ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන හෙවත් ලාල් සිරිසේන රිය අනතුරක් සිදුකර පසු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී ලාල් සිරිසේන පැදවූ ජීප් රියට අද (09) පාන්දර යට වී යතුරු පැදි කරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබිණ. මිය ගොස් ඇත්තේ ඒ.ජේ.එම්. ජයරත්න (48) සහ ඒ.ජේ.එම්. බුද්ධදාස (58) යන එකම පවුලේ සොයුරන් දෙදෙනෙකි. බුද්ධදාස නමැත්තාගේ වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට රැගෙන ගොස් එන අතර තුරදී මෙම අනතුර සිදුව තිබිණ. එක් අයෙකු එතැනම මිය ගිය අතර අනෙක් අය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

අනතුරින් පසුව ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ජීප් රිය පැදවූ ලාල් සිරිසේන සවස පොලිසියට බාර වී තිබේ. ඉන්පසුව පොලොන්නරුව පොලිසියේ නිලධාරියෙකු පොලිසියේ ඉහල නිලධාරියෙකු හරහා ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ හරහා ජනාධිපතිවරයා අමතා සිද්ධිය ගැන සැල කර ඇත. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ “වෙන මිනිස්සු අනතුරු කරාමත් ඒ මිනිස්සුන්ගේ නෑදෑ වෙන ලොකු ලොක්කන්ගෙන් අහලද නීතිය ක්‍රියාත්මක කරන්නේ..? මොනවාද මගෙන් අහන්නේ..? සාමාන්‍ය මිනිස්සුන්ට කරන නීතියම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න” කියා සැරෙන් පිළිතුරු ලබාදී තිබේ..

අත් අඩංගුවට ගත් ලාල් සිරිසේන ඊයේ සවස පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර ජනපති සොයුරා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

මිට පෙර කවරකලකදීවත් මෙවන් විදිහේ තීන්දුවක් කිසිදු දේශපාලකයෙක් විසින් ගෙන නැතැයිද, ජනවාරි 8 වෙනිදා අපේ රටේ ජනතාව අපේක්ෂා කල පරිද්දෙන්ම තම පෞද්ගලික දේවල් පසෙකලා රටේ නීතියේ ආධිපත්‍යට කිසිඳු ලෙසකින්වත් ඇල්පෙන්නිතක තරම් දෙයකින්වත් හානි නොකරන විධායක ජනාධිපතිවරයෙකු බවට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත්වී ඇතැයි දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ.

මේ වන විට ඇතැම් ජන මාධ්‍ය විසින් මෙම අනතුර දඩමීමා කරගෙන ජනාධිපතිවරයා අපහසුතාවයට ලක් කරමින් විවිධ කාරණා ගොතමින් ප්‍රවෘත්තීන් පළ කෙරුනද, පොළොන්නරුවේ රිමාන්ඩ් බන්ධනාගාරයක් නොමැති අතර ඔහුව අනුරාධපුර බන්ධනාගාරය කරා ගෙන ගොස් තිබේ. අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහලක් නොමැත.