සෞඛ්‍ය පිළිබද මාරාන්තික අරගලයක් ගැන සුව ඇමැතිගෙන් අනතුරු ඇගවීමක්

සෞඛ්‍ය පිළිබද මාරාන්තික අරගලයක් ගැන සුව ඇමැතිගෙන් අනතුරු ඇගවීමක්
සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් සිසු හෙද / හෙදියන් 1614 ක් පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ප්‍රධානොත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිනි.  
තව ද 1 ශ්‍රේණියේ හෙද නිලධාරී  (මහජන සෞඛ්‍ය) 121 කට ද1 ශ්‍රේණියේ හෙද නිලධාරී  (රෝහල් සේවා) 476 කට ද, 1 ශ්‍රේණියේ හෙද නිලධාරී  (අධ්‍යාපන) 291 කට ද වශයෙන් 888 කට ස්ථිර පත්වීම් ලබාදීම ද මෙහිදී සිදු කෙරිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – රෝගී ජනතාවට සහන රැසක් ලබාදී තිබෙනවා. තමන්ට පැවැරී ඇති රාජකාරිය දේවකාර්යක් ලෙස සලකා කටයුතු කරන්න. නැතිනම් එය පාපකර්මයක්. නිදහස් සෞඛ්‍ය සේවාවේ තිබූ සීමාවන් මම ඉවත් කළා. පිළීකා ඖෂධ සදහා ආදේශක හදුන්වා දුන් අතර, එම ඖෂධ මේ වන විට ඇමරිකාවේ ඖෂධ අධිකාරිය ද පිළීගෙන තිබෙනවා. නමුත් අපේ රටේ ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ සමාගම්වල බලපෑම් වලට යටත්ව කටයුතු කළා. නිදහස් සෞඛ්‍ය සේවාව ලෙස හදුන්වමින් මෙතෙක් කල් බහුජාතික සමාගම් වලට මුදල් ලබාදුන්නා. නමුත් යහපාලන රජය රජයේ මුදල් භාවිතය සාධාරණ තැනකට ගෙනඑනු ලැබුවා. සෞඛ්‍ය සේවාවේ ඖෂධ මාෆියාව විනාශ කර වංචා දුෂණ අඩු කළා. ඖෂධ සමාගම් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් විශාල ලෙස මුදල් යොයාගන්න පුලුවන්. නමුත් එවැනි වැඩපිළිවෙලකට මා යොමු වුනේ නැහැ. දුම්කොළ සමාගමට එරෙහිව බදු පැනවූවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අනෙකුත් රට වලට ආදර්ශයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර තිබෙනවා. දුම්කොළ විරෝධී වැඩසටහන් වෙනුවෙන් උරුගුවේ දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධාන සැසිවාරයකට ජනාධිපතිවරයාට සහ මට ආරාධනා කර තිබෙනවා. නමුත් දුම්කොළ සමාගම් අපි සමග විරුද්ධවයි කටයුතු කරන්නේ. ඔවුන්ගේ ලාභාංශ අඩු වෙලා. දුමිවැටි භාවිතය සියයට 46  කින් අඩු වී තිබෙනවා. දුම්කොළ වෙනුවෙන් ඉදිරියටත් නීති රීති ගෙන එනවා. පාසල් අවට සිගරට් විකිණීම තහනම් කිරිම, තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වා දීම ඒ අතර ප්‍රධාන වෙනවා. වසර 2020 වනවට දුම්කොළ වගාව ශ්‍රී ලංකාවේ තහනම් කරනවා. එය ප්‍රතිපත්තිමය තීරණයක්. එවිට දුම්කොළ සමාගම තීන්දුවක් ගනියි. බෝ නොවන රෝග පාලනය කිරිම සදහා සීනි, ලුණු සහ තෙල් වලට බදු පැනවිය යුතුයි. පැණිබීම වර්ගවල සියයට 6 කට වඩා සීනි තිබේ නම් වැඩිවන සෑම සිනී ග්රැම් එකකටම රැපියලක බද්දක් අය කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර තිබෙනවා. මෙලෙස බදු පැනවීම තුලින් වසර 2025 වනවිට රෝගවලින් සියයට 30 ක් අවම කිරීම අපගේ අරමුණයි. රෝග නිවාරණය ඉතාම වැදගත්. ඇතැම් වෛද්‍ය සංගම් වලට ඖෂධ සමාගම් දෙකක් විසින් මුදල් ලබාදී තිබෙනවා මට විරුද්ධව කටයුතු කිරීමට. එක් ඖෂධ සමාගමක තොරතුරු මගේ ලග තිබෙනවා. අපේ පරමාර්ථ ජයගැනීම සදහා බලවේග වලට විරුද්ධව කටයුතු කළ යුතුයි. නැතිනම් ජයග්‍රහණයක් ලබාගන්න බැහැ. සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබදව කථා කර කර ඉදලා වැඩක් නැහැ. ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පරිවර්තනයක් දියත් කළ යුතුයි. නවක පත්වීම්ලාභීන් වෙත විවිධ සෞඛ්‍ය වෘත්තීය සංගම් එන්න පුලුවක්. ඇතැම් අය විරුද්ධවයි කටයුතු කරන්නේ. ඇතැම් සංගම් සෞඛ්‍ය සේවාව ජයගැනීම සදහා කටයුතු කරනවා. මෙය සෞඛ්‍ය පිළිබද මාරාන්තික අරගලයක්. සෞඛ්‍ය සේවාව ජය ගැනීම සදහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයයි. ඇතැම් වෛද්‍යවරුන් ද දූපත් මානසිකත්වයෙන් කටයුතු කරනවා. වෛද්‍යවරයෙක් වුවත් විද්‍යාව අවිද්‍යාවෙන් හදාරා ඇත්නම් වැඩක් නැහැ. හෙද හෙදියන් උපාධිධාරීන් බවට පත් කළ යුතුයි. එවිට ඔවුන් ද වෘත්තීයවේදීන් බවට පත්වෙනවා. එම වෘත්තීයවේදීන් සදහා විධිමත් වැටුප් තලයක් ද සකස් කරනවා.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සරත් අමුණුගම මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධයක්ෂවරුන් සහ වෘත්තිය සමිති නායකයින්  ද එක්ව සිටියහ.