පරණ හොරු දැන් ඉතිං සූදානම් වන්න

පරණ හොරු දැන් ඉතිං සූදානම් වන්න

‘කෝ හොරු ඇල්ලුවද?’
‘බොරු කියලා ආපු ආණ්ඩුව’,
‘හොරු කොහෙද මහින්ද ගාව, හොරු ඉන්නේ මේ ආණ්ඩුවේනේ’
මිනිස්සු එහෙම කියන්නට පටන් ගත්හ.
‘ඇමැතිතුමා මේ ආණ්ඩුවට වැරැදුණේ කොතැනද?’ කියලා සතියේ දේශපාලන සංවාදවලට එන ඇමැතිවරුන්ගෙන් ඇහුවම ඔවුන් එක හඩින් කීවේ
‘අපිට හොරු අල්ලන්න බැරිවුණා’ කියලාය.

‘අපි ඒ ගැන ජනතාවගෙන් සමාව ඉල්ලනවා. අපිට බැරිවුණා එක මහ හොරෙක්වත් අල්ලන්න.’
ඔවුන් කියන්නේ එහෙමය.
‘ඒ හොරු කෙසේ වෙතත් දැන් මේ ආණ්ඩුවෙත් මදි නොකියන්න හොරු නේද?’ කියලා මාධ්‍ය ඇහුවම ඇමැතිවරු කියන්නේ
‘ඔව්. මේ ආණ්ඩුවෙත් හොරු ඉන්නවා’ කියලාය.

‘ගිය ආණ්ඩුවේ හිටපු හොරුන් නිදහස් වෙච්ච එකේ මේකේ ඉන්න අය කොහොමත් නිදහස් වෙයි නේද ඇමැතිතුමා’ කියලා අහනකොට ඔවුන් කියන්නේ
‘ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. කොතැන හරි ඩීල් එකක් තියෙනවා’ කියලාය. ඔහොම අවුරුදු දෙකක් වෙනකොට ආණ්ඩුවේ කිරි කළය ගොමවලින් නෑවිලාය.
‘පිට හොරුන්ට වඩා ඇතුළේ හොරු’

මේ ‘කළු පැල්ලම’ සීල් එකක් වගේ වැදෙනකොට ලොකුම පීඩාව ආවේ මෛත්‍රිටය. පක්ෂ දෙකේ සම්මුති ආණ්ඩුවක් වුණාට ලොකු බලයක් තිබ්බේ එක්සත් ජාතික පක්ෂයටය. ලොකුම ඇමැතිකම් තිබ්බේ ඔවුන්ටය. තීරණාත්මක ‘බලපෑම් පිරිස’ සිටියේ ඔවුන්ටය. අන්තිමට ලොකුම චෝදනා ආවේත් ඔවුන්ටය.
‘ආණ්ඩුව පෙරළුණොත් යූ.ඇන්.පි.යට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එයාලට මහින්ද එක්ක ඩීල් ඇති. හැබැයි මට ඉන්න වෙන්නේ නෑ.’
තීරණාත්මක ආණ්ඩු පක්ෂ හමුවකදී මෛත්‍රි එහෙම කීව බව ආරංචිය.
ආණ්ඩුවේ ගමන දවසින් දවස ‘කැලෑ පාරට’ යනකොට ලොකුම පීඩනය තිබ්බේ මෛත්‍රිටය. ඒ මේක දිවි දෙවැනිකොට හදපු ආණ්ඩුව නිසාය. තව අවුරුදු ගාණක් ‘නිස්කලංකව’ යන්න තිබ්බ මහින්දගේ ආණ්ඩුව පෙරළුවේ මෛත්‍රිය. ගමේ ඉන්න යූඇන්පීකාරයන්ට ‘අලුත් ආණ්ඩුවක්’ ගන්න තිබ්බ අමාරුවවත් පක්ෂයේ ලොකු අයට තිබ්බේ නැත. මහින්දගේ අය රනිල් එක්ක තරහක් නැත. තරහා මෛත්‍රි එක්කය.

‘පොලිසියයි නීතිපති දෙපාර්තමේන්තුවයි මාස තුනකට මට දෙන්න. මම වැඩේ කරලා පෙන්නන්නම්.’
අන්තිමට මෛත්‍රි කීවේය. ඒ ඉවසලා බැරිම තැනය.
ආණ්ඩුව ‘කැත’ වෙච්ච තැන බැඳුම්කර වංචාවය.
බැඳුම්කර වංචාව ගැන ජනාධිපති කොමිසමේ ක්‍රියාකාරීත්වය පෙන්වා දෙන්නේ දූෂණ වංචා සොයා බැලීම සහ දඬුවම් දීම සම්බන්ධවම ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වයේ තරමය.

“ආණ්ඩුවට සදාචාරයක් තියෙනවා නම් රවි කරුණානායක එම ධුරයෙන් ඉවත් කරන්න ඕනෙ. ඉවත් කර තමයි පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යන්න ඕනෙ. ඊට හේතුව තමයි ඔහු වැරැදිකරු වුණත් නිවැරැදිකරු වුණත් මේ වන විට ආණ්ඩුව එහි එක් පාර්ශ්වයක් බවට පත්වී තිබීම.”
බී.බී.සි.යට එහෙම කීවේ සුනිල් හඳුන්නෙත්තිය.
අන්තිමට ඊයේ විදේශ කටයුතු පිළිබඳ ඇමැති රවි කරුණානායක ඉල්ලා අස්වුණේය. දසතින් නැඟෙන ‘අප්‍රසාදය’ ඊට හේතු විය. ආණ්ඩුව ඇතුළේ ‘රවිට’ ලොකු බලයක් තිබ්බේය. හොඳට හෝ නරකට ඒ බලය නිසා ඔහු යම් යම් දේ කර ගත්තේය. මුදල් ඇමැතිකම ගැලවී විදෙස් ඇමැතිකම ලැබෙන කොට පවා ඔහුට ලොතරැයි මණ්ඩලය ‘තෑග්ගක් වගේ’ ලැබුණේය. එහෙම බැලුවම ඔහු ආණ්ඩුවේ ‘බලපෑම් සහගත’ චරිතයක් විය.

හැබැයි දැන් ආණ්ඩුවට සටන් පාඨයක් තිබේ.
‘අපි හොරු අල්ලනකොට තනතුරු, පට්ටම් බලන්නෙ නෑ. වංචාවක් කළා නම් කවුරු වුණත් එකයි. නීතිය කාටත් එකයි.’
ඒ ආණ්ඩුවට ලැබුණු ‘සටන් පාඨය’ ය.
‘රටේ සිදුවූ මෙගා දූෂණය නවතාලීම මඟින් පමණක් පසුගිය වසර හය තිස්සේ සිදුවූ සංවර්ධනය මෙන් දස ගුණයක් සංවර්ධනයක් රටට ලබාදීමට කටයුතු කරන්නෙමි.’
– මෛත්‍රි පාලනයක් – ස්ථාවර රටක් (16 පිටුව)

එය ක්‍රියාත්මක කරන්නට ජනපති මෛත්‍රි කටයුතු කළොත් ‘හෙට එච්චර කළුවර නැත’ කොහොම හරි ආණ්ඩුව දැන් තීරණාත්මක හැරවුමකට අවතීර්ණ වී සිටින්නේය. ඒ මුලින්ම තමන්ගේ ගෙදර සුද්ද කිරීමේ වැඩෙන්ම පටන් ගනිමින්ය. දැන් බය නැතිව අනෙක් තැන් සුද්ධ කරන්න පුළුවන්ය.
‘අපි ආදර්ශයෙන් පෙන්නුවා හොරුන්ට එරෙහිව කෙළින් ඉන්නවා කියලා’ කියන ආණ්ඩු පාක්‍ෂිකයෝ ඒ එක්කම මෙහෙමත් කියති.
‘අපි අපෙන් පටන් ගත්තා. හැබැයි හිටපු හොරුත් පරිස්සමින්’

හොරුන්ට එරෙහිව කටයුතු නොකර නිද්‍රාශීලීව ආණ්ඩුව ඉන්න කොට ‘කෝචොක්’ කළේ ඒකාබද්ධයේ අයය. ඊයේ වනතුරු ඒ අය හිටියේ ‘චූන්’ වෙලාය.
හැබැයි දැන් ඒ අය සද්ද නැත. ඒ සිද්ධ වෙන්නේ මොනවාද කියා හිතා ගන්න බැරි හින්දාය.
බැසිල්ලා, විමල්ලා, නාමල්ලා, යෝෂිතලා පරීක්‍ෂණ සඳහා කැඳවන කොට කීවේ පළිගන්න ගෙන්වනවා කියලාය. දැන් ආණ්ඩුවේ විදෙස් කටයුතු ඇමැතිගෙන්ම ආණ්ඩුව වැඩ පටන් ගෙනය.

එහෙම බැලුවම ඒකාබද්ධෙ අය ලොකුම අමාරුවේ වැටුණේ දැන්ය. මොකද එයාලට තිබ්බ ලොකුම සටන් පාඨෙ දැන් ආණ්ඩුව අතට ඇවිත්ය.
ආණ්ඩුව අද වැටෙයි හෙට වැටෙයි කියලා හිතන අයට දැන් ඉතින් ඒක තව අවුරුදු කිහිපයක් පස්සට ගත්තාට කමක් නැත.