රවී යහපාලනේට කිරි එකතු කරද්දී සමහරු ගොම එකතු කරනවා

රවී යහපාලනේට කිරි එකතු කරද්දී සමහරු ගොම එකතු කරනවා

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම අලුත් සම්ප්‍රදායකට මුල පිරීමක් බවත්, එය ඉදිරි පරීක්ෂණවලට හොඳ විසඳුමක් බවත් ඒ මහතා කියා සිටියේය.

මේ මඟින් එජාපයේ ප්‍රජාතන්ත්‍රවාද මනාව  ඉස්මතුවන බවත්, එය පක්ෂයේ ඉදිරි පැවැත්ම සඳහා කදිම අඩිතාලමක් බවත් ඔහු පැවසීය.

එමෙන්ම හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ කාලයේද මෙවැනිම ප්‍රශ්න ගැටළු තිබූ බවත්, අර්ථසාධක මුදල් ගැන ප්‍රශ්න විශාල වශයෙන් තිබූ බවත්, කියා සිටි ඒ මහතා පැවසුවේ ඒවා වාසුදේව නානායක්කාර මහතා විසින්  පැමිණිලි කර ඔප්පු කළද ඊට නිසි විසඳුම් ඒ කාලයේ නොලැබුණු බවයි.

එපමණක් නොව තාජුඩීන් ඝාතනය ඝාතනයක් ලෙස ඔප්පු වී තිබියදී එය අනතුරකින් සිදු වූ මරණයක් ලෙස ඔප්පු කිරීමට පසුගිය රජය උත්සහ කළ බවත්, ප්‍රාදේශීය සභාපතිවරයෙකු කාන්තාවන් 100ක් දූෂණය කර වැරදිකරු වූ අවස්ථාවක  එවැනි වැරදි කළ පුද්ගලයින්ගේ ඉල්ලා අස්වීමක් හෝ වැරදි පිළිගැනීමක් දක්නට නොලැබුණු බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම ඩේසි ආච්චිගේ මැණික් මල්ල කවුරුන් විසින් ලබා දුන්නක්ද? යන්නද සෙවීමට ඉදිරියේදී පරීක්ෂණ සිදු කරන බවද ඒ මහතා කියා සිටියේය.

මේ වන විට දූෂණ වංචා සම්බන්ධ සිද්ධීන් 87ක විමර්ශන අවසන් බව ප්‍රකාශ කළ ඒ මහතා කියා සිටියේ එය එසේ වුවත් ඒවා ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බවයි.

එනම්, කිසියම් හස්තයක් මඟින් ඒවා යට ගසන බවත්, මෙම වගකීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් වගකීම ගෙන සිදු කළ යුත්තක් බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම සරත් ෆොන්සේකා නඩුව විභාග කළ පරිදිම කඩිනමින් මෙම පරීක්ෂණද සිදු කළ යුතු බව ඒ මහතා පැවසීය.

මෙය අධිකරණ අමාත්‍යවරයාගේ වගකීමක් බවද පැවසූ ඒ මහතා කියා සිටියේ මෙය අධිකරණ ඇමතිට කරන බලපෑමක් නොවන බවත්, කියා සිටින්නේ සිදු කරන ලද විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස බවයි.

එමෙන්ම අධිකරණ අමාත්‍යවරයාට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් ඉදිරියේදී ගෙන ඒම සඳහා සාකච්ඡා කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මේ අවස්ථාවේදී හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අදාළව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කරමින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද ද සිල්වා මහතා කියා සිටියේ කැබිනට් මණ්ඩලය විසින් සාමූහිකව ගෙන ඇති තීරණයක් ඉදිරිපත් කිරීමට සහ විවේචනය කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා බැවින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා ජනාධිපතිවරයා සහ සමස්ත කැබිනට් මණ්ඩලය විසින් එකඟ වී ඇති තීරණයක් සම්බන්ධයෙන් විවේචනය කිරීම බරපතළ ප්‍රශ්නයක් බවද ඔහු පැවසීය.

එමෙන්ම නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ එම කාරණය සම්බන්ධව කිසිඳු ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බවත් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා ඒ පිළිබඳව තීරණයක් ගත යුතු බවයි.

එහිදී ඒ මහතා කියා සිටියේ “කාට වුවත් ප්‍රකාශයක් කරන්න පුළුවන්. පෞද්ගලික මතය ප්‍රකාශ කිරීමට සෑම කෙනෙකුටම හැකියාවක් තියෙනවා. අපි එම නිදහස ලබා දී තිබෙනවා. එය ධනාත්මක වගේම අහිතකර වෙන්නත් පුළුවන් ”

බන්දුල ගුණවර්ධන මහතාට එක දෙයක් කියන්න පුළුවන්, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල මහතාට වෙනත් දෙයක් කියන්න  හැකියි, නමුත් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම දරා සිටින නිසා ප්‍රශ්නයක් විය හැකිය යන ගැටළුවක් විය හැකියි.

විජේදාස රාජපක්ෂ මහතා පෞද්ගලික ප්‍රකාශයක් කළත් එය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් බව ඔහු පැවසී ය.

එබැවින්  ජනාධිපතිවරයා විසින් නායකත්වය දරන කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණයක් විවේචනය කිරීම පළමුව ඔහු සඳහා සදාචාරාත්මක ප්‍රශ්නයක් වන අතර, දෙවනුව, සියලු කැබිනට් ඇමතිවරුන් බැඳී ඇති සම්ප්‍රදායට ඔහු බැඳී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම බැඳුම්කර පාඩුව සම්බන්ධයෙන් ලක්මන් යාපා මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ඔහු පාසල් නොගිය ගණන් නොදන්නා කෙනෙකු බවයි.

එමෙන්ම රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත්, එය විනිවිදතාවයකින් යුත්තක් බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම රවී ගියේ යහපාලනයට කිරි ටිකක් එකතුකර බවත්, යහපාලනයට ගොම එකතුකරනා පිරිස්ද ආණ්ඩුව තුළ සිටිනා බව ඒ මහතා කියා සිටියේය.

මේ මඟින් රජය නිවැරදි මාර්ගයක ගමන් ගන්නා බව පෙන්නුම් කරන බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස මෙය එක් ආරම්භයක් බවද ඒ අවස්ථාවට එක් වූ නලීන් බණ්ඩාර මහතා පැවසීය.

එමෙන්ම මහින්ද යුගයේ පිරිස් තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින බවත් පැවසූ ඒ මහතා කියා සිටියේ යම් යම් අක්‍රමිකතා සිදු වන්නේ එවැනි පිරිසි තවදුරටත් සිටින නිසා බවයි.

එමෙන්ම අමාත්‍ය කබීර් හෂීම් මහතාද ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්වීමට සූදානම් බව පවසා ඇති බවත්, ඒ නිසාවෙන් කිසිඳු පුද්ගලයෙකු බිය නොවිය යුතු බවත් ඔහු පැවසීය.

එමෙන්ම සිදු වී ඇති සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය දැන් බිය වී ඇති බවත්, ඉදිරියට ඔවුන්ටත් මෙවැනි අවස්ථා ඒවි යැයි ඒ මහතා පැවසීය.

රවී ඇමතිවරයාට ඉල්ලා අස් නොවන ලෙස ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු දුරකථනයෙන් දැනුම් දී ඇති බවද ඒ මහතා පැවසුවේය.

එමෙන්ම බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් කාන්තාවකට නීතිපති දෙපාර්තමේන්තුව දින 03ක පුහුණුවක් ලබාදී ඇති බව  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.