යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

පිටු 332කින් යුත් එම නඩු තීන්දුව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර ශෂි මහේන්ද්‍රන් මහතා විසින් මේ වන විට ප්‍රකාශ කරනු ලබමින් සිටී.

පසුගිය ජූනි 12වැනිදා සිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි.

ඝාතනයට සම්බන්ධ විත්තිකරුවන් වන පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් ජෙයකුමාර්, පූබාලසිංහම් තවකුමාර්, මහාලිංගම් ශෂින්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් කුගදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් යන 9 දෙනාට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශ කෙරේ.

අධිචෝදනා 47ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව යාපනය මහාධිකරණයේ දී මෙම නඩුව විභාග විය.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචේලියන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි. කොළඹින් පිට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ නඩු විභාගයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අද (27) දින අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණයෙන් කළ දැනුම් දීමක් අනුව විද්‍යා දැරියගේ මව වන ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය ද අධිකරණයට පැමිණ සිටියි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන හෙයින් අද යාපනය අධිකරණ සංකීර්ණය අවට සහ යාපනය නගරයේ ආරක්ෂාව තර කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

2015 මැයි මස 13 වැනි දා ශිවයෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් අපයෝජනය කර මරා දමා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු පිරිසක් විමර්ශන සිදු කළහ.

ලංකාදීප

————

යාපනය පුංකුඩතිව් ශිවලෝහනාදන් විද්‍යා දැරිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් යාපනය මහාධිකරණයේ පැවති නඩු විභාගයේ තීන්දුව අද (27) දිනයේදී ලබා දීමට නියමිතව ඇත.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රීකුණාමළය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමෂංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් යන මහන්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම නඩු තීන්දුව ලබා දීමට නියමිතය.

මේ අනුව විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේන් 09 දෙනෙකුට එරෙහිව නඩු විභාගය මෙතෙක් සිදු වූ අතර එහිදී පළමු වන සැකකරු හා 07 වන සැකකරුට එරෙහිව සාක්ෂි නොමැති බවටත් සෙසු 02 ,03 ,04 ,05 ,06, 08,සහ 09 යන සැකකරුවන්ට එරෙහිව නඩු තීන්දුව අද දිනයේදී ලබා දීමට නියමිතව ඇත.

2015 වසරේ මැයි 15 වනදා විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්ව 16 වනදා උදෑසන පුන්කුඩතිව් කැලෑවක තිබී සොයාගනු ලැබීය.