජවිපෙ,මහින්දගේ ආණ්ඩුව ‘පතුරු ඇරියේ’එහමය.

වෙනකක් තියා මෛත්‍රීපාල සිරිසේන මහතා වරක් කීවේ ‘තමාව ඝාතනය කිරීමට සැලැස්මක් තියෙනවා‘ කියලාය.ඒකට අනුර 2013 පෙබරවාරි 28 හිඟුරක්‌ගොඩ ගෝල්ඩන් ෆ්ලවර් හෝටලයේ දී අපූරු උත්තරයක් දුන්නේය.

මේ දවස්‌වල මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයා මාධ්‍ය ඉස්‌සරහට ඇවිත් කියනවා තමන් ඝාතනය කිරීමේ සැලැස්‌මක්‌ තියෙනවා කියලා. හැබැයි ඒකේ කර්තෘ අඥාතයි. මම එතුමාට කරන උදව්වක්‌ හැටියට ඒ චෝදනාව කරන්නේ කාටද කියලා කියන්නම්. මේ රටේ ප්‍රබලම පවුල ගැනනේ එතුමා ඔය වහෙන් ඔරෝ කියන්නේ.මෛත්‍රිපාල මහත්තයාම කියනවා එතුමා ශ්‍රීලනිප සාමාජික වෙලා අවුරුදු 43ක්‌ වෙනවා කියලා. ඒ වගේ කෙනෙකුටත් මරණ භය දැනෙනවා නම් රට ගමන් කරන්නේ කොහාටද කියලා ඔබට සිතා ගන්න පුළුවන් නේද?

මේක කීවේ රට තිබූ තත්ත්වය ගැන සරළම ඉගියක් ඉන් ලබා ගන්න පුලුවන් හින්දාය.

එහෙම ආණ්ඩුවක් පෙරළලා මේ ආණ්ඩුව පත් වුණේ මෙරට ඉතිහාසයේ ලොකුම වෙනස කරමින් ය.94 ආණ්ඩුව හදන්න සිවිල් සංවිධාන,කලාකරුවන්,මාධ්‍යවේදීන්,විද්වතුන් ආදී ප්‍රජාව රොද බැන්ද අතර යහපාලන ආණ්ඩුව ගේන්නත් ඒ පිරිසම එකට ගොනු වූහ.ඔවුන් අපේක්ශා කළේ ‘යහපාලනය’පිරි රටක් ය.අලුත් ව්‍යවස්ථාවක් හදා,විධායක ජනපති ධූරය අහෝසිකොට,යහපත් දේශයක් ජනතාව බලාපොරොත්තු වූහ.මාදුලුවාවේ සෝබිත හිමියෝ යහපාලන ආණ්ඩුව ගෙන ඒමේ ප්‍රමුඛ කාර්යයක් කළ ‘යතිවරයෙක්ය’.උන් වහන්සේ අපවත් වන තුරුම කීවේ ‘අලුත් රටක්’හදන්න කියලාය.ජනපතිට නිතර කීවේ,තමුන් ආපු වැඩේ මාස 06 කින් ඉවර කරලා ගෙදර යන්න කියලාය.

පක්ෂ පාට නොසලකා රට ගැන හිතන්න කියා උන්වහන්සේ ‘අනන්තවත්’කීය.

මේ පක්ෂ දෙක කතිකා කර ගත්තේ ‘එකට එක්වී’ගමනක් යනවා කියලාය.හැබැයි ‘මහින්ද’එක්කත් කොටසක් ඉන්න බව ඒ අය අමතක කළහ.දැන් පිලිගත්තත් නැතත් ශ්‍රීලනිපය දෙකට කැඩිලාය.ඒ මදිවට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝත් ‘අතරමං’වෙලාය.ජනවාරි 8 වෙනස හීනෙන්වත් නොසිතූ මිනිස්සු දැන් ජනපති සෙවනේය.මහින්දව ගේන්න රෑ දවල් නැතිව දර දිය ඇද්ද අය දැන් මයිත්‍රීට උපදෙස් දෙන්න එනවාය.ආණ්ඩුව කරන්න ඕන හැටි කියන්නේ ඒ අය ය.

මේ ආණ්ඩුව ඩීල් දාන්න ඕන ආන්ඩුව ගේන්න මැරිච්ච මිනිස්සු එක්ක.ඒත් මුන් ඩීල් දාන්නේ ආණ්ඩුව පරද්දන්න ගේම් ගහපු උන් එක්ක..‘

මිනිස්සු කියන්නේය.

ලක්ෂ හැට දෙකක් ජනතාව එකතු වී රටේ නායකත්වය භාර දුන් පසුත් මෛත්‍රී තමාට ඡන්ද ලක්ෂයක්වත් නොදුන් පක්ෂය භාර ගන්නට යාමේ උභතෝකොටිකය දැන් තීරණාත්මක තැනකට ඇවිත් ය.යහපාලන පොරොන්දු ප්‍රකාරව වැඩ කරන්න ජනපතිට හෝ ආණ්ඩුවට ඉඩ නොදෙන්නේ මහ ඡන්දෙත් මහින්දගෙන් ඉල්ලා පස්සේ මෛත්‍රී ගාවට ආව අය ය..‘ආණ්ඩුවෙන් අපි ළඟදීම යනවා‘ කියා කියන්නෙත් ඒ අය ය.

මොකක් හරි ප්‍රශ්නයක් එනකොට ශ්‍රීලංකා එකේ මන්ත්‍රීලා,ඇමතිවරු,වැරැද්ද පාස් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට ය.හැබැයි අනෙක්වාගේ වාසිය ගන්නේද ඔවුන් ය.

චන්ද්‍රිකා ආණ්ඩුව එක ආසනයක් තියාගෙන වසර දහයක් ආව හැටිත්,යහපාලන ආණ්ඩුව යන හැටිත් අහසට පොලව වගේය.මේ ගිලිහී යන්නේ මෙරට ඉතිහාසයේ ‘හොඳින්ම කරන්න තිබ්බ ආණ්ඩුවක් ‘නාගනිමින්’සිටින වකවානුව කියා සමහරු කියයි.හැබැයි එක් දෙයක් කිව යුතුය..වැඩියෙන්ම වැරදි කරපු ආණ්ඩුව මේ ආණ්ඩුවද,මහින්දගේ ආණ්ඩුවද කියා කෙනෙක් ඇසුවොත්,තාමත් මහින්දගේ ආණ්ඩුව ‘වැරදි’අතින් ඉන්නේ මේ ආණ්ඩුවට වඩා ගොඩාක් ඉස්සරහින්ය.හැබැයි මහින්දගේ ආණ්ඩුව ‘වැරදි’පස්සේ දිව්වේ සීයක වේගයෙන් නම්,මේ ආණඩුව යන්නේ එකසිය චණහක වේගයෙන්ය.මෙහෙම ගිහිං මහින්දගේ ආණ්ඩුව පසු කරන දවසත් එනු ඇත.මිනිස්සු තාමත් ප්‍රාර්ථනා කරන්නේ එහෙම නොවෙයි කියා ය.