විරල ජනපති

විරල ජනපති

ඔබට ඒ රටේ ජනාධිපතිගෙන් ආරාධනාවක් ලැබුණොත් ඔබ යා යුත්තේ හද්දා පිටිසර ගම්මානයක පිහිටි කුඩා ගොවිපලකට.,බැටලු රංචු අතර ජීවත්වෙන එකතරා මිනිහෙක් ඔබ ඉදිරියට ඒවි.ඒ තරම් අරුමෝසම් නැති කබායකින් සැරසුණු ඔහු හීනි,දෙනෙත් වලින් ඔබව පිළිගනීවි.

‘මට ඕන ජනාධිපතිතුමා හමුවෙන්න’

ඔබ එහෙම කියනවිට ඔහු දෙතොල් තදකරගෙන සිහින් අව්‍යාජ සිනහවක් නංවා ගනීවි.

‘මම තමයි ජනාධිපති’

ඔහු එහෙම කියාවි.ඔබ එක්විටම මේ ‘අමුතු’ සිහිනයෙන් තිගැස්සිලා අවදි වේවි.

එහෙත් මේ සිහිනයක් නොවන බව ඔබට කිව යුතුමයි. ඒ ඔබ හමුවන්නේ උරුගුවේ ජනාධිපති හොසේ මුහිකා..ඔහුගේ මන්දිරය තමයි කුඩා ගොවිපල අසල පුංචි නිවස. ඔහුගේ සුරතල් බල්ලා කකුල් තුනේ ආබාධිතයෙක්.ඔහු භාවිතා කරන්නේ සාමාන්‍ය ලී මේසයක් හා පුටුවක්.

මේ කතා කරන්නේ ලෝකයේ ‘සරලම ජනාධිපති’ගැනයි.අපි ‘සරලම ජනපති‘ කීවේ වෙන හේතුවකට නොවේ,

මහා ගැඹුරු න්‍යායික ඉදිරිපත් කිරීම්වලින් හෝ සියුම් උපායමාර්ගවලින් හෝ වෙනත් කුමන්ත්‍රණවලින් ජනපති ධූරයට නොපැමිණි ඔහු 2009 ජනාධිපතිවරණයේදී 53%ක් ඡන්ද ලබා ගනිමින් ඔහු ජනාධිපති පදවියට පත් වෙනවා. 1960, 70 දශකවල උරුගුවේහි ක්‍රියාත්මක වූ ටුපැමරොස් ජාතික විමුක්ති ව්‍යාපාරයේ හිටපු ගරිල්ලා භටයෙක් ලෙස කටයුතු කළ මුජිකා, වසර 13ක් ම සිරගතව සිටි අතර එයින් වසර දෙකක් ම ඔහු සිටියේ ළිං පතුලක .

“ලෝකයේ දුප්පත්ම ජනපති” යන නම ඔහුට පට බැදෙන්නට පටන් ගත්තේ ඔහු උරුගුවේ ජනපතිවරයාට හිමි සැපපහසු මන්දිරය අතහැර ගොවිපොළක වාසය කරන්නට යාම හේතුවෙන්. සිය ආදායමින් 90%ක් ම අඩු ආදායම්ලාභී නිවාස සංවිධාන වෙත පිරිනමා කුඩා නිවසට එන ඔහු  පාවිච්චි කරන්නේ බෙන්ස් එස්. ක්ලාස් වර්ගයේ රථයක් හෝ රේන්ජ් රෝවර් රථයක් නොව පරණ වොක්ස්වැගන් බීට්ල් කාරයක්. උරුගුවේ අගනුවර වූ මොන්ටෙවිඩියෝ පෙදෙසින් බැහැර පිහිටි එක කාමරයක් සහිත මේ පුංචි ගෙදර සිය බිරිය සමඟ වෙසෙන ඔහු විවේක වේලාවට කපුරු මල් වගාවක් කරනව.

ඔවුන්ගේ පුංචි ජනපති මන්දිරයේ මුරට සිටින්නේ ආරක්ෂක භටයන් දෙදෙනෙක් පමණයි.කිසිදු  ජීවිත තර්ජනයක් මේ 78වියැති මුහීකාට නැහැ. තිබුණත් ඔහු ඒ ගැන වැඩි තැකීමක් කරන්නේ ද නැහැ.ඒ තරමට ඔහු ජීවිතය ගැන අල්පේච්ඡයි.

මුහිකා කැමති නෑ ඔහු දුප්පත් ජනපති ලෙස හඳුන්වනවාට.

“මම ලෝකෙ දුප්පත්ම ජනාධිපති නෙමේ. ජීවත් වෙන්න බොහෝ දේවල්  ඕන කරන කෙනා තමයි දුප්පත්ම කෙනා”

එහෙම කියන මුහිකා දුප්පත්ම ජනපති ලෙස හඳුන්වන්නේ කොහොමද? 2010 දී සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ජනාධිපතිවරයාගේ වාර්ෂික වත්කම අමෙරිකානු ඩොලර් 1800 පමණක් බව වන අතර ඔහු සතු එකමවත්කමද වන්නේ මෙම මෝටර් රථය පමණයි.

ඔබ දන්න කියන ජනාධිපතිවරු,ඇමැතිවරු හා මොහො සසදන්නට යාමම විහිලුවක්.ලොව ජනාධිපතිවරුන්ගේ මන්දිර ඉදිරිපිට කැඩිලැක්, රෝල්ස් රොයිස්, ජගුවාර්, ලැම්බෝගිනි වැනි සුඛෝපභෝගී වාහන පේලි ගැසෙද්දී,ආරක්ෂකයින් දහස් ගානක් මුරකාවල් යොදද්දී,මේ ‘විරල ජනපති’වටේ කිසිවෙක් නෑ.

‘ඔහුට ටිකක් පිස්සු’කියලා කියන්නේ ඔහුට ඊරිසියා කරන විවේචකයො.

මිනිස්සුන්ගේ වටිනාකම් මතුවෙන්නේ ඔහුගේ ‘පැවැත්ම සහ චර්යාව’හේතුවෙන්.මුජිකාගේ පැරණි වොක්ස් වැගන් බීට්ල් මෝටර් රථය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් විතර වෙයි.ඒත් එය  මිලදී ගැනීමට අරාබි ෂීක් ජාතිකයකු ඉදිරිපත් වෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියනයක ලන්සුවක් තියමින්.ඒ ඔහු ‘විරල ජනාධිපතිවරයෙක්’නිසා මිස,ජනාධිපතිවරයෙක් නිසා නොවෙයි.වාහනේ දෙනවද නැද්ද කියලා දස අතේ කල්පනා කරන මුහිකා අන්තිමට ඒක විකුනලා දානවා.ඒක ගොඩක් අය කරන ‘වාහන පර්මිට්‘විකුණන රටාවේ ගනුදෙනුවක් නෙවේ.දුප්පත් වාහනය වික්ක ඔහු ඒ මුදල් දුප්පත් මිනිස්සුන්ට දෙනවා.

උරුගුවේ යනු දකුණු ඇමෙරිකාවේ ගිණිකොණ දෙසින් පිහිටි වර්ග කිලෝමීටර මිලියන 0.176 වන කුඩා රටක් වන අතර එහි ජනගහනය මිලියන 3.3 ක් වෙනවා. ලතින් ඇමරිකානු රටවල් අතර දුෂණය අවම රට ලෙස උරුගුවේ පිළිගැනීමට ලක් වී තිබෙන අතර කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකය සංවර්ධිත තත්වයක තිබෙනවා. ඒක පුද්ගල ආදායම ලෝකයේ 47 වන ස්ථානය ගන්නවා.එහෙම බැලුවම මුජිකා ‘පොහොසත් රටක්‘ හදනවා.

නැතිබැරිකම්,අගහිඟකම්,තියෙන ජීවිත සුන්දරයි කියලා කවුරුවත් කියන්නේ නැහැ.මනුස්ස ජීවිතයක් ලබන හැමෝම ජීවිතය දිනන්න,සුවපහසු ජීවිතයක් ගෙවන්න කැමතියි.නිවැරදි ජීවිත කළමණාකරණය වගේම නිවැරදි මූල්‍ය කරළමණාකරණය ගැන බුදු දහමේ පවා කියවෙනවා.එහෙම බැලුවම,මනුස්සයෙක් කියන්නේ ජීවිතය දිනන්නම හීන දකින කෙනෙක්.කොහොම වෙතත් දිනන ජීවිතයක් කියන්නේ බිලියනපතියෙක් වීම හෝ ත්‍රිලියනපතියෙක් වීම කියලා හිතනවානම් ඒක ‘වැරදි’නිර්නායකයක්.

ඔහු ජීවත් වීමට අතට ගන්නේ පඩියෙන් සියයට දහයයි.ඉතිරිවා දුප්පත් ජනතාවට වගේම කුඩා ව්‍යාපාර කරන පිරිසටත් බෙදා දීමට ඔහු දෙපාරක් හිතන්නේ නැහැ.

‘ජනාධිපතිවුනා කියල මම මගේ ජීවන රටාව වෙනස්කරන්නේ නෑ. දුප්පත් ජනතා ජීවත්වීමට බැරි තත්වයක සිටින්නේ නම් සහ මට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා මම උපයනවා නම් මට ජීවත්වීමට අවශ්‍ය ටික තබාගෙන ඉතිරිය දුප්පත් ජනතාවට ආපසු දිය යුතුය. එය මගේ කැපකිරීමක් නොව මගේ යුතුකමයි”.

පෙපේගේ් කුඩා ඉඩමේ කොනක ඔහුගේ පෞද්ගලික මුදලින් සහ වපසරියෙන් කුඩා දරුවන් 20 ක් පමණ ඔහු නඩත්තු කරනවා.මාස තුන දක්වා ගර්භනී කාලය තුළදී ගබ්සාව නීතිගත කරන්නට පියවර ගත් ඔහු සමලිංගික විවාහය නීතිගත කරනවා.මරිජුවානා නිෂ්පාදනය හා අලෙවිය නීතිගත කරමින් රාජ්‍ය පාලනයට යටත් කරන පනතක් සම්මත කරනවා.තම රටේ මරණීය දණ්ඩනය අහෝසි කළ ඔහු බරක් ඔබාමාගේ ඉල්ලීම මත ග්වොන්ටනාමෝ කඳවුරේ රඳවා සිටි සිරකරුවන් පස්දෙනෙකුට උරුගුවේ රාජ්‍යයේ රැකවරණය ලබා දීමට එකඟ වෙනවා.

‘ජනාධිපති යනු සිවිල් සේවකයෙක් මිසක් රාජකීයයෙක් නෙවේ. ජනතාවගේ බහුතරය ජීවත්වන ආකාරයට හා අපේක්ෂා කරන රටාවට ඔහු කටයුතු කළ යුතුයි.’

මුජිකා කියනවා.

ඔහු ගරිල්ලා භටයෙක්ව සිටියදී සිදු වූ යුද්දයෙන් අත් අඩංගුවට පත්වෙනකොට ඔහුගේ සිරුරට වෙඩි උණ්ඩ 6ක් අඇතුල් වී අවසන්.එහෙත් ඔගු ජීවත් වෙනවා.4වතාවක් හිරෙන් පනින ඔහු  අන්තිමට රටේ ජනපති වෙනවා.

‘දේශපාලනඥයින් ඉණිමගෙහි ඉහළට නැගීම ආරම්භකරනවිටම ඔවුන් රජවරුන් ලෙස හැසිරෙනවා. එය කෙසේ කරන්නේදැයි මම දන්නේ නෑ. මා දන්නා තරමින් ජනරජයන් ලෝකයට බිහිවුනේ කවර හෝ එකෙකු රටේ අනෙකුන්ට වඩා නොවෙනස්යැයි පෙන්වීමට මිස වෙනස්ය යන්න තහවුරු කිරීමට නොවේ.

ඔහු කියන මේ වගේ කතා ලොව හැම නාහකයෙකුටම අදාලයි.අදාල නොවන්නේ එහුට පමණයි.මොදක ඔහු වචනාර්ථයෙන්ම සරලයි.විරලයි. සමහරු කියන්නේ ජනතාවට පටි තද කරගන්න කියලයි.හැබැයි මුජිකා කියන්නේ ‘මම ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න කියලා ජනතාවට කීවොත් එයාලා මාව මරලා දායි කියලයි’

ඔහුගේ ජීවිතය ඒ තරම්ම සරලයි.එහෙත් රටේ ජනතාව ඔසවා තබන්න ඔහුගේ පාලන ක්‍රමය ඉවහල් වුණා.

ඔහු ජනාධිපතිවරයා සතුව බැංකු ගිණුමක් නොමැති අතර ණය තුරුස් වලින් ද නිදහස්. ලෝකයේ මිලට ගත නොහැකි සැබෑ සතුටේ උද්දාමයෙන් ඔහු ජීවිතය විඳිනවා.

දුප්පත්කම කියන්නේ එකක්.අල්පේච්ඡතාවය කියන්නේ තව එකක්.හැම මනුස්සයෙක්ම ජීවිතය වෙනස් කරගන්නේ ඉපදුනාට පස්සේ.

ඔහුගේ බිරිද ලූෂා ටොපොලාන්ස්කි ද ඔහුට ගැලපෙන සහකාරියක්. ඇය ද සැමියා මෙන් ම ජනතාවාදී දේශපාලනට ජීවිතය කැප කළ තැනැත්තියක් වන අතර වරෙක ඇය වැඩබලන ජනපති හැටියට ද කටයුතු කර තිබෙනව.දෙදෙනාට දරු සම්පත් නැති වුවත් රටේ ජනතාවට දයාබරව ඉන්න ඔවුන් දන්නවා.

” ”මම දරිද්‍රම ජනාධිපති නොවේ. දිළින්දා යනු ජීවත්වීමට සුවිසාල ප‍්‍රමාණයක් සොයන්නාය. මට නිදාගැනීමට මෙට්ටයක් ලැබුනුවිට මම අතිශයින් සතුටුවූ අවදියක්ද තිබුනා”.

කියන ඔහු තමන්ට නියමිත ධූර කාලයෙන් පසු විශ්‍රාම ගියා.ව්‍යවස්ථාව වෙනස් කොට ආපසු එන්න ඔහු හිතුවේවත් නැති අතර,ඔහු නැවත එනවානම් භාර ගැනීම උදෙසා ඕනම දෙයක් කැප කරන්න උරුගුවේ ජනතාව එක පයින් ලෑස්තියි.එහෙම බැලුවම මේ අපූරු ජනාධිපතිවරයා ‘පොහොසත්ම ජනපති’ලෙස හඳුන්වනවාට වඩා ‘විරල ජනාධිපති ලෙස හැඳින්වීම උචිතයි.