ශෂීට අධ්‍යක්ෂවරු හය දෙනෙක්ගෙන්ම ලිංගික යෝජනා ඇවිල්ලා

ශෂීට අධ්‍යක්ෂවරු හය දෙනෙක්ගෙන්ම ලිංගික යෝජනා ඇවිල්ලා
ශෂි ඇංජලීනා කියන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම ගීත රූප රචනා ප්‍රමාණයක රඟපෑ නිළියද?
මම මේ වෙද්දී ගීත රූප රචනා 151 රඟපාලා තියෙනවා. Music Video සම්බන්ධව කතා කරන අවස්ථාවලයි, මම ගැන කතා කරන අවස්ථාවලදීයි ලංකාවේ වැඩිම ගීත රූප රචනාවල රඟපෑ නිළිය කියලා තමයි මාව හඳුන්වන්නේ.
නිරුවත, අඩනිරුවත හෝ සරාගී දර්ශන ඇතුළත් Music Video වලට ශෂී දායක වෙලා තියෙනවාද?
සාමාන්‍ය ජීවිතයේදී මම බටහිර විලාසිතා අනුගමනය කරනවා. කොටට අඳිනවා. Music Video වලටත් ඒ විදියට අඳිනවා. හැබැයි ඔය කියපු විදියේ දර්ශනවලට නම් පෙනී ඉඳලාම නැහැ.
අද වෙද්දී සරාගී දර්ශන Music Video වලට ඇතුළත් කිරීම රැල්ලක් වේගෙන එනවා. ශෂී ඒ ගැන මොකද කියන්නේ?
Youtube වල දෙස් විදෙස් Music Video අති විශාල ප්‍රමාණයක් සැරිසරනවා. ඔය අතරින් බහුලව තියෙන්නේ ලිංගිකත්වය මතු කරන ඒවා. අදාළ කතාවට අනුව කලාත්මකව එය මතුකළාට වරදක් නැහැ.
එවැනි නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ශෂී රඟපානවාද? 
නැහැ
එහෙනම් නිර්මාණයට අනුව එවැනි දර්ශන ඇතුළත් කිරීම වැරදි නැහැ කියා ඔබ කිව්වේ?
නිර්මාණයට අනුව එවැනි දර්ශන ඇතුළත් කිරීම වැරදි නැහැ. ඒත් Music Video එකක හෝ උසස් සිනමා නිර්මාණයක හෝ කවර නිර්මාණයක හෝ එවැනි දර්ශනවලට මම යන්නේ නැහැ. එය මගේ පෞද්ගලික ප්‍රතිපත්තියක්.
ශෂී ගීත රූප රචනා සඳහාම බිහිවූ ශිල්පිනියක්ද?
නැහැ. මම වසර ගණනක් ‘දෙරණ’ නාලිකාවේ නිවේදිකාවක් විදිහට කටයුතු කළා. දැන් ‘සියත’ රූපවාහිනියේ නිවේදිකාවක් විදියට කටයුතු කරනවා. මේ වෙද්දී ටෙලි නාට්‍යය 4ක රඟපාලා තියෙනවා. සිනමාව තුළ නම් චිත්‍රපට දෙකක විතරයි රඟපාලා තියෙන්නේ.
ඊට හේතුව එවැනි අවස්ථා අඩුවෙන් ලැබෙන නිසාද?
(හිනැහී) අවස්ථා ලැබෙනවා. ඒත් හොඳ අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්.
ඒ කිව්වේ?
රඟපෑ චිත්‍රපට ප්‍රමාණය 2ක් වුණාට මේ වෙද්දී මම චිත්‍රපට 6ක් ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා. ඒ චිත්‍රපට හයේම අධ්‍යක්ෂවරු මට ලිංගික යෝජනා ගෙන ආවා. ඒ හින්දයි ඒ අවස්ථා ප්‍රතික්‍ෂේප කළේ.
ඒ කියන්නේ නවක නිළියන්ට ඒ වගේ සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා?
අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. හැබැයි ඒ අධ්‍යක්ෂවරු 6 දෙනාම මට කිව්වේ නිළියක් වෙන්න නම් ඒ විදියේ කැපකිරීමක් කරන්න ඕනේ කියන එක. ඒ අතරින් පස්දෙනෙකුට මම කෙළින්ම විරෝධය එල්ල කළා. එක්කෙනෙකුට තදින් කතා කරලා බනින්නත් සිදුවුණා.
ඒ අය ක්‍ෂේත්‍රයේ නමක් ඇති අයද? 
ඔව්, නවක අය වගේම ප්‍රවීණ අධ්‍යක්ෂවරුත් එතැන හිටියා.
ශෂීගේ පෞද්ගලික තොරතුරු මොනවාද?
මම බණ්ඩාරවෙල දියතලාවේ. දැන් නම් පදිංචිය කොළඹ. මම වෙනත් වෘත්තියක් කරන්නේ නැහැ. රඟපෑම හා නිවේදනය විතරයි කරන්නේ.
ආදරය ගැන කියන්න කැමති නැද්ද?
ආදරය ගැන කියන්න විශේෂ දෙයක් නෑ. අම්මයි, මල්ලියි, මමයි ආදරෙන් ජීවත් වෙනවා.
ආරියවංශ කුලතිලක – ලක්බිම