ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‍රටේ වත්මන් දේශපාලනය සහ ශ්‍රිලනිපයේ අනාගතය පිළිබදව පුවත්පතක් හා සාකච්ඡාවකට එක්වෙමින් විශේෂ කරුණු කිහිපයක්ම අනාවරණය කර තිබුනා. එම සාකච්ඡාව පහතින්.

ප්‍රශ්නය – ජනපතිතුමනි, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 66 වැනි සංවත්සරය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. පක්‍ෂයේ සභාපතිවරයා ලෙස ඔබ මෙම සංවත්සරය දකින්නෙ කෙසේද?

පිළිතුර – ජාතියේ අනාගතය සඳහා පිරිසිදු ජාතික දේශපාලන ව්‍යාපාරයක්‌ යන තේමාව යටතේ පක්‍ෂයේ මෙවර සංවත්සරය සැමරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සහභාගි වන ලෙසට පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂවලට විවෘත ආරාධනාවක්‌ ද කර තිබෙනවා.

සංවත්සර උළෙලේ සංවිධාන කටයුතු සඳහා කමිටු කිහිපයක්‌ පත්කර තිබෙනවා. පක්‍ෂයේ යෝජනා සකස්‌ කිරීමට, සමුළුවට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමට, පක්‍ෂයේ අනාගත වැඩපිළිවෙළ සකස්‌ කිරීමට ආදි කමිටු ඊට ඇතුළත් වෙනවා. ශ්‍රී ලංකා නිදහසේ පක්‍ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ද එහිදී ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ඔබගේ සභාපතිත්වයෙන් පවත්වන ලද පසුගිය පක්‍ෂ සම්මේලනවලින් සහ මැයි දින උත්සවවලින් මෙවර පක්‍ෂ සම්මේලනයට ලබාගත් පන්නරය මොන වගේද?

පිළිතුර – 2015 මැයි දින උළෙලේදී තමයි ශ්‍රීලනිප සභාපතිවරයා ලෙසින් මා පළමුවෙන්ම ජනහමුවකට සහභාගි වූයේ. කොළඹ හයිඩ් පිටියේදී එය පවැත්වූවා. එම මැයි දින උත්සවය එතරම් සාර්ථක වුණා කියලා මම කියන්නෙ නැහැ. දසදහසක පමණ පිරිසක්‌ තමයි එයට සහභාගි වුණේ. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසා පක්‍ෂයේ ටික දෙනෙක්‌ මා පිළිබඳව එකල වැරදි අවබෝධයකින් සිටියා. එම තත්ත්වය හයිඩ් පිටියේ අසාර්ථකත්වයට බලපෑවා.

ඒත් එම වර්ෂයේදී පැවැති පක්‍ෂයේ 64 වැනි සංවත්සරය ඊට වඩා සාර්ථක වුණා. පහළොස්‌දහසක පමණ ජනතාවක්‌ ඊට පැමිණියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් ඊට සහභාගි වුණා.

ඒ වගේම 2016 මැයි දින උළෙල ඉතාමත් සාර්ථක වුණා. ඊට 60000 කට වැඩි ජනතාවක්‌ පැමිණියා. එය ගාල්ල හෙල්ලූ මැයි දිනයක්‌ වුණා. එම වර්ෂයේ පක්‍ෂ සමුළුව කුරුණෑගලදී පැවැත්වුණා. අතිවිශාල ජනතාවක්‌ ඊට සහභාගි වුණා. විශේෂයෙන් හිතන්නටවත් බැරි තරම් සෙනඟක්‌ උතුරු නැගෙනහිරින් පැමිණ සිටියා.

මේ වර්ෂයේදී මහනුවර පැවැති මැයි දින උළෙලට අධික වර්ෂාව මධ්‍යයේ මහනුවරින් ප්‍රධාන මාර්ග හතරක්‌ ඔස්‌සේ පෙළපාලියෙන් පැමිණියා ජනතාව එයද ඉතාම සාර්ථක මැයි රැලියක්‌ වුණා. මේ ආකාරයට කෙමෙන් කෙමෙන් අපි පක්‍ෂයේ බලය, ජවය පෙන්වමින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ප්‍රශ්නය – ජාතියේ අනාගතය සඳහා පිරිසිදු ජාතික දේශපාලන ව්‍යාපාරයක්‌ යන තේමාව පක්‍ෂ සමුළුවට යොදාගැනීමට බලපෑ විශේෂ කාරණයක්‌ තිබෙනවද?

පිළිතුර – අද ලංකාවේ දේශපාලන පක්‍ෂ සහ දේශපාලනඥයන් ගැන ජනතාව අප්‍රසාදයකින් පසු වෙනවා. වංචාව, දූෂණය, අක්‍රමිකතාව යන දේවල් රට තුළ මුල්බැහැලා තිබෙනවා. දේශපාලනඥයාගේ සිට රාජ්‍ය නිලධාරියා දක්‌වා එම තත්ත්වය තිබෙනවා. මේ අය අතරින් රාජ්‍ය නිලධාරීන් වැඩි පිරිසක්‌ හොඳයි. නමුත් දේශපාලන ක්‍ෂේත්‍රය ගත් විට අපේ රටේ මහත් පිරිහීමක්‌ දක්‌නට ලැබෙනවා.

පළාත් සභා ඡන්දයට එන දේශපාලනඥයාගේ සිට පාර්ලිමේන්තුවට එන දේශපාලනඥයා දක්‌වා පෞද්ගලිකව අරමුණු මූලික කරගෙන කටයුතු කරනවා. දේශපාලන චින්තනයක්‌ ඔවුන්ට නැහැ. මුදල් හම්බ කිරීම, තනතුර ලබාගැනීම සහ බලය පාවිච්චි කර සිදුකරන වැරදි වැඩ ඔවුන් නිතර කරනවා. දේශපාලනඥයා පිළිබඳ හොඳ හිත අද පළුදු වෙලා තිබෙනවා.

ප්‍රශ්නය – ඒත් දූෂණයෙන් තොර, පවුල් පාලනයෙන් තොර, ආඥදායකත්වයෙන් තොර යහපාලනයක්‌ නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌ බිහිකරන බවට 2015 ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ වුණා. ඒ ආණ්‌ඩුව අද බලයේ ඉන්නවා. ඒත් අද මෙවැනි තත්ත්වයක්‌ ඇති වී තිබෙන්නේ ඇයි?

පිළිතුර – වර්තමාන ආණ්‌ඩුව පිළිබඳවත් ඇති වෙලා තිබෙන චෝදනා සහ විවේචන දිහා බැලුවම දේශපාලනඥයන් අති බහුතරයක්‌ දෙනා කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති බව පැහැදිලියි. ඒ නිසා රටට පැහැදිලි පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව මා දකිනවා.

මම හිටපු තැනින් ආවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනව වගේම දූෂණයෙන්, වංචාවෙන් තොර රටක්‌ හැදීමටයි. ඒත් පිරිසිදු දේශපාලනයක්‌ ගැන ජනතාව තැබූ බලාපොරොත්තු අද සුන්වන තත්ත්වයක්‌ ඇතිවෙලා තිබෙනවා. මේ අවුරුදු දෙකහමාරක කාලය තුළ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කාගේවත් චෝදනාවක්‌ නැහැ. ඒත් දූෂණය, වංචාව, නාස්‌තිය අකාර්යක්‍ෂමතාව දුරු වී ඇති බවට ජනතාවගේ පැත්තෙන් ප්‍රසාදයක්‌ නැහැ.

ඒ නිසා දේශපාලන පක්‍ෂ සහ චරිතවලට වඩා පැහැදිලි ප්‍රතිපත්තියක්‌ සහ දර්ශනයක්‌ තුළ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක්‌ අද රටට අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නව වැඩපිළිවෙළකින් යුතුව එම තත්ත්වය ගොඩනඟා ගැනීමට කටයුතු කරනවා. ජනතාවගේ විශ්වාසය පක්‍ෂය වෙත ලබාගනිමින් ඉදිරියට යැමට අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ඔබගේ සභාපතිත්වයෙන් පක්‍ෂයේ 66 වැනි සංවත්සරය සමරන්නට කටයුතු කරද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා ශ්‍රීලනිපයේ සභාපතිවරයා තවමත් ඔහු බව. කුමක්‌ද මෙතන තිබෙන ගැටලුව?

පිළිතුර – පක්‍ෂයේ සභාපතිකම මම ඉල්ලුවේ නැහැ. මට ආරාධනා ආවා එය භාරගන්නට. මධ්‍යම කාරක සභාව ඊට අදාළ යෝජනා සම්මත කළා. චමල් රාජපක්‍ෂ මහතා කථානායකවරයාව සිටියදී කථානායක නිල නිවසේදී මාත් හිටපු ජනාධිපතිවරයාත් මුණගැසුණා. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 50 ක්‌ 60 ක්‌ ඒ වෙලාවේ එහි සිටියා. පක්‍ෂය භාරගන්න කැමැතිද කියල ඒ අවස්‌ථාවේදී හිටපු ජනාධිපතිවරයා මගෙන් විමසා සිටියා. මම ඊට කැමැති වුණා. හොඳයි එහෙම නම් පක්‍ෂය භාරගන්න කිව්වා. අලුත් නිලධාරි මණ්‌ඩලයක්‌ ඕනද කියලත් හිටපු ජනාධිපතිවරයා එහිදී මගෙන් ඇහැව්වා. ඔව් අලුත් නිලධාරි මණ්‌ඩලයක්‌ද අවශ්‍ය බව මම පැවසුවා.

අනතුරුව මධ්‍යම කාරක සභාවයි, විධායක සභාවයි දෙකේම යෝජනා සම්මත වුණා මාව පක්‍ෂයේ සභාපති කිරීමට. එහිදී මම පක්‍ෂ සභාපති ධුරය භාරගත්තා. ඊට පසුව සමස්‌ත ලංකා කාරක සභාව කැඳෙව්වා. විධායක සභාව කැඳෙව්වා. පක්‍ෂ ව්‍යවස්‌ථාව සංශෝධන කළා. හිටපු ජනාධිපතිවරු සහ අගමැතිවරු පක්‍ෂයේ උපදේශක සභාවට පත්කෙරුණා.

මගේ සභාපතිත්වයෙන් පෙලොන්නරුවේ පැවැති 64 වැනි සමුළුවටත් මහින්ද රාජපක්‍ෂ මහත්තයා ආවා. ඇවිත් මගේ ළඟ අසුනෙම වාඩි වී සිටියා. ඉතින් මම දන්නේ නැහැ. අද ඇයි ඒ මහතා මෙවැනි ප්‍රකාශ කරන්නේ කියලා. ශ්‍රීලනිපය එජාපය වගේ නොවේ, අඩු දේශපාලන වපසරියක්‌ තිබෙන දේශපාලන පක්‍ෂයවත් ලේකම්කමක්‌ සභාපතිකමක්‌ එහෙම බලහත්කාරයෙන් ගන්න පුළුවන්ද? කොහොමටත් ඒ ගොල්ලන්ගෙන් බලෙන් තනතුරක්‌ ගන්න පුළුවන්ද?

ප්‍රශ්නය – එජාපය සමඟ ජාතික ආණ්‌ඩුවක්‌ ගොඩනැගීමත් සමඟ ශ්‍රීලනිප සභාපතිවරුන් අතරින් වැඩිම අභියෝගයන්ට මුහුණදුන් සභාපතිවරයා වීමට ඔබට සිදුවණාද?

පිළිතුර – මට වඩා අභියෝගවලට බණ්‌ඩාරනායක මහතාට මුහුණදීමට සිදුවුණා. ඔහුව ඝාතනය කළේ එල් ටී ටී ඊයෙන්වත්, වෙනත් පක්‍ෂයකින්වත් නොවේ. ශ්‍රීලනිපය තුළම ඇති වූ බලවේගයකින් තමයි ඔහු ඝාතනය වුණේ. ඔහුගෙන් පසුව වැඩිම අභියෝගවලට මුහුණදුන් නායකයා ලෙස ජනතාව මම දකිනවා ඇති. ඒ ගැන මා එතරම් පුදුම වෙන්නෙ නැහැ.

අද අන්තර්ජාලයෙන්, වෙබ් සයිට්‌ සහ ෆේස්‌ බුක්‌වලින් පවා මගේ දුප්පත්කම, පවුල් පසුබිම අල්ලලා පහර ගහනවා. ඔක්‌ස්‌ෆර්ඩ්, කේම්බ්‍රිඡ් ගිහිල්ලා ධනවත් ප්‍රභූ රදළ පවුලකින් ආවා නම් මටත් මෙච්චර මඩ ගහන්නෙ නැහැ. දේශපාලනය යනු කෙසේ කීවත් ඊට පංති පදනමක්‌ තිබෙනවා. රටේ එක්‌තරා ප්‍රභූ පන්තියකට මගේ ආගමනය ප්‍රශ්නයක්‌. අභියෝගයක්‌.

ප්‍රශ්නය – ශ්‍රීලනිපය අද දිගු ගමනකට ගෙන යන්න ඔබ සූදානම් වෙනවා. ඒත් පක්‍ෂයේ තවත් පිරිසක්‌ හිටපු ජනාධිපතිවරයා සමඟ අද වෙනත් දේශපාලන මතධාරාවකට සම්බන්ධ වී තිබෙනවා. පක්‍ෂයේ ඉදිරි ගමන සඳහා ඔවුන් සම්බන්ධ කර ගන්නේ නැද්ද?

පිළිතුර – කිසි තැනකදී මම වෙන් වුණෙත් නැහැ. කාවවත් වෙන් කළේත් නැහැ. මට අවශ්‍ය වුණේ පැරදුණු පක්‍ෂයක්‌ අනාගතයේ ජයග්‍රහණයක්‌ කරා ගෙන යැමටයි. මහින්ද රාජපක්‍ෂ මහත්තයාව හෝ වෙන කාවවත් අපි එළියට දාලා නැහැ. මම හැම අවස්‌ථාවෙම කියනව අපත් සමඟ එකතු වෙන්න කියලා. කාටවත් එන්න එපා කියලා නැහැ.

ඒත් ඔවුන් මේ අලුත් පක්‍ෂය හැදුවේ කාගේ වුවමනාවටද? අලුත් පක්‍ෂය හැදුවේ පැහැදිලි ශ්‍රීලනිප පාක්‍ෂිකයන්ගේ වුවමනාවට නෙවෙයි. ශ්‍රීලනිප ගැන ඉතිහාසයක්‌ දන්නෙ නැති ශ්‍රීලනිපය සමඟ වැඩ නොකරපු, ශ්‍රීලනිපයේ දේශපාලනය දන්නෙ නැති, ශ්‍රීලනිප දේශපාලන දර්ශනය හඳුනන්නෙ නැති පිරිසක්‌ තමයි ඔය අලුත් පක්‍ෂය හැදුවේ.

ඔය අලුත් පක්‍ෂයට තිබෙන දර්ශනය කුමක්‌ද? මොකක්‌ද තිබෙන වැඩපිළිවෙළට ජනතාවට දෙන්න පුළුවන් සහතිකය කුමක්‌ද? එතන තිබෙන්නේ ජනතාව ප්‍රතික්‍ෂේප කරපු පවුල් වාදයයි. මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඒ අලුත් පක්‍ෂයේ රැස්‌වීම්වලට යනවා. ඒකෙ බැනර් දාගෙන වේදිකාවල ඉන්නවා. ප්‍රවෘත්ති සාකච්ඡා තියනවා. ඒ ඉන්න ගමන් කියනවා එයා ශ්‍රීලනිප සභාපති කියලා. එතන මොන තරම් ව්‍යාකූලතාවයක්‌ තියෙනවද? එවැනි දේශපාලනයක්‌ නොකර ශ්‍රීලනිපය සමඟ එක්‌ව පිරිසිදු දේශපාලනයකට එන්න කියා මම ඔවුන්ට ආරාධනා කරනවා.

ප්‍රශ්නය – ඒත් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසන්නේ ශ්‍රීලනිපය එජාපයත් සමඟ තිබෙන සම්බන්ධය අත්හැරියදාට ජනාධිපති සමඟ එකතු විය හැකි බවයි. එතෙක්‌ ශ්‍රීලනිපයට සහාය දැක්‌වීම ඔවුන් ප්‍රතික්‍ෂේප කරනවා.

පිළිතුර – තව අවුරුදු දෙකක්‌ බලයේ ඉන්න හැකියාව තිබියදී මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණයකට ගියේ ඇයි කියන කාරණාව අපි සලකා බැලිය යුතුයි. එතනයි මේ ප්‍රශ්නය තිබෙන්නෙ.

පක්‍ෂයෙන් එම මැතිවරණය එපා කිව්වා. සන්ධානෙ නායකයන් රැස්‌වෙලා කිව්වා මැතිවරණයකට යන්න එපා කියලා. මම ලිඛිතව දුන්නා ඡන්දයකට යන්න එපා කියලා. මම කුමන්ත්‍රණකාරයකු නම් ලිඛිතව දෙනවද ඡන්දයක්‌ එපා කියලා…..

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් කමිටුවෙන් පැමිණි චෝදනාවලට මුහුණ දෙන්න බැරි නිසයි මහින්ද රාජපක්‍ෂ මහතා එදා ඡන්දයකට ගියේ. අනෙක්‌ කාරණා තමයි අද අපි දකින ආර්ථික අර්බුදය සහ විදේශ ණය.

ප්‍රශ්නය – එකී ජාත්‍යන්තර සංවිධාන සහ විදේශ රාජ්‍යයන්ගෙන් අපේ රටට අද බලපෑමක්‌ එල්ල නොවනු ඇති බවට ඔබට සහතික වෙන්න පුළුවන්ද?

පිළිතුර – ලොව ඉහළ පහළ රාජ්‍ය නායකයෝ අපට දන්වා තිබෙනවා ඔවුන් අපේ රටට කිසිදු බලපෑමක්‌ එල්ල නොකරන බවට. ඔවුන් පෞද්ගලිකවත් ඒ බව දන්වා තිබෙනවා. එක්‌සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා පිළිබඳවත් ඔබ කලබල වෙන්න එපා කියා ඔවුන් මට දැනුම් දී තිබෙනවා.

ඒත් කලින් තිබුණු තත්ත්වය කුමක්‌ද? රටට ආර්ථික සම්බාධක යොදලා තිබුණා. යුරෝපා සංගමය අපෙන් මාළු ගන්න එක නතර කළා. ජී. එස්‌. පී. සහනය අයින් කළා. මේවා ආර්ථික තහංචි. ඔය ආරම්භයක්‌ පමණයි. එම රජය තිබුණා නම් රටට එරෙහිව විශාල ලෙස ආර්ථික සම්බාධක පැනවෙනවා. ඒත් අවුරුදු දෙකක්‌ තුළ අපි නිවැරදිව ආණ්‌ඩු කළ නිසා ඒ සියල්ල නැවත අපට හිමිවුණා. අපි ජාත්‍යන්තරය සමඟ ඉතා මිත්‍රශීලී ගමනක්‌ අද යනවා.

අපට මොන විවේචන කළත් රට අමාරු තත්ත්වයෙන් යළි ගොඩඅරගෙන තිබෙනවා. රට සහ ජනතාව කියන න්‍යාය පත්‍රය අංක එකට තබාගෙන අපි වැඩ කරලා තිබෙනවා. කලින් ආණ්‌ඩුව තිබුණා නම් ඔය ජාත්‍යන්තර අභියෝග ජය ගන්න අපට පුළුවන් වෙන්නෙ නැහැ.

ප්‍රශ්නය – ඒත් පක්‍ෂය මෙතරම් පාවාදීමකට ඉතිහාසයේ කවදාවත් ලක්‌ නොවුණු බවයි ඔවුන් පවසන්නේ?

පිළිතුර – එදා 64 දී ශ්‍රීලනිපය සම සමාජ පක්‍ෂයත් එක්‌ක එකතු වුණා. 2004 දී ජවිපෙයි ශ්‍රීලනිපයයි සන්ධාන ආණ්‌ඩුවක්‌ හැදුවා. මාස 11 ක්‌ පුරාවට ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වුවා. හැබැයි 2007 දී මහින්ද රාජපක්‍ෂ මහත්තයා කිසිදු සාකච්ඡාවක්‌ නැතිවම එජාපයත් සමඟ ගිවිසුම් ගැහැව්වා.

ඇයි එදා එහෙම ආණ්‌ඩුවක්‌ කරන්න ගිවිසුම් ගැහැව්වේ? එතකොට එදා ඒක හොඳයි. අද රටට එරෙහිව ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වෙද්දී ඒ අභියෝග ජය ගැනීමට ජාතික ආණ්‌ඩුවක්‌ හැදුවම අද ඒක වැරැදියි කියනවා.

ප්‍රශ්නය – දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක්‌ සඳහා ඔබට ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී එයට එල්ල වන බාධාව කුමක්‌ද?

පිළිතුර – බාධාව තිබෙන්නේ පක්‍ෂ වලින් නොවේ. පුද්ගලයන්ගෙන්. මුදල් ඉලක්‌ක කර ධනය හම්බ කිරීමේ වුවමනාවෙන් දේශපාලනයට එන ඇතැමුන් නිසා රටේ දේශපාලනය විනාශ වුණා. මනාප ඡන්ද ක්‍රමය නිසා මේ රටේ දේශපාලනඥයන්ගේ ප්‍රතිරූපය එහෙම් පිටින්ම කඩාගෙන වැටුණා. පසුගිය අවුරුදු 30 ක තරම් කාලය ඇතුළත රටේ දේශපාලනය අන්ත පිරිහීමකට ලක්‌ වුණේ ඒ නිසයි.

ප්‍රශ්නය – ජාත්‍යන්තර අධිකරණ, යුද අධිකරණ, දේශීය යාන්ත්‍රණ, ජාත්‍යන්තර බලපෑම් මේ අංශ වලදී ඊට රටක්‌ ලෙස මුහුණ දෙන්නෙ කෙසේද?

පිළිතුර – ලොව අනෙක්‌ රටවල් ඒ ප්‍රශ්නවලට මුහුණ දුන් ආකාරයට අපිත් ක්‍රියාත්මක වෙනවා. ඔය කියන ආකාරයේ හදිසියේ පරීක්‍ෂණ තියන්න අපි එකඟවෙලා නැහැ. අධිකරණ ක්‍රියාදාමය ආරම්භ කරලත් නැහැ. යුද අධිකරණයක්‌ කියලා දෙයකුත් නැහැ. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හරහා අපි ඒවා ඉවත්කර ගත්තා.

ප්‍රශ්නය – ශ්‍රීලනිපය එජාපයත් සමඟ ඇතිකර ගත් වසර දෙකේ අවබෝධතා ගිවිසුම තව නොබෝ දිනකින් අවසන් වෙනවා. ඊට පසුවත් මේ අවබෝධතාවයෙන් යුතුව පක්‍ෂ දෙක එකට එකතු වී ආණ්‌ඩු කරනවාද?

පිළිතුර – ජනාධිපති විදිහට රට සහ ජනතාව වෙනුවෙන් මගේ නිල කාලය අවසන් වන තෙක්‌ මා එම වගකීම ඉෂ්ට කළ යුතුයි. එහිදී පැහැදිලි පිරිසිදු දේශපාලන වැඩපිළිවෙළක්‌ සමග යා යුතු බව මගේ අදහසයි. හැබැයි මේ ආණ්‌ඩුවෙන් කවුරු හරි යනව නම් ඒ යන්නෙ කොතනටද? ඒ ගිහිල්ලා මොකක්‌ද කරන්න හදන්නේ. පක්‍ෂයේ අනන්‍යතාවය හෝ පක්‍ෂයේ වැඩපිළිවෙළ අපේ සම්බන්ධය තුළ අපි දුර්වල කර ගන්න හොඳ නැහැ. හැබැයි අලුත් පක්‍ෂ හැදීම තුළ එහි වාසිය ගන්නෙ වෙන පිරිසක්‌.

ප්‍රශ්නය – ජාතික ආණ්‌ඩුවක්‌ ලෙස කටයුතු කිරීමේදී ප්‍රධාන පක්‍ෂ දෙකේ මැති ඇමැතිවරුන් අනෙක්‌ පක්‍ෂය විවේචනය කරමින් අදහස්‌ හා මතවාද පළකරනවා. ඔවුන් එකිනෙකා හෙළා දකිනවා. මේ තත්ත්වය යහපාලන රජයේ කටයුතුවලට බාධාවක්‌ නොවේද?

පිළිතුර – එවැනි අය පක්‍ෂ දෙකේම ඉන්නවා ඒක පුදුමයකට කාරණයක්‌ නොවේ. ආණ්‌ඩුවක්‌ වශයෙන් පමණක්‌ නොවේ රටක්‌ වශයෙනුත් මේ රජය අලුත් අත්දැකීමක්‌නෙ. මේ අමාරු වැඩකට යන්න සුදුසු මානසිකත්වයක්‌ ඔවුන් හදාගත යුතුයි. ඒ විදිහට මනස හදා ගන්නෙ නැතුව මේ වැඩේ කරන එක පහසු නැහැ. රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් එය අවබෝධ කරගත යුතුයි. දේශපාලනඥයන් වෙනුවෙන් ආණ්‌ඩුවක්‌ නොවේ රට වෙනුවෙනුයි ආණ්‌ඩුවක්‌ අවශ්‍ය වෙන්නේ.

ප්‍රශ්නය – ආණ්‌ඩුව තුළ ශ්‍රීලනිපය සිටීමෙන් මේ වසර දෙකක කාලය තුළ රටට දැනෙන වෙනසක්‌ කළාද?

පිළිතුර – එවැනි දීර්ඝ ලැයිස්‌තුවක්‌ මට මෙතන කියන්න පුළුවන්. පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට වෙනස්‌ව යන දේවල් අපට නවත්ව ගන්න පුළුවන් වුණා. ජනතාව වෙනුවෙන් වඩාත් යහපත් දැ කිරීමට අවස්‌ථාව උදාවුණා.

ප්‍රශ්නය – ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන් දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ අද එම තනතුරුවලින් ඉවත් කර තිබෙනවා. පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයට එය කැළලක්‌ නේද?

පිළිතුර – අලුත් පක්‍ෂ හදාගෙන ඒ කොඩිය අස්‌සෙ දුවනකොට ඔවුන්ට තවදුරටත් සංවිධායකයෝ විදිහට තියා ගන්න පුළුවන්ද? ඒ වෙනුවට පක්‍ෂයට වැඩ කිරීමට අලුත් ක්‍රියාකාරීන්ට අවස්‌ථාව දුන්නා.

ප්‍රශ්නය – නමුත් එසේ ඉවත් කළ අය තවමත් ශ්‍රීලනිප සාමාජිකයන්?

පිළිතුර – සාමාජිකත්වය කියන දෙය තියෙන්නෙ කඩදාසියක. ඊට වඩා රටට පේනවනේ ඔය කියන පිරිස මොන පක්‍ෂයේ ද ඉන්නෙ කියලා. ඇස්‌ කන් තියෙන අයට පේනවනෙ ඇහෙනවනේ ඔවුන් ඉන්නෙ කොතැනද කියන කාරණය. ඔවුන් ඉන්නෙ මොන කොඩියෙද, මොන වේදිකාවෙද කියලා ජනතාව දන්නවා.

ප්‍රශ්නය – ගමේදි මහින්ද රාජපක්‍ෂ මහත්තයගේ පැත්තත් කොළඹට ආවහම මෛත්‍රිපාල සිරිසේන මහත්තයගේ පැත්තත් අරන් කතා කරන පිරිසක්‌ ඉන්නවා. ඔවුන් ගැන ඔබට කියන්න තිබෙන්නෙ කුමක්‌ද?

පිළිතුර – එහෙම අය පිළිබඳව මටත් ආරංචි වෙනවා. දෙපැත්තෙම එවැනි පිරිස්‌ ඉන්නවා.

ප්‍රශ්නය- – හොරුන්ට, දූෂිතයන්ට, වැරැදිකරුවන්ට දඬුවම් දීමේ ප්‍රමාදයක්‌ ජනතාව දකිනවා.

පිළිතුර – ඒවා වගකීම් භාර ගත්ත අංශ සිදු කරයි. ආණ්‌ඩු පක්‍ෂයේද, විරුද්ධ පක්‍ෂයේද කියලා නැහැ කොහේ හරි තැනක වරදක්‌ දූෂණයක්‌ සිදුවෙලා තිබෙනවා නම් ඒවාට දඬුවම් හිමිවිය යුතුයි.

ප්‍රශ්නය – සයිටම් ප්‍රශ්නයට තවමත් නිසි විසඳුමක්‌ ලබා දෙන්නට ආණ්‌ඩුවට නොහැකි වෙලා.

පිළිතුර – සයිටම් ප්‍රශ්නයත් අද දේශපාලන ප්‍රශ්නයක්‌ වෙලා. දේශපාලන ප්‍රශ්නයක්‌ නොවුණා නම් අද මේ වන විට එය විසඳිලා. ඒ පිටුපස ඉන්නෙ කවුද කියලා මේ රටම දන්නවා.

ප්‍රශ්නය – රටේ ඊළඟ ජනාධිපතිවරණය පිළිබඳව ඇතැමුන් දැන් සිටම කතා කරන්න පටන් අරගෙන තිබෙනව. ශ්‍රීලනිපයේ ඊට සූදානම කෙබදුද?

පිළිතුර – එවැනි දේ ගැන කතා කරන අය මා දකින්නේ ඔවුන් රට වෙනුවෙන් නොවෙයි කතා කරන්නේ. අද දවසේ රටේ තිබෙන ප්‍රශ්නය ගැන කතා කිරීමයි වැදගත්. මම නම් ඊළඟ ජනාධිපතිවරණය ගැන නොවේ හිතන්නේ. රටේ අද තිබෙන ප්‍රශ්නය ගැනයි.

ප්‍රශ්නය – පළාත් සභා ඡන්දය එක දිනයක පවත්වනවා යෑයි කියමින් ඡන්දය කල් දැමීම ශ්‍රීලනිපය මැතිවරණවලට බයේ ඡන්දය කල් දමන බවටයි ඇතැමුන් චෝදනා කරන්නේ. 

පිළිතුර – ශ්‍රීලනිපය මැතිවරණවලට කිසිම බයක්‌ නැහැ. පළාත් සභා ඡන්දය එක දිනයක පවත්වන්න.

උපුටා ගැනීම ඉරිදා දිව‍යින පුවත්පතෙන්