සවර්ණපාලි සජිත්ගේ ඇත්තම පෙම්වතියයි

සවර්ණපාලි සජිත්ගේ ඇත්තම පෙම්වතියයි
කාලයක් නිහඬව ඉඳලා සජිත් කලා ජීවිතේ අලුත් පිටුවක් පෙරළුවා නේද? 
මම හිතන්නේ ඔය අහනවා ඇත්තේ මගේ අලුත් ගීතය ගැන වෙන්න ඇති.
ඔව්. කවුරුත් බලන් හිටියේ සජිත් නිහැඩියාව බිඳලා සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයා හමුවෙයි කියලා?
ඇත්ත. අධ්‍යාපන කටයුතු නිසා මට සිනමාවට දායක වෙන්නම බැරි වුණා. ඉන්නවා කියලා පෙන්නන්න බොහීමියානුවෝ වගේ නාට්‍යයකට ඉඳලා හිටලා දායක වුණාට දිගටම ඒකත් කළේ නෑ. ඒ අතරේ තමයි ගීතයක් කරන්න ඕනෑ කියලා හිතුවේ.
සජිත් ‘ස්වර්ණපාලියෙ’ ගීතයෙන් උඩුගම් බලා යන්න උත්සාහ ගන්නවා. ඇත්තටම මේ අදහස කාගේද? 
මේ ගීතයේ මුලින්ම නිර්මාණය වෙන්නේ සංගීතය සහ තනු. සනුක වික්‍රමසිංහ කියන මගේ මිත්‍රයාට මාව මුණ ගැහෙන්නත් කලින් තමයි ඔහුගේ පර්යේෂණයේ ප්‍රතිඵලයක් විදිහට ජ්ච්ර් සම්ප්‍රදාය යටතේ සංගීතය සහ තනු නිමැවෙන්නේ. සනුක එය පෙන්නලා මට ආරාධනා කළා ගයන්න. මට ඕනෑ වුණා මම නවත්තපු තැනින් පටන් ගන්න. අපි දෙන්නා තනුවට ගැළපෙන්න පද ගොතන්න සෑහෙන්න උත්සාහ කළා. ඒත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ. ඊට පස්සේ තමයි අපිට අප්පච්චිගේ පිහිට පතන්න වුණේ.
ඒ කියන්නේ ස්වර්ණපාලියේ පද ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ?
ඔව්, සිනමාවෙන් අබා ගොඩනැගුව ඔහුටම ගීතයෙන් නැවතත් අබාව ගොඩනගන්න සිද්ධ වුණා.
ස්වර්ණපාලියේ පද රචනාවෙන් විතරක් ඔහුගේ කාර්ය නිමා වී නෑ. ගීතයට අතිශය සාධාරණයක් ඉටුකරමින් අතීතය වත්මන යාවෙන අපූරු රූප පෙළක් නිර්මාණයටත් ඔහුව පෙළඹුවේ ඔබද?
මම ජැක්සන් ඇන්තනීගේ පුතා කියන එක පැත්තකින් තියමුකෝ. මම මහා වාසනාවන්තයෙක්, ඔහු වගේ කෙනෙක්ගෙන් ගීතයකට රූප රචනාවක් කර ගන්න. අපේ කාලයේ නිර්මාණකරුවෝ ගීතයක් කරන්න කොයි තරම් මහන්සි වෙනවද? ඒ තරමටම රූප රචනාවටත් මහන්සි වෙනවා. ඒත් ඔහු නිසා මගේ හිසට ලොකු නිදහසක් ලැබුණා.
 “ස්වර්ණපාලියේ” ජැක්සන් ඇන්තනී නම් අධ්‍යක්ෂවරයාගේ පළමු රූප රචනාව?
මම හිතන්නේ ඔව්, අම්මගේ වෙරළු මල් සුවඳ ගීත එකතුවේදී අප්පච්චි ඒ නිර්මාණයට අදහස් දුන්නා. නමුත් ස්වර්ණපාලියේ ඔහුගේ ප්‍රඩක්ෂන් එකක් විදිහට කරපු පළමු අවස්ථාව. ඒකනේ මම වාසනාවන්තයි කිව්වේ.
ඒ වගේම මේ සජිත්ගේ කුළුඳුල් ගීතය?
මීට කලින් පුංචි කා‍ලේ චිත්‍රපටයකට පසුබිම් ගීතයක් ගැයුවා. මගේම කියලා නිර්මාණයක් කළ පළමු අවස්ථාව තමයි මේක.
මේ ඔක්කොම හේතු සාධක වගේම සජිත්ට මේ ගීතය තවත් විදියකින් වැදගත් වෙනවා නේද?
ඒ කිව්වේ
රූප රචනාවේ අබාගේ පෙම්වතිය ස්වර්ණමාලි වෙන්නේ සජිත්ගේ පෙම්වතිය බුවිනිකා?
ඔව්නේ. මම අබා නම් මගේ ස්වර්ණමාලි බුවී වෙන්නම ඕනෙනේ. ඒ නිසයි මම හිතලා හිතලා අප්පච්චිට යෝජනාව ගෙනාවෙ බුවීව ස්වර්ණමාලි කරන්න.
අනාගත ‍ලේලි ‍පොඩ්ඩ නිසා මාමණ්ඩි එක පයින්ම කැමති වෙන්න ඇති ? 
එකපාරටම කැමති වුණේ නෑ. ඔඩිෂන් එකක් තියන්න ඕනේ කිව්වා. පාස් වුණොත් ගන්නම් කිව්වා.
ඒ කියන්නේ සුදුසුකම නැත්නම් අප්පච්චිගෙන් නෑකමටත් තැනක් ලැබෙන්නෙ නෑ ?
ඔව්, මමත් ඔඩිෂන් කීයක් ෆේල් වුණාද? පුතා නිසාවත් ගත්තෙ නෑනේ මාව ඒවට.
යාන්තමට ‍ලේලි මාමණ්ඩිගේ ඔඩිෂන් එක පාස් වුණා ? 
ඔව්, ඔය බුවනි අප්පච්චිට මුහුණ දුන්න දවෛනි ඔඩිෂන් එක. පළවෙනි එක පාස් වුණ නිසා මගේ පෙම්වතිය හැටියට පිළිගත්තා. දෙවැනි ඔඩිෂන් එක පාස් වෙලා අබාගෙ පෙම්වතිය ස්වර්ණමාලි වුණා.