ඉලක්‌කයක්‌ සහ අරමුණක්‌ නැතිව පිති අතටගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ පාකිස්‌තානය සමග පැවැති පස්‌වැනි එක්‌දින තරගයෙන්ද ඊයේ (23 දා) කඩුලු 9 ක පරාජයක්‌ සාජා ක්‍රීඩාංගණයේදී අත්වින්දේය. පරාජයේ පතුලටම සේන්දු වී සිටින ශ්‍රී ලංකා පිල එකපිට ලද 12 වැනි පරාජය මෙය බවට පත්විය.

කාසියේ වාසිය සමගින් පළමුවෙන් පිති ප්‍රහාරය දියත් කළ ශ්‍රී ලංකාව රැස්‌කරන ලද ලකුණු 103 ක ඉලක්‌කය හඹාගිය පාකිස්‌තාය පන්දුවාර 20.2 කදී කඩුල්ලක්‌ පමණක්‌ දැවී ලකුණු 105ක්‌ සමගින් අදාළ ඉලක්‌කය සපුරා ගත්තේය.

පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව 1 ක්‌ව තිබියදී සදීර සමරවික්‍රම (0) හා දිනේෂ් චන්දිමාල්ව (0) ක්‍රීඩාගාරය වෙත හරවා යෑවූ උස්‌මාන් ඛාන් අනතුරුව උපුල් තරංග (8), නිරෝෂන් දික්‌වැල්ල (0) හා මිලින්ද සිරිවර්ධන (6) ගේ කඩුලු දවා ගනිමින් සිය මංගල කඩුලු පහේ සීමාව පසු කළේය.

පන්දු 21 ක්‌ තුළ කරන ලද මෙම කඩුලු දඬයම ලෝක එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ තෙවැනියට වේගවත්ම කඩුලු 5 වශයෙන් සටහන් විය. මීට පෙර ශ්‍රී ලංකාවේ චමින්ද වාස්‌ පන්දු 16 කදී (2003) හා නෙදර්ලන්තයේ වැන්ඩර් ගටර් පන්දු 20 කදී (2013) අදාළ දස්‌කම කර තිබුණි.

ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තිසර පෙරේරා හයේ පහරක්‌ සහ හතරේ පහර තුනක්‌ සමගින් ලකුණු 25 ක්‌ රැස්‌කර ගත්තේය. යන්තමින් ලකුණු 10 සීමාව පසුකරමින් ළහිරු තිරිමාන්න (19), සීකුගේ ප්‍රසන්න (16) හා දුෂ්මන්ත චමීර (11) ත්‍රිත්වය එක්‌ව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 46 ක්‌ එක්‌ කළේය.

කෙසේ නමුත් මෙම වසරේ දකුණු අප්‍රිකාව හා ඉන්දියාව සමග පැවැති එක්‌දින තරගාවලි දෙක මෙන්ම මෙම පාකිස්‌තාන එක්‌දින තරගාවලියද 5-0 කින් පරාජය වීම හේතුවෙන් එක්‌ වසරක්‌ තුළ එක්‌දින තරගාවලි තුනක්‌ 5-0 ක්‌ ලෙස පරාජයට පත්වූ එකම කණ්‌ඩායම බවටද ශ්‍රී ලංකාව පත්විය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 26.2 කදී සියල්ල දැවී ලකුණු 103 යි. (උපුල් තරංග 8, සදීර සමරවික්‍රම 0, දිනේෂ් චන්දිමාල් 0, ළහිරු තිරිමාන්න 19, නිරෝෂන් දික්‌වැල්ල 0, මිලින්ද සිරිවර්ධන 6, සීකුගේ ප්‍රසන්න 16, තිසර පෙරේරා 25, ජෙµaරි වැන්ඩ්‍රසේ 2, දුෂ්මන්ත චමීර 11, විශ්ව ප්‍රනාන්දු 7, උස්‌මාන් ඛාන් 5/34, හසන් අලී 2/19, ශාදබ් ඛාන් 2/24)

පාකිස්‌තානය පන්දුවාර 20.2 කදී කඩුල්ලක්‌ දැවී ලකුණු 105 යි. (ඉමාම් උල්හක්‌ (නොදැවී)45, µකාර් සමාන් 48, µහීම් අෂ්රµa (නොදැවී) 05 ,ජෙµaරි වැන්ඩ්‍රසේ 1/30)