“විජයදාස රාජපක්ෂත් ගියා. තව ගොඩාක් අය යන්න ඉන්නවා. ආණ්ඩුවට කලන්තේ හැදෙන්න ළඟයි.”

විජයදාස රාජපක්ෂගේ නෙරපාහැරීමෙන් පස්සේ චූන් වෙච්ච කෙනෙක් කීවේ එහෙමය. ඒ අය කියන්නේ ආණ්ඩුව ඉවරයි කියලාය. අරමුණට පිටින් යන අය ඉවත් කළාම ආණ්ඩුව ඉවර වෙනවා කියා හිතනවා නම් ඊට වඩා විහිළුවක් තවත් නැත. සාමූහික වගකීම කියන්නේ කාටත් පොදු දෙයක්ය. ඒක බිඳ දැමීම ‘බරපතළ වරදක්ය’
එහෙම කළාම ආණ්ඩුවෙන් නෙරපා හැරීම ‘අමුතු’ එකක් නෙවේය. මේ රටේ මීට කලින් මෙහෙම දේවල් වෙලා නැති ගානට සමහරු හැසිරෙන්නේය. එහෙම අය පරෙස්සමින් ඉතිහාසය විපරම් කළොත් හොඳය. කැබිනට් එකේ සාමූහිකත්වය කැඩුවා කියා මැතිනිය ඇන්. ඇම්. ලා ආණ්ඩුවෙන් නෙරපන්නේය. ඒ 72 දීය. හැබැයි එහෙම නෙරපුවා කියා ආණ්ඩුව හෙල්ලුණේ නැත. නිල කාලයෙනුත් එහාට ආණ්ඩුව දිව්වේය. ඒ ආණ්ඩුව 77 පෙරළෙනකොට එහෙම පෙරළෙන්න හේතුව වුණේ ‘ඇන්. ඇම්.’ ලා නෙරපපු එක නෙවේය.

82 දහතුන්වැනි සංශෝධනය ගෙනාවාම ජේ. ආර්.ට එරෙහිව ආණ්ඩුවේම දෙන්නෙක් කතා කළහ. එක්කෙනෙක් ගාමිණී ජයසූරියය. අනෙක් කෙනා සිරිල් මැතිව්ය. සාමූහිකත්වය බින්ද දෙදෙනා නෙරපන්නට ජේ. ආර්. දෙවරක් සිතුවේ නැත.

දෙදනාම නෙරපූ කල හැමෝම කීවේ ආණ්ඩුව ඉවරයි කියලාය. හැබැයි 94 වෙනකම් හෙල්ලුණේ නැත. ඊට පස්සේ ප්‍රේමදාස ආණ්ඩුවේ හිටිය ප්‍රබලම කණ්ඩායම නෙරපා හැරියේය. ගාමිණී, ලලිත් කියන්නේ ආණ්ඩුව හදන්න 77ත් 88ත් බෙල්ල දීලා වැඩ කළ දෙන්නෙක්ය. ලලිත් මහපොළ, ගාමිණී මහවැලිය ලෙස සලකුණු තියද්දී, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර වයඹ රිදී සීනුව විය. හැබැයි කාගෙන්වත් අහන්නේ නැතිව ප්‍රේමදාස ඒ කණ්ඩායමම නෙරපා දැම්මේය.
ආණ්ඩුව හෙල්ලුණේ නැත.

94 පොදු පෙරමුණ දිනනකොට එහි ප්‍රබලම පුරුක වෙච්ච ‘ඔටුන්න හිමි කුමරා – අනුර’ හිටියේ එක්සත් ජාතික පක්ෂයේය. ඒ වෙනකොට මැතිනි ඔහු නෙරපා දමා තිබිණි. හැබැයි ශ්‍රී ලංකා එක පොදු පෙරමුණ හදාගෙන ආණ්ඩුව ගත්තේය.

ඒ ආණ්ඩුව හොල්ලන්න පුළුවන් වුණේ නැත. එක ආසනයක් තියාගෙන ආණ්ඩුව 2001 වෙනකම් දිව්වේය. අනෙක් අතට පොදු පෙරමුණේ ලොකුම බල කණු ගලවාගෙන 2001 හදපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දිවුවේ අවුරුදු 2ක්ය. ඊට පස්සේ මහින්ද හදපු ආණ්ඩුවෙන් එහි හිටිය ලොකුම චරිත වෙච්ච මංගල නෙරපා දැම්මේය. ඒ මදිවට ශ්‍රී පති, අනුර දෙන්නත් එළෙව්වේය. ඒත් ආණ්ඩුව 2015 වනතුරු හෙල්ලුණේ නැත.

එහෙම බැලුවම ආණ්ඩුවෙන් කෙනෙක් නෙරපන එක පාඩුවක් නොව, වාසියක්ය.
දැන් මේ කතාව මෙහෙම කියවාගන්නත් පුළුවන්ය. ඔළුගෙඩි වෙනස් කරලා පක්ෂ මාරු කරලා පිහිටුවපු ආණ්ඩුත් කඩා වැටුණු හැටි හිතා ගන්න බැරි තරම්ය. 93 අනුර එක්සත් ජාතික පක්ෂයට ආවාම හැමෝම කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරෙටම ඉවරයි කියලාය. එහෙම කියපු එක්සත් ජාතික පක්ෂයේ ලොක්කෝ අනුරට උසස් අධ්‍යාපන ඇමැතිකම දුන්නේය. හැබැයි, ආණ්ඩුව ගෙදර ගියේ මාස කීපයකින්ය. 2000 ‘ඉතින් හදමු අපි අලුත් රටක්’ කියලා රනිල් ආණ්ඩුව හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වෙච්ච එස්. බී. දිසානායක එක්ක බල කණු 15ක් විතර අරගෙනය. හැබැයි ඒ ආණ්ඩුව අවුරුදු 2න් ගෙදරය.

මහින්ද එක්සත් ජාතික පක්ෂයේ 40ක් විතර අරගෙන ආණ්ඩුව එකසිය හැටකට වැඩි දැවැන්ත එකක් බවට පත් කරගත්තේය. එදා මෙදාතුර ශක්තිමත්ම ආණ්ඩුව වූයේ ඒකය. හැබැයි 2015 ගෙදර ගියේ හිතාගන්න බැරි විදිහටය.

විජේදාස රාජපක්ෂ නෙරපා හැරීම ආණ්ඩුවේ අවසානය විදිහට සලකන ‘අත දරුවන්’ මේක තේරුම් ගන්නේ නැත.
තිබ්බ ආණ්ඩුවලට සාපේක්ෂව මේ ආණ්ඩුව දෙස බලනවා නම් ඒක ලොකු පටලවා ගැනීමක්ය. දැන් තියෙන්නේ මහ පක්ෂ දෙක එකට යන ගමනක්ය. ඒක වෙන කාටවත් වඩා තේරුම් අරන් ඉන්නේ පක්ෂ දෙකේ නායකයෝය. ආණ්ඩුව ඇතුළේ වරදක් වෙනකොට ඒක නිරවුල් කරන්න දෙදෙනා කටයුතු කරන්නේ ප්‍රබුද්ධ විදිහටය.
“මේ අවුරුදු පහ අප ඉදිරියට යනවා. ඉන්පසු කුමක් කරනවාද යන්න මමත් ජනාධිපතිතුමාත් තීරණය කර අවසන්. ඒ පිළිබඳව අපේ පක්ෂයත් තීරණයක් ගෙන තිබෙනවා. එම නිසා අපේ හොඳ තීන්දු තීරණවලට සහයෝගය දක්වන්නැයි මම ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. එසේ නොමැතිනම් තමන්ගේ විකල්පය කුමක්දැයි අපට කියන්න.”

මෙහෙම කීවේ අගමැතිවරයාය. මොන ප්‍රශ්න තිබ්බත් ඒ සියල්ල නිරාකරණය කරගෙන ගමන එකට යන බව ජනාධිපතිවරයාත් කියන්නේය. ඉතිං ඒකාබද්ධය ඉන්නේ මේ සංහිඳියාව පටලවාගෙනය.

ගිය ආණ්ඩුවේ ඇමැතිවරුන්ට චෝදනා බුරුතු පිටින් ආවේය. කොමිෂන් සභාවලින් කැඳවීම් නිරන්තර ආවේය. හැබැයි ඒ එකකටවත් කිසිම කෙනෙක් ගියේ නැත. රාජ්‍ය දේපළ අමු අමුවේ අයථා වැඩවලට යෙදවූහ. කවුරුවත් සද්ද කළේ නැත. අවුරුදු 20ට කිසිම ඇමැතිවරයෙක් නෙරපුවේ නැත.
එහෙම නෙරපුවා නම් නෙරපුවේ තම බල ව්‍යාපෘතියට අභියෝගයක් වෙච්ච මංගල වැනි අය විතරක්ය. මංගල කියන්නේ හොරකම් නොකරන අයෙක් බව කවුරුත් දනී. එහෙත් ඒ ආණ්ඩුවේ හිටිය ‘කම්බා හොරු’ යහතින් උන්නේය.

මේ ආණ්ඩුව නීතියට ගරු නොකරන බව ඒකාබද්ධයේ සමහරු කියති. හැබැයි නීතිපතිවරිය ‍ෙදාට්ට දැමූ මිනිස්සු එහෙම කියන්නේ කොහොමද කියන්න දන්නේ නැත. මේ ආණ්ඩුව කළ ලොකුම වරද ‘නීතියට අනුව’ කටයුතු කරන එකය. නීතිය එක්ක සෙල්ලම් කළ අය හිතන්නේ ඒක නිවටකමක් කියලාය.
මේ අතරේ විජයදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගය ගේනකොට ඒකාබද්ධයේ බළලා එළියට පැන්නේය.
“අපි ඔහුට එරෙහිව ඡන්දය දෙන්නේ නෑ.”

ඔවුන් එහෙම කීය. ඒ අතරේ හිටපු ජනාධිපතිවරයා කීවේ තමන් තවමත් පක්ෂයේ සභාපති කියලාය. හැබැයි ඔහුට බොහෝ දේ අමතකය.
“කතානායකතුමාගේ ගෙදරදී අපි ඉස්සරහමයි මහින්ද මහත්තයා පක්ෂය මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට භාර දුන්නේ.”
එහෙම කීවේ එස්. බී. දිසානායකය. මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස පත්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය පොළොන්නරුවේ දී තිබ්බේය. ඒ රැස්වීමේ මහින්ද රාජපක්ෂ මහතා හිටියේ ජනාධිපති මෛත්‍රිපාල මහත්තයාගේ පුටුවට එහා පැත්තෙන් වාඩි වෙලාය. ඒ පක්ෂයේ අනුශාසක ලෙසටය.

“පෞද්ගලිකව ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ මැතිවරණයෙන් ජනාධිපතිකම අහිමි වුණා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ පාක්ෂිකයාටවත් කිසිම දෙයක් නැති වුණේ නෑ. ඒ වගේම ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු 106ක් තේරී පත්වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් 95ක් තේරී පත්වෙනවා. වෛරය, කේ‍රා්ධය පැත්තකින් තියලා අලුත් ගමනක් යමු කියලා පැරදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගෙන මෛත්‍රිපාල මහත්තයා සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් හැදුවා. දිනපු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පැරැදුණු අපිට ආණ්ඩුවක් හදලා දුන්න එක වරදක්ද?”
එහෙම කීවේ පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකය. කතාව ඇත්තය. අදත් ශ්‍රී ලංකාකාරයෝ නොපැරදුණ ගානට ඉන්නේ මෛත්‍රි හින්දාය. අන්තිමට දුමින්ද මසුරන් කතාවක් කියයි.

“2020 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න එකට එකතු වෙලා මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් එක්ක ඉන්න ඕන කියන පණිවුඩයයි මහින්ද රාජපක්ෂ මහත්තයා දෙන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනවාරි 08 වැනිදා පැරදුණු නිසාම එතුමාට වෛරයක්, කේ‍රා්ධයක් තියෙනවා නම් තියෙන්න ඕන මෛත්‍රිපාල සිරිසේන මහත්තයා එක්ක, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එක්ක, දුමින්ද දිසානායක, රාජිත සේනාරත්න, එම්. කේ. ඩී. එස්. ගුණවර්ධනලත් එක්කනේ.
හැබැයි දැන් ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පොහොට්ටුවට එන්න කියලා මේ පළිගන්නේ එතුමාව තුන්වැනි පාරටත් ජනාධිපති කරන්න හදපු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙනුයි.”
ඉතින් මීට වඩා මොන කතාද?

(mawbima)