බණින අයට අභිෂේකාගෙන් උත්තර

බණින අයට අභිෂේකාගෙන් උත්තර

 

බණින අයට අභිෂේකාගෙන් උත්තර

අභිෂේකා විමලවීර, රටම දන්න දක්ෂ කලාකාරිණියක්, ඒවගේම සංගීත විශාරදවරියක්. මේ දවස්වල ඇය රියැලටි වැඩසටහනක විනිශ්චවරියක් ලෙසත් කටයුතු කරනවා. ඒ නිසාම මේ දවස්වල ඇය ගැන බොහෝ දේවල් බුකියෙත් කතා වෙනවා. මේ හැමදෙයක් ගැනම ඇයගෙන්ම අහලා බලන්න Citizen අපි තීරණය කලා.

අභිෂේකා කොහොමද?
හොදින් ඉන්නවා. හරිම කර්යබහුල දවස් කිහිපයක්. මේ දවස්වල පුංචි ළමයි එක්ක ලොකු වැඩක් කරනවා. සිරස ජුනියර් සුපර් ස්ටාර්. මගේ පෞද්ගලික වැඩකටයුතුත් මග නවත්තලා මේ දරුවගේ දක්ෂතාවය ඉහලට ගේන්න තමයි මම මේ දවස්වල මහන්සි වෙන්නේ.

සිරස ජුනියර් සුපර් ස්ටාර් ගැන කතා කලොත්,
විශේෂයෙන්ම කියන්න ඕනී ලංකාවේ පළවෙනි වතාවට තමයි එක රැයකින් රියැලටි ෂෝ එකක් ගැන මෙච්චර කතා වුනේ. පළවෙනි වැඩසටහන ප්‍රචාරය වූ සැනින් හැමෝම වගේ කතා කලා. සතුටු හිතුනු ප්‍රතිචාර වගේම කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු හිත රිදුනු ප්‍රතිචාරත් ලැබුනා. ඒ කොහොම උනත් අපි මේ වැඩසටහන තුලින් උත්සහ කරන්නේ දරුවන්ගේ දක්ෂතාවය ලෝකය ඉදිරියට ගෙනියන්න.

මේ දරුවෝ ජීවිතේ පළමු වතාවට ලොකු ස්ටේජ් එකක නොදන්න පිරිසක් ඉදිරියේතමයි ගායනය ඉදිරිපත් කරන්නේ. ඉතින් මට හැමතිස්සේම හිතෙන්නේ ඒ පොඩි හිත් කොච්චර බයකින් ඇත්ද කියලා, ඒ දරුවන්ට වචනයකින් හරි සහනයක් වෙන්න ශක්තියක් වෙන්න තමයි මම හැමතිස්සේම උත්සහ කරන්නේ. ඒ අවස්ථාවෙදි ඇත්තටම මම විශාරදවරියක්, අර්ථික විද්‍යව පිළිබද ශාස්ත්‍රවේදිනියක්, ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක්, රූපලවන්‍ය ශිල්පිණියක් කියන මේ හැම දේම අමතක කරලා, ඒ දරුවන්ගේ ලහින්ම ඉන්න යෙහෙළියක් වගේ නැත්තන් අම්මා කෙනෙක් වගේ තමයි විනිශ්චය ලබා දෙන්නේ.

මටත් අවුරුදු 4ක පුංචි දුවක් ඉන්නවා. මම හොදටම දන්නවා දරුවන් එක්ක වැඩ කරන්න ඕනි විදිහ. දරුවන්ගේ මට්ටමට ගිහිල්ල එයාලට හරි දේ කියලා දෙන්න තමයි මම මේ වැඩසටහනේදි උත්සහ කරන්නේ. දරුවන් සහ විසුරු මඩුල්ල අතර දුරස්ථ බව අඩු කරගන්න තමයි අපි මේ හැම උත්සහයක්ම ගන්නේ. මොකද එහෙම උනොත් තමයි දරුවන්ගේ ඉහලම දක්ෂතාවය එළියට එන්නේ. ඉතින් මම හිතනවා මට ඒ දේ හොදටම කරන්න පුලුවන් උනා කියලා. මොකද එක දරුවෙක්වත් ඇඩුවේ නෑ. බය උනේ නෑ. ඉදිරි වැඩසටහන් වලදි ඔබට මන් මේ කියපු දේ ගැන හොදටම දැකබලා ගන්න පුලුවන් වෙයි.

තව විශේෂ දෙයක් කියන්න ඕනී, අපි මේ වැඩසටහනේදි කිසිවිටෙකත් දරුවන්ගේ දුක මාකට් කරන්නේ නෑ. ඒ දරුවෝ හෝ අම්මලා තාත්තලා තමන් ජීවත් වෙන වටපිටාව ගැන කතා කලත් අපි ඒ දරුවන් අපහසුතාවයට පත් වෙන කිසි දෙයක් ගැන කතා කරලා දරුවන්ව අඩවලා වැඩසටහන ජනප්‍රිය කරගන්න හදන්නේ නෑ. අපිටත් දරුවෝ ඉන්නවා, ඉතින් ඒ වගේ දෙයක් කිසිසේත්ම මම කරන්නේ නෑ. වැඩසටහනට ඉදිරිපත්වන දරුවාගේ දක්ෂතාවය පමණයි අපි බලන්නේ. ඒ දරුවගේ පවුල් පසුබිම, ගමේද නගරෙ ද? දෙමව්පියන්ගේ විස්තර, ශාරීරික අපහසුතාවක් තියෙනවද ? කියන මේ කරුණු විමසලා ඒ දරුවව අපහසුතාවයට පත් කරන්නේ නෑ. එහෙම ප්‍රශ්නයක් තිබුනත් හැම දරුවම එක වගේ කියන පදනමේ ඉදලයි අපි මේ විනිශ්චය ලබා දෙන්නේ.

අභිෂේකා, සමහර දෙනෙක් ඔබට චොදනා කරනවා ඔබ ඉංග්‍රීසි කතා කරනවා කියලා?
මම දැක්කා සුලු පිරිසක් ඒ වගේ චෝදනා කරනවා. මන් නම් ඒ දේ වරදක් දකින්නේ නෑ. මට හරිම සතුටුයි ඉංග්‍රිසි භාෂාවෙන් කතා කරන අවස්ථාවලදි ඒ දරුවන් ඉංග්‍රීසියෙන්ම පිළිතුරු ලබා දෙන එක ගැන. අපි පොඩි කාලේ ඉගෙන ගත්තෙ ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියලා, දැන් ළමයි ඉගෙන ගන්න්නේත් එහෙමමයි. මෙහෙම ගියොත් තව අවුරුදු 20 කින් ළමයි ඉගෙනගන්නේත් ඒකමයි. අපි පුළුවන් හැම විටම අඩියක් හරි ඉස්සරහට තියන්න ඕනී. ඒ දරුවන් ඉංග්‍රීසියෙන් කතා කරද්දි ඒ දෙමව්පියන්ගේ මුහුනේ තියෙන සතුට හරිහැටි දැක්කොත් ඔය විදිහේ කතාවක් මට කීයටවත් කියන එකක් නෑ. අපි හිතුවට ඒ ළමයි ඉංග්‍රීසි දන්නේ නෑ කියලා අපිට වඩා හොදට ඒ ළමයි ඉංග්‍රීසි කතා කරනවා.

සමහරක් අය කියලා තිබුනා මම දරුවන් අපහසුතාවයට පත් කරනවා කියලා ඉංග්‍රීසි කතා කරලා, දැනට එක දරුවෙක්ගෙන් පමණයි මම ඇහුවේ ‘Can You Dance?’ කියලා ඒ ප්‍රශ්නෙය කියලා ඒ දරුවා ‘Yes’උත්තර දුන්නා. අපේ රටේ දරුවන්ට Yes No කියලාවත් කියන්න බෑ කියලා හිතවනම් ඒක වැරදි. අපේ රටේ ඉන්නේ දක්ෂ දරුවෝ. එයාලට පුලුවන්. අනිත් දේ තමයි මම දැක්කා එක දරුවෙක්ටත් බැනලා තියෙනවා. ඇය කරටේ ක්‍රීඩිකාවක් ඇය එක්තරා කරටේ ඉරියව්වක් හේෂාන් සහ ප්‍රදීප් ඉදිරියේ කරනවා. ඒ දේට පවා බැනලා තිබුනා. ඇය කාටවත් අගෞරවයක් කලේ නෑ. ඇය ඇගේ හැකියාව පෙන්නුවා පමණයි.

අනිත් දේ තමයි, මම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ සිංහල නිවේදිකාවක් විදිහට නෙමෙයි. විනිශ්චවරියක් විදිහට. මම අවුරුදු 15 ක් අයි.ටි.එන්. එකේ සිංහල නිවේදිකාවක් විදිහට කටයුතු කලා. මගේ ලොකු තාත්තා සරත් විමලවීර. එතුමා නමින් අදටත් ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක් පවා තියෙනවා.

ඒ ඒ වැඩසටහන්වලට අනුකූලවයි මම මගේ ඉදිරිපත්කිරීම සිදුකරන්නේ. රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහන සමග මම පසුගිය දවසක එකතු උනා. එහිදි මම ඒ වැඩසටහනට ගැලපෙන ලෙස කටයුතු කලා. දෙරණ රූපවාහිනියේ ඔන්න ඔට්ටුයි වැඩසටහනට ගිය වෙලාවෙදි ඒ වැඩසටහනට ගැලපෙන ව්දිහට ඒක කලා.

හිරු එකේ කොපි චැට් එකට ගියාම ඒ විදිහට ඒ වැඩසටහන කලා. ඒ වැඩසටහන් තුනේම එකම විදිහට හිටියොත් ඒක ගැලපෙන්නේ නෑ. ඉතින් මන් හිතනවා ඒ ඒ වැඩසටහන් අනුව වෙනස් වෙන්න පුලුවන් එක මගේ හැකියාවක් කියලා. ඉතින් සිරස මේ වැඩසටහනේදිත් මම පුංච් ළමයින්ට ගැපෙන විදිහටයි හැමතිස්සේම කටයුතු කරන්නේ. සාම්ප්‍රදායික විදිහට ‘ ගීතය හොදින් ගායනා කලා, ඊළග පාර මීට වඩා හොදින් කියන්න, දැන් යන්න’ කියලා කියනවට වඩාවචනයකින් හරි ඒ ළමයිට වැදගත් ජීවිතයට වටින දෙයක් කරන්නයි අපි උත්සහ කරන්නේ.

අඩුම තරමේ දරුවෙක් ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙන ගන්නවා. මට ඒක ලොකු සතුටක්. බනින එක දුකයි ඒත් හොදක් කරන්න ගිහිල්ලා බැනුම් ඇහුවත් කමක් නෑ කියලා හිතෙනවා. සමහර කාන්තාවන් සමාජය විනාස කරන්න ගැහැණු කම පාවිච්චි කරද්දි, මම අහිංසම දරුවෙක් ඉදිරියට යවන්න මහන්සි වෙනවා, කැප වෙනවා කියන එක මම දන්නවා. ඒ දරුවෝ කවදා හරි ලෝකය ජය ගනිද්දි මට දැනෙන සතුටත් එක්ක ගත්තම මේ සුලු පිරිසක් මට බනින එක ඉවසන්න පුලුවන්.

සමහර අය තව කියන දෙයක් තමයි ගීතය හරියට අහන්නත් කලින්, පළවෙනි පද පේළි දෙක යනකොටම ඔබ හැරෙනවා කියලා?
හරිහැටි සංගීතය දන්න කෙනෙකුට පළවෙනි පදය අහනකොටම ඒ දරුවට ගීත ගායන හැකියාව තියෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. මන් කැමති ඒ දරුවව වැඩිය මහන්සි නොකරම ඒ දරුවගේ දක්ෂතාවය අගයන්න. මගේ කැමැත්ත දැනුනනම ඒ දරුවට තවත් හොදින් ඉතුරු කොටස ගායනා කරන්න පුළුවන්. මම මේ හැම දරුවෙකුටම විනිශ්චය ලබා දෙන්නේ පිරිසිදු හැගීමකින්.මට මේ තුලින් ජනප්‍රිය වීමේ උවමනාවක් නෑ. මුදල් ඉපයීමේ උවමනාවක් නෑ. මන් මොනවගේ ජිවිතයක්ද ගත කරන්නේ කියලා දන්න අය දන්නවා.

මේ වැඩසටහන කොපියක් නේද?
ඔව්, අපේ රටේ විතරක් නෙමෙයි ගොඩක් රටවල මේ වැඩසටහන ඒ ඒ රටවල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා.වෙනසකට තියෙන්නේ ඒ රටවල මිනිස්සු වැඩසටහනේ වැදගත්කම ගැන කතා කරද්දි , අපේ රටේ සමහරක් පොඩි පොඩි වැරදි හොයලා මඩ ගහන එක.

අවසාන වශයෙන් අභිෂේකා ඔයාට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා ඒ අයට මොනවද කියන්න තියෙන්නේ.?
මුලින්ම කියන්න ඕනී තවමත් එක වැඩසටහනක් තමයි ප්‍රචාරය වෙලා තියෙන්නේ, එකක් බලලා තීරණය කරන්න එපා. තව ඔබට ඔබේ දරුවන්ට වැදගත් බොහෝ දේවල් පිලිබද අපි මේ වැඩසටහනින් ඉදිරියේදී කතා කරනවා. ඉරිදා රාත්‍රී 9ට සිරස නාලිකාවේ තමයි අපේ අලුත්ම රියැලිටි වැඩසටහන යන්නේ. බලන්න ගුණ දොස් කියන්න.ඒ පුංචි දරුවන්ගේ හැකියාව බලන්න. මොකද හරිම දක්ෂ දරුවෝ අපි අතර ඉන්නේ. වෙනත් රටවල මේ වගේ වැඩසටහන් අපි ආසාවෙන් බලනවා. ඒ දරුවන්ගේ දක්ෂතාවය ගැන කතා කරනවා. මතක තියාගන්න ඒ වගේම දක්ෂ දරුවෝ අපේ රටෙත් ඉන්නවා. ඔයාලගේ ආදර සහ දිරිගැන්වීමයි ඒ දරුවන්ට අවශ්‍ය. ඒ දේ අනිවර්යයෙන් ලබා දෙන්න.

ඒ වගේම මම මොනවා කිව්වත් ඔයාලා අහන හැම ප්‍රශ්නෙටම බුදුහාමුදුරුවෝ කියලා උත්තර දුන්නත් මට බනින අය බනී. ලෝකේ තියෙන හොදම රියැලිටි වැඩසටහන කලත් වැරැද්දක් හදලා හරී බනී. ලෝක ස්භාවය එයයි. ඉතින් මට බැන්නා කියලා මේ දරුවන්ට අසාධාරණයක් කරන්න මට බෑ. හැකි සෑම විටකම හදවතට දැනෙන, යමක් ඉගෙන ගන්න පූලුවන්, හිතට ශක්තියක් ගෙන එන විනිශ්චයක් තමයි මම මේ දරුවන්ට ලබා දෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපේ රටේ හැමෝගෙම සහයෝගය මේ දරුවන් වෙනුවෙන් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. හැමෝටම ස්තූතියි.

අවසාන වශයෙන් මේ වගේ පසුවදනක් අපිටත් එකතු කරන්නට සිතුණා. කාන්තාවක් ඉංග්‍රීසියෙන් කතා කිරීම සහ දරුවන් ඉදිරියේ නිදහස්ව තම හැගීම් ප්‍රකාශ කිරීම නිසා සමහරක් ඇයට නරක විදිහට බැන්නා.
ඉතින් ඒ විදිහට කාන්තවක්ට අපහස කරන්න නරක වචන ප්‍රසිද්ධියේ කියනවට වඩා ඉන්ග්‍රීසි කතා කරන එක හොදයි කියලා අපිට හිතෙනවා.

www.citizen.lk