රවීගේ ඉල්ලා අස්වීමේ 24 පැය මෙහෙයුම

රවීගේ ඉල්ලා අස්වීමේ 24 පැය මෙහෙයුම

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසු කළ ප්‍රකාශ වලට අනුව සමාජය තුල මහත් ආන්දෝලනයක් ඇති විය. මෙම සිද්ධිය ඇති වූ පසු රවී කරුණානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කථා කර ප්‍රකාශ කර ඇත්තේ මට විදේශීය නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට ඇති බවයි. මතු වූ තත්ත්වය මත අමාත්‍යාංශය තුල රාජකාරී කටයුතු සිදු කළ හැකි දැයි අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.
ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කිසිදු ප්‍රශ්නයක් නැහැ අමාත්‍යාංශයේ වැඩකටයුතු කරන්නත ලබන බදාදා මෙම සිද්ධිය පිළිබදව කථා කරමු. යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඉන් පසු අග්‍රාමාත්‍යවරයා සමග ද රවී කරුණානායක අමාත්‍යවරයා සාකචිඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දුරකථන ඇමතුමක් ලබාදුන්නේය. ඒ වන විට සෞඛ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරිම සදහා ගොස් සිටියේය. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රශ්නය විසදිය යුතුයි.
ඔබ තුමා රවී සමග සාකචිඡා කරන්න. එවිට අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ රවී කරුණානායක මහතා ඔබගේ හොදම මිතුරෙකු බැවින් ඔබ සාකචිඡා කරන්න. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ මම විතරක් සාකචිඡා කරලා වැඩක් නැහැ. අනෙක් අය හිතයි මට විතරයි වුවමනාවක් තිබෙන්නේ කියා. මට රවී කරුණානායක මහතා ප්‍රකාශ කළා ජනාධිපතිවරයා බදාදා දින මේ පිළීබදව සාකචිඡා කරන බව. යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ මම කොළඹ ඇවිත් රවී සමග සාකචිඡා කරන්නම් කියලා.
ඉන් පසු අග්‍රාමාත්‍යවරයා යළි කියා සිටියේ මේ ගැන ඔබතුමා අවධානය යොමු කරන ලෙසයි. ඉන් පසු අග්‍රාමාත්‍යවරයා සහ රවී කරුණානායක අමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී රවී කරුණානායක අමාත්‍යවරයා කියා සිටියේ මම ඉවත් වන්නේ ඇයි කොමිසන් සභාවේ සිටි කොමසාරිස්වරුන්ගෙන් මට ප්‍රශ්ණයක් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණි නීතිඥවරයාගෙන් තමයි මට ප්‍රශ්නයක් ඇති වුනේ. යැයි රවී කරුණානායක මහතා පැවැසීය. එම සාකචිඡාවට තිනියාවල පාලිත හිමියන් ද සහභාගි වී සිටියහ. තිනියාවල පාලිත හිමියන් එම අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් පැවැසුවේ රවී කරුණානායක මහතාගේ ප්‍රශ්ණය විසදන්න පුලුවන් රාජිත ඇමැතිතුමාට විතරයි. ඔබ තුමාට මොළයක්, හදවතක් සහ පිටකොන්දක් තිබෙනවා.
එම නිසා මෙම ප්‍රශ්ණය රවී කරුණානායක මහතාට තේරෙන විදිහට පහදා දෙන්න යැයි ඉල්ලා සිටියහ. ඉන් පසු පසුගිය සදුදා රාත්‍රීයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නිවසේ දී රාජිත සේනාරත්න මහතා, රවී කරුණානායක මහතා සහ තිනියාවල පාලිත හිමියන් සාකචිඡා කිරිමට සුදානම් වුවද එය මගහැරී ගියේ ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් රාජිත සේනාරත්න මහතාගේ නිවසට පැමිණ සිටීම හේතුවෙනි.  එම නිසා අදාල රැස්වීම පසු දින පැවැත්වීමට තීරණය විය. අගහරුවාදා උදෑසන එම සාකච්ඡාව රවී කරුණානායක අමාත්‍යවරයාගේ නිවසේ දී පැවැත්විනි. එහිදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රවී කරුණානායක මහතාට මෙලෙස ප්‍රකාශ කළේය.
“මෙම අවස්ථාවේ දී පක්ෂය ගැන හිතන්න. ඔබගේ කීර්තිනාමය ගැන හිතන්න. එක පියවරක් පිටු පස්සට ගන්නා විට තවත් පියවර දෙකක් ඉදිරියට යන්න පුලුවන්. මෙතන ප්‍රශ්ණයක් තිබෙනවා. සමාජය තුල ඔබතුමා පිළිබදව වෙනත් මතයක් නිර්මාණය වෙලා. මාධ්‍ය මගින් විවේචනය කරනවා. ඒ ගැන සොයා බලන්න.” යැයි පැවැසීය. මෙම අවස්ථාවේ දී රවී කරුණානායක මහතා පෞද්ගලික බැංකුවක ණය රිසිට් පත් පවා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ මම හොරකම් කර නිවාස ලබාගන්නටවත්, වෙළෙද ව්‍යාපාර සිදු කරන්නටවත් කැමැති නැති පුද්ගලයෙක් බවයි. මම මේවා කොමිසන් සභාවටත් ඉදිරිපත් කළා. කොමසාරිස් වරුන් පිළිගත්තත් රජයේ නීතිඥවරයා එය පිළි නොගෙන තර්ක කළා. එවිට කොමසාරිස් වරුන් ඔහුට අවවාද කළා. මම මොනව කිවුවත් වැඩක් වුනේ නැහැ. යැයි රවී කරුණානායක මහතා පැවැසීය. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මම මිතුරෙක් විදහට කියන්නේ.
අවසන්  තීරණයක් ගන්න. යැයි ප්‍රකාශ කරමින් එතනින් ඉවත් වූයේය. එවිට රවී කරුණානායක මහතා නිශ්ශබ්දව සිටීම විශේෂ කරුණක් විය. ඉන් පසු එදින පස්වරුවේ රවී කරුණානායක මහතා යළී සෞඛ්‍ය අමාත්‍යවරයාට දුරකථන ඇමැතුමක් ලබා දී ප්‍රකාශ කළේ “රාජිත මම ඉවත් වෙන්නම් ඔයා කියන නිසා. ඔයා හොදට දේශපාලන හැසිරීම දන්නවා.” යැයි පැවැසීය. බ්‍රහස්පතින්දා පෙරවරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වූ පසු සෞඛ්‍ය අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට මෙසේ ප්‍රකාශ කළේය. “රවී අස්වෙන්න සුදානම්. මම කථා කරලා තියෙන්නේ. ඔබ තුමාලා දෙදෙනා කථා කරන්න එපා කැබිනට් රැස්වීමෙන් පසු රවී සමග සාකච්ඡාවක් කරමු” යැයි පැවැසිය. එවිට අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ රාජිත ඔයත් එම සාකච්ඡාවට එන්න කියායි. ඒ අනුව කැබිනට් රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, රවී කරුණානායක මහතා සහ රාජිත සේනාරත්න මහතා අතර රහසිගත සාකචිඡාවක් පැයක පමණ කාලයක් පැවැත් වුනි. එහිදී ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.
“රවී මම ගැන නොයෙකුත් කථා ඔයාට ඇතැම් අය කියලා තිබෙනවා. ඒවායේ සත්‍යතාවයක් නැහැ. කොමිසන් සභාවේ සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයා පිළිබදව මම දන්නේ නැහැ. එයාගේ බිරිද ළමා රක්ෂක අධිකාරියේ සභාපති ධූරයට යෝජනා කළේ චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යතුමිය විසින්. මම පත් කළා විතරයි. ඒක නිසා මට ඔයා සමග කිසිදු තරහක් නැහැ. අමනාපවීමේ අවශ්‍යතාවයකුත් නැහැ. මතුව ඇති ප්‍රශ්ණය මත දේශපාලන තීන්දුවක් ගත යුතුයි” යැයි ජනාධිපතිවරයා කියා සිටියේය. ඉන් පසු රවී කරුණානායක අමාත්‍යවරයා පැවසුවේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දෙසතියක් තුල මා පිළිබද ජනාධිපතිවරයා තීරණයක් ගන්නා බව මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර ඇති බවයි. එවිට ජනාධිපතිවරයා පැවැසුවේ මම ලක්ෂ්මන්ට කිසිවක් ප්‍රකාශ කළේ නැහැ. එය අමූලික බොරුවක්. එක එක්කෙනාගේ හිතේ තිබෙන දේවල් මාධ්‍යයට කියනවා. සති දෙකක් විතර ලක්ෂ්මන් දැක්කෙත් නැහැ. යැයි පැවැසීය. රවී කරුණානායක අමාත්‍යවරයා ඉන් පසු කියා සිටියේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන කාලයෙත් මට විරුද්ධව එවැනි ප්‍රකාශ මාධ්‍යයේ පළ කළ බවයි. එවිට ජනාධිපතිවරයා සදහන් කළේ මම ඔබතුමාට ඉල්ලා අස්වෙන්න යැයි දැනුම් දුන් කථා බොරු. පත්තරවල වාර්තා බොරු යැයි කියා සිටියේය. එවිට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේ මට රවී දුරකථනයෙන් කථා කළා. මම එවිට හිටියේ අනුරාධපුරයේ මම කිවුවා කොළඹ ඇවිත් කථා කරමු කියලා. ඉන් පසු කොළඹ ඇවිත් කථා කළා. රවී දැන් සුදානම් රජයත්, පක්ෂයත් බේරා ගනිමින් සාධාරණ තීන්දුවකට එන්න. යැයි පැවැසීය. ඉන් පසු රවී කරුණානායක මහතා සදහන් කළේ ඔබ තුමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට මම කැමැත්ත පළ කළා. ඒ ගැන මට මුලින්ම කිවුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා. එම තීන්දුවට අනුව ඔබ තුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළා. තීන්දු තීරණ රැසක් ගත්තා. ඒ රට වෙනුවෙන්. නායක තුමා බේරා ගැනීමට කටයුතු කළා. නමුත් කිසිදු කැපවීමක් නොකළ පිරිස් තමයි අපට දැන් චෝදනා කරන්නේ. මම පක්ෂයත්, ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් ගැන හිතලා රාජිත සේනාරත්න අමාත්‍යවරයා සමග දිර්ඝව සාකචිඡා කළා. මම රජය විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එම නිසා මම අද ඉල්ලා අස්වෙනවා යැයි ප්‍රකාශ කරමින් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර එය ජනාධිපතිවරයාට බාරදෙන ලදි. එය අතිශය හැගුම්බර මොහොතක් විය. ඉන් පසු ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන පසු දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශ කරමින් ඉල්ලා අස්වීම රටටම ප්‍රකාශ කරන ලෙස දැනුම් දෙන ලදි. ඒ අනුව රවී කරුණානායක මහතා බ්‍රහස්පතින්දා දහවල් 1.30 ට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වූයේය. මෙම ඉල්ලා අස්වීමෙන් පසු රවී කරුණානායක මහතා පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිවට විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට සැළසුම් කරන ලදි. එම මන්ත්‍රීවරුන් සදහන් කළේ රවී කරුණානායක මහතා ඉල්ලා අස්වූවත් පසුගිය රජය සමයේ වංචා, දුෂණ සහ මනුෂ්‍ය ඝාතන සිදු කළ පිරිස් වලට මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැති බවයි.  කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා පස්වරුවේ රවී කරුණානායක මහතාගේ නිවසේ දී තවත් සාකච්ඡාවක් පැවැත්විනි. ඊට අග්‍රාමාත්‍යවරයා ද, සෞඛ්‍ය අමාත්‍යවරයා ද සහභාගි වී සිටියහ. එහිදී සාකච්ඡා කෙරුනේ පසුගිය රජය සමයේ වංචා දුෂණ සහ මනුෂ්‍ය ඝාතන සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම පිළිබදවයි. ලබන සතියේ දී ඒ සදහා ක්‍රියාමාර්ග ගැනීමට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු විය. මෙම අවස්ථාවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අනවබෝධයක් පවතීන්නේ නම් එය දුරු කළ යුතු බවයි. ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට තීන්දු ගන්නා බව ඔබ තුමා සිතනවා. ඔබ තුමා මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න හදනවා කියලා ජනාධිපතිවරයා සිතනවා. එම අනවබෝධය නැති කිරීමට නම් පසුගිය රජයේ නායකයින්ට එරෙහිව ඇති දුෂණ, වංචා, මනුෂ්‍ය ඝාතන පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.