කේට් විලියම් යුවල තෙවෙනි දරු උපතටත් සැරසෙති

කේට් විලියම් යුවල තෙවෙනි දරු උපතටත් සැරසෙති

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් තුන්වැනි වරටත් මව්පියන් වීමට යන පුවත මේ දිනවල බ්‍රිතාන්‍ය මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගන්නට සමත්ව තිබේ. මේ වනවිටත් ඔවුන් දෙදෙනා පුතෙකුගේ සහ දියණියකගේ සුරතල් බලමින් සිටින අඹුසැමි යුවළකි. ඔවුන්ගේ වැඩිමහල් පුතු වන ජෝර්ජ් ගේ වයස අවුරුදු හතරක් වන අතර දියණිය චාලට්ට වයස අවුරුදු දෙකකි.
තෙවැනි දරුවා පිළිබඳ පුවත රජ පවුල මේ තරම් ඉක්මනින් ප්‍රසිද්ධියට පත් කරන්නට බලා‍පොරොත්තු නොවූ බවද සඳහන් වෙයි. නමුත් 35 වැනි වියේ පසුවන කේට් ගැබ් ගැනීමත් සමග යම් යම් සංකූලතා පෙන්වීමට පටන් ගැනීම හේතුවෙන් ඔවුන්ට එය රහසක් ලෙස තබා ගැනීම අසීරු වී ඇති ආකාරයක් පෙනී යයි. මේ වනවිට කේට් කුමරිය ගර්භනී සමයේ මුල් කාලයේ පෙන්වන රෝග ලක්ෂණවලින් පීඩා විඳිමින් සිටින බව සඳහන් වෙයි. මෙම තත්ත්වය බොහෝ කාන්තාවන්ට සාමාන්‍යයෙන් වැළඳෙන තත්ත්වයක් වුවත් කේට්ට තරමක් බරපතල ආකාරයෙන් මෙය බලපා ඇතැයි අනාවරණය වෙයි.
කලින් දරුවන් ලැබෙන්නට සිටියදී ද ඇය මෙම අපහසුතාවට මුහුණ දුන්නාය. මෙම අසාමාන්‍ය තත්ත්වය ගර්භනී කාන්තාවන් 200 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණ වැළඳෙන තත්ත්වයක් බවද සඳහන් වෙයි. මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විඳින කාන්තාවන් දිනකට විසි තිස් වතාවක් පමණ වමනය කිරීම වැනි පීඩාකාරී අත්දැකීම්වලට මුහුණ දෙන බව පැවසේ. කේට්ට මේ වනවිට ඇගේ සුපුරුදු නිල කටයුතුවලින් බොහෝ දුරට ඈත්ව සිටින්නට සිදුව ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ළඟදීම රජ පවුලට එක්වීමට නියමිත අමුත්තා නිසා පවු‍ලේ සියලුදෙනා මහත් පී්‍රතියට පත්ව සිටින බව ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. මහ රැජිනගෙන් පසු රජ පවු‍ලේ කිසිදු කුමාරයෙකුට හෝ කුමරියකට දරුවන් දෙදෙනෙකුට වඩා සිටියේ නැත. චාල්ස්, ඇන්ඩෲ, එඩ්වඩ් යන කුමාරවරුන්ට මෙන්ම ඈන් කුමරියටද සිටියේ දරුවන් දෙදෙනෙකු බැගිනි. නමුත් විලියම් එම ‘සම්ප්‍රදාය’ බිඳ දමන්නට සැරසෙන ආකාරයක් පෙනේ. ඔහු මෙහිදී තම පියාගේ අඩි පාරේ නොව මිත්තණියගේ අඩි පාරේ ගමන් කිරීමට අදහස් කරගෙන සිටින සෙයකි. එසේම මේ ආකාරයෙන් අලුත් සාමාජිකයෙකු පිළිබඳ පුවත වාර්තා වන්නේ චාල්ස් කුමරු රජ පවු‍ලේ සාමාජිකයින් ගණන සීමා කිරීමට සැලසුම් කරමින් සිටින අවස්ථාවක බවද සඳහන් ය.
කේට්ගේ පවු‍ලේද දරු දැරියන් තිදෙනෙකි. ඇය එම පවු‍ලේ වැඩිමහල් දියණිය වූවාය. ඇයත් ඇගේ සොයුරිය පිපා සහ සොයුරු ජේම්ස් අතර ඇත්තේ විශාල බැඳීමකි. මෙම තිදෙනා අතර වූ බැඳීමද විලියම් සහ කේට් දරුවන් තිදෙනෙකු සෑදීමට ගත් තීරණයට බලපාන්නට ඇතැයි ඇතැම්හු අනුමාන කරති. විලියම් කේට් සමග හාද වූ මුල්කාලයේ ඇගේ නිවසට ගිය අවස්ථාවල මෙම සහෝදර සහෝදරියන් තිදෙනාගේ ඇසුර බෙහෙවින් ආස්වාදනය කළ බව සඳහන් ය.