මහාචාර්ය සේනක බිබිලේ සමරු උළෙල 2017 සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (26) පැවැත්විනි.
උත්සවය ආරම්භයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඡායාරූපයට මල්දම පැළැදවීම සිදු කරන ලදි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා  – 1971 වසරේ දී සේනක බිබිලේ මහතා ඖෂධ ප්‍රතිපත්තිය සකස් කළා. ඒ සමගි පෙරමුණු රජය සමයේයි. මම ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින කොමියුනිස්ට් පක්ෂ නායක ඩියු ගුණසේකර මහතා ප්‍රකාශ කළා ඖෂධ ප්‍රතිපත්තියට කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බව. එය ඔහුගේ දේශපාලන දිවියේ අමරණීය දවසක්. නමුත් ඇතැම් අය විමසීම් කළා කඩිනමින් ප්‍රතිපත්තිය ගෙනඒම සම්බන්ධයෙන්. කිඩිනම්වීමත්, ප්‍රමාදවීමත් ලංකාවේ අයට ප්‍රශ්නයක්. හැම දෙයක්ම ඉක්මණින් කළ යුතුයි. සේනක බිබිලේ ප්‍රතිපත්තිය හා දර්ශණය පිළිබද පසුගිය කාලය පුරා සෞඛ්‍ය අමාත්‍යවරු අදහස් ප්‍රකාශ කළා. නමුත් ඖෂධ ප්‍රතිපත්තිය තිබුනේ ලිඛිතව පමණයි. සාමාන්‍ය ජනතාවට වැඩක් වුයේ නැහැ. සමහරු ප්‍රකාශ කළා විවෘත ආර්ථිකය තුල මෙය ක්‍රියාත්මක කරන්න බැහැ කියලා. මෙම ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගත්තා. වත්මන් ජනාධිපතිවරයා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ද එම ලිපිගොනු පවා අස්ථාන ගත වුනා. නමුත් වසර 45 කට පසු මම එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. සමහරුන්ට මෙම ප්‍රතිපත්තිය වැදගත් නොවුනත් ජනතාවට ඉතා වැදගත්.
රෝගීන්ට ලබාදෙන ඖෂධ වෙළෙද නාමයෙන් ලිවීම නතර කර, ඖෂධ නාමයෙන් ලිවීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරනවා. චීනයේ සහයෝගය මැද නවීන තාක්ෂණයෙන් යුත් ඖෂධ පරීක්ෂණාගාර ලැබෙනවා. ඉන් පසු ඖෂධ, ඖෂධ නාමයෙන් ලිවීමේ වැඩපිළිවෙල ආරම්භ කරනවා. දැනට එංගලන්තයේ සහ ඇමරිකාවේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. වෙළෙද ආර්ථිකයේ දේවස්ථානය ලෙස සැළකෙන එම රටවල ඖෂධ, ඖෂධ නාමයෙන් ලිවීම සියයට 85 ක් පමණ ක්‍රියාත්මකයි. ජාතික ඖෂධ නියාමන පනත යටතේ ඖෂධ, ඖෂධ නාමයෙන් ලිවීමේ නීතිය නීතිගත කර තිබෙනවා.
වෙළෙද ආර්ථිකය යටතේ එකම ආයතනය යටතේ ඖෂධ මිලදී ගන්න බැහැ. වෙළෙද පොලේ මිල පාලනය කරන්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හැකියාව ලැබී තිබෙනවා. ඖෂධ සමාගම් වලට බලපෑමක් එල්ල කරන්න පුලුවන්. අපි ඖෂධ සමාගම්වල බලපෑමට යටත් වූයේ නැහැ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දියුණුවට පත්ව තිබෙනවා. 2015 වසරේ බිලියන 24 ක පිරිවැටුමක් ලැබූ සංස්ථාව 2016 වසරේ දී එය බිලියන 32 දක්වා වර්ධනය කර ගැනීමට සමත් වුනා. 2015 වසරේ දී මිලියන 1230 ලාභයක් ලබා තිබෙනවා. එය 2016 වසරේ දී මිලියන 1867 දක්වා වර්ධනය කර ගැනීමට සංස්ථාව සමත් වුනා. වෙළෙද ආර්ථිකයත් සමග සංස්ථාව දියුණු කරනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ආයුර්වේද සංස්ථාව සහ ජයවර්ධනපුර රෝහල ද මෙම කාලය තුල ලාභ ලබනවා. ශ්‍රී ලංකාවේ ඇති ශක්තිමත්ම ඖෂධ සමාගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. සෞඛ්‍ය සේවාවට අවශ්‍ය සියලුම ඖෂධ දේශීයව මිලදී ගැනීමේ වගකීම ඖෂධ නීතිගත සංස්ථාවට ලබාදීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා සමාගම් සමග ගිවිසුම් 38 ක් අත්සන් කර තිබෙනවා. එම ගිවිසුම් වලට අනුව ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ඉදිවෙනවා. එහි නිෂ්පාදන සෞඛ්‍ය සේවාවට ලබා ගන්නවා. 2019 වසරේ මැදභාගය වන විට සියයට 85 ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කරනවා. වසර 2020 වනවිට ශ්‍රී ලංකාව රටට අවශ්‍ය ඖෂධ වලින් සියයට 100 ක්ම මෙරටදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඖෂධවේදී අධ්‍යාපනය ලැබූ උපාධිධාරීන්ට මම රැකියා ලබාදුන්නා. ඔවුන්ට ඉහළ වැටපක් ලබාදිය යුතු බව මම වැටුප් කොමිසමට නිර්දේශ කළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඖෂධවේදී පීඨය ආරම්භ කරනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ක්‍රියාත්මක වීමෙන් පසු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළා. නමුත් එම ඖෂධ වෙළෙද නාම යටතේ බලන විට ඖෂධ වර්ග 300 ක පමණ මිල අඩු වී තිබෙනවා. ඖෂධහල් ලියාපදිංචි රෙගුලාසි යාවත්කාලීන කරනු ලැබුවා. අද වනවිට ඖෂධ මිල බෙහෙවින්ම අඩු වී තිබෙනවා. ඖෂධ මිලදී ගැනීමේ දීත් වංචා දුෂණ රැසක් සිදු වුනා. මම එම වංචා දුෂණ නතර කිරිමට පියවර ගත්තා.
සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කරන බවට ඇතැම් පිරිස් චෝදනා කරනවා. නමුත් අද ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා නිසි පරිදි ලැබෙනවා. සේනක බිබිලේ ප්‍රතිපත්තිය පිළිබදව වර්ණනා කරලා වැඩක් නැහැ. කයිවාරු ගහලා වැඩක් නැහැ. ක්‍රියාත්මක කළ යුතුයි. ඉදිරියේ දී මිල අධික ඖෂධ සහ උපකරණවල මිල පාලනය කරනවා. ඖෂධ සමාගම් විසින් වෛද්‍ය සංගම් වලට මුදල් ලබාදී උත්සව පැවැත්වීමේ ක්‍රමය නතර කර තිබෙනවා. සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් වෛද්‍ය සංගම්වලට මුදල් ලබාදුන්නා. නිදහස් සෞඛ්‍ය සේවාව අද අකුරටම ක්‍රියාත්මක වෙනවා. පෞද්ගලික රෝහල්වල මිල ගණන් ද ඉදිරියේ දී නියාමනය කරනවා. ඇතැම් පෞද්ගලික රෝහල්වලින් ලබාදෙන බිල්පත දැක රෝගීන් යළි අසරණ වෙනවා. එම ක්‍රමය ද නතර කළ  යුතුයි.  
උත්සවයේ මහාචාර්ය සේනක බිබිලේ සමරු දේශණය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කථීකාචාර්ය චාමරී වීරරත්න මහත්මිය විසින් සිදු කරන ලදි.
උත්සවය අවසානයේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය විසින් මහාචාර්ය සේනක බිබිලේ කෘතිය සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි.
උත්සවයේ දී මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රද්‍රානය වෛද්‍ය පීඨයන්හී ඖෂධවේදය පිළිබද විශිෂ්ඨ දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන් වෙත සිදු කරන ලදි. තව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සේවක සේවිකාවන්ට තිළිණ ප්‍රද්‍රානය කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කරන ලදි.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක, මහාචාර්ය කාලෝ ෆොන්සේකා යන මහත්වරුන් ඇතුලු මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පවුලේ ඥාතීන් එක්ව සිටියහ.