ඉන්දියානු ක්‍රිකට්‌ ඉහළට ඔසවා තබන්නට ඔහු දුන්නු තල්ලුව ඉතිහාසගතවී හමාරය. උඩු රැවුල වැවු ක්‍රිකට්‌ කප්පිත්තන් අතර පිත්තෙන් සහ පන්දුවෙන් එක ලෙස හපන්කම් දැක්‌වු මේ විශිෂ්ටයා කොදෙව්වන්ගේ ග්‍රහණයට පිට පිටම දෙවරක්‌ හසුවූ එක්‌දින ක්‍රිකට්‌ ලෝක කුසලාන ඉන්දියාවට දිනා දීමේ ප්‍රධානියා විය. ඒ ලබන ජනවාරි මස 59 වැනි උපන් දිනය සැමරීමට සිටින කපිල් දේව්ය.

1983 දී ඉන්දියානුවන්ට පළමු වරට ක්‍රිකට්‌ ලෝක කුසලාන දිනා දුන් කපිල් දේව් ශතක අටක්‌ සහ අර්ධ ශතක 27 ක්‌ සමග ටෙස්‌ට්‌ ලකුණු 5248 ක්‌ද කඩුලු 434 ක්‌ද දවා ගෙන තිබේ. එක්‌දින ලකුණු 3783 ක්‌ සමග කඩුලු 253 ක්‌ දවා ගත් මේ ක්‍රිකට්‌ කප්පිත්තා 1978 දී පටන් ගත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවිය 1994 දී අහවර කර දැමුවේ ඉන්දියානුවන්ව මහා ක්‍රිකට්‌ අධිරාජ්‍යයක්‌ බවට පත්කිරීමේ වැඩි බරක්‌ උසුලමිනි.

කපිල් දේව්ගේ කතාව අපට වැදගත් වන්නේ ඔහුගේ ශරීරය ඉන්දියාවේ තිබුණත් සිත ඇත්තේ ශ්‍රී ලංකාවේ බැවිනි. ඒ කතාව කපිල් දේව් පසුගියදා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ඇගයීම වෙනුවෙන් පැවැති ඩයලොග් ක්‍රිකට්‌ සම්මාන රාත්‍රියේ විශේෂ ආරාධිතයා ලෙසින් එක්‌ වෙමිනි.

ඔහු අපූරුවට කතාව පටන් ගත්තේය.

“මගේ කාලයේ හොඳ පිතිකරුවෙක්‌ මෙතන ඉන්නවා. අර දකුණු පැත්තෙ වාඩි වෙලා ඉන්න අරවින්ද තමයි ඒ. ඔහු හොඳ සටන්කාමියෙක්‌.”

ශ්‍රී ලංකාව ක්‍රිකට්‌ වලින් දැන් වැටී ඇති බව සත්‍යයකි. නමුත් කපිල් දේව්ගේ කාලයේදීද ශ්‍රී ලංකාවට ජයග්‍රහණ වලට වඩා පරාජයන් ගොන්න වැඩි විය. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ නැගිටීම ආරම්භ වූයේ එදා සිට බවද කපිල් දේව් පවසයි.

“මම ක්‍රිකට්‌ ආරම්භ කළේ බොහොම තරුණ කාලයේ. ඒ කාලයේ තමයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ පෙරළිකාර කණ්‌ඩායමක්‌ බවට ඉස්‌මතුවෙමින් තිබුණේ. ඉතාම කෙටි කාලයක්‌ තුළ ලංකාවේ ක්‍රිකට්‌ ලොකු ගමනක්‌ ඇවිල්ලා තියෙනවා. ඒ ගමන ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාව නිසාම නොවෙයි. ඒකට හැමෝගෙන්ම උදව් තිබුණා. විශේෂයෙන් ශ්‍රී ලංකාවෙ ජනතාවගෙ තියෙන උනන්දුවත් ඒකට ලොකු ශක්‌තියක්‌ වුණා.”

“පළමු අවුරුදු පහළොව තුළදී ලංකාව එක දිගට පරාජය වුණා. ඒත් ශ්‍රී ලංකාවෙ ක්‍රීඩා ලෝලීන් තරග බලන එක අතහැරියේ නැහැ. දිගින් දිගටම තරග නැරඹුවා. ඔවුන් බලාපොරොත්තු වුණා ලංකාවෙ ක්‍රිකට්‌ කවදා හරි හොඳ තැනකට එන බව. විශේෂයෙන් ශ්‍රී ලංකාවෙ මිනිස්‌සු හරි ගෞරවාන්විත විදිහට යටත් පහත්ව ජීවත් වන පිරිසක්‌. නමුත් ඔවුන් ක්‍රීඩා පිටියේ කරන හරඹයට විශේෂ ගෞරවයක්‌ ලබා දිය යුතුමයි. ඉතා කුඩා දිවයිනක්‌ වුණත් ලෝකයේ හොඳටම ක්‍රිකට්‌ ගහන රටක්‌ බවට ශ්‍රී ලංකාව මතු වුණා.”

වර්තමානයේ ශ්‍රී ලංකා වැටී තිබෙන ආගාධයෙන් ගොඩ එන්නට නම් කවුරු හරි ඉදිරිපත් විය යුතු බවද කපිල් දේව් සඳහන් කර සිටියි.

“නමුත් දැන් ශ්‍රී ලංකාව මුහුණ දීලා තියෙන්නේ ඉතාම දුෂ්කර තත්ත්වයකට කියලා මම දන්නවා. දැවැන්ත ක්‍රීඩකයන් ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගෙන තියෙන්නෙ. ඒ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ හැටි. මෙතන ඉන්න තරුණ ක්‍රීඩකයන්ට ලොකු වගකීමක්‌ පැවරිලා තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ උඩට ගේන්න. ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ඇඳුම ඇදගෙන පිටියට යන හැම කෙනෙක්‌ටම අපි ගෞරවය කළ යුතුයි. හැමෝම බලාපොරොත්තුවෙන්නෙ ඒ යන අය හොඳම ප්‍රතිඵලයක්‌ ගෙනෙයි කියලා. ඒක සාමාන්‍ය දෙයක්‌.”

තමාගේ අසල්වැසි රටවල් දෙකේ ලෝක කුසලාන දිනූ නායකයන් වන අර්ජුන රණතුංග සහ ඉම්රාන් ඛාන් දෙදෙනාම දේශපාලනයට එකතු වූයේ කතා කරන්න ආස නිසා බවත් තමා කතිකයෙක්‌ නොවන බැවින් දේශපාලනයට නොපැමිණි බවද කපිල් දේව් පවසයි.

“ඒ කාලයේ ඉදලම මම හොඳ කතිකයෙක්‌ නොවෙයි. ඒ හින්දා තමයි මම දේශපාලනයට ආවෙ නැත්තෙ. මගේ අසල්වැසි රටවල් වන පාකිස්‌තානයේ ලෝක කුසලාන දිනපු නායකයත් ලංකාවෙ ලෝක කුසලාන දිනපු නායකයත් දේශපාලනයට ආවා. ඒ ගොල්ලෝ කතා කරන්න ආසයි. නමුත් මම කතා කරන්න ගොඩක්‌ කැමැති නැහැ. මට මෙතන්ට එනකොට විනාඩි හතකින් කතාව ඉවර කරන්න කිව්වා. දැනටමත් විනාඩි පහක්‌ ගිහිල්ලා. තව විනාඩි දෙකයි. ඒ කාලය තුළ මට කියන්න තියෙන්නෙ ඔබලා මහ පුදුමාකාර ජනතාවක්‌. මම ලංකාවෙ නොහිටියත් හදවතින් ලංකාවෙ ඉන්නවා.”

“මම හැම විටම ශ්‍රී ලංකාව සමග තරග කිරීම රස වින්දා. ඒ වගේම මම හොඳ යහළුවන් ප්‍රමාණයක්‌ මේ රටෙන් එකතු කර ගත්තා. තව ටික දිනකින් ශ්‍රී ලංකාව ඉන්දියාවට එනවා. මම සුබ පතනවා ලංකාවට ඒ තරගාවලිය හොඳට කරන්න කියලා. මගේ රට පැරදිය යුතුයි කියලා මම කියන්නෙ නැහැ. අවංකවම ඉන්දියාව කියන්නෙ විශාල රටක්‌. ඒ හින්දා බලාපොරොත්තුත් ඒ තරම් විශාලයි. මේක ඔබලාට දුෂ්කර කාලයක්‌. එතනින් ගොඩ එන්න මේ වෙලාවෙ කවුරු හරි සුවිශේෂී හැකියාවක්‌ පෙන්වලා නැගී සිටිය යුතුයි. දිනුම පැරදුම මොකක්‌ වුණත් මිනිස්‌සුන්ට මතක හිටින ආකාරයෙන් ක්‍රීඩා කළ යුතුයි.

ඉන්දියාවට තරම් ක්‍රිකට්‌ ගහන්න ශ්‍රී ලංකාවට මුදල් නොමැති බවද කපිල් දේව් මතක්‌ කළේය.

“මගේ ජීවිතයේ හොඳම කාලය දැන් ගෙවී ගිහින් තියෙන්නෙ. නමුත් මේ වගේ දෙයකට මට ආරාධනා කිරීම ගැන ස්‌තූති විය යුතුයි. කාන්තාවන් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදීමත් අගය කළ යුතුයි. මේක එච්චර ලෙහෙසි කාර්යක්‌ නොවෙයි. මුදල් ප්‍රතිපාදන ඔබලාට හිඟයි. නමුත් ඔබලාගෙ අසල්වැසියාටනම් (ඉන්දියාව) මුදල් ප්‍රතිපාදන තියෙනවා. ක්‍රීඩාවේ සාරය දිගටම පවත්වාගෙන යන්න එය රසවිඳින්න.”

තමාගේ හොඳම කාලය ගෙවී ගොස්‌ ඇති බව සඳහන් කරමින් ඒ සුපිරි අසල්වාසී ක්‍රිකට්‌ විරුවා සිය කතාව නිමා කළේය. අනතුරුව වයින් වීදුරුවක්‌ තොල ගාමින් සෑම දෙනා සමග සුහදව කතා කිරීමටද මෙම විශිෂ්ටයා අමතක නොකළේය.

දැන් ඇත්තේ කපිල් දේව් කියූ මතක හිටින තරග රටාවක්‌ ශ්‍රී ලංකා පිල ඉන්දියාවේ සිට ඇරඹීමයි.

අසේල විතාන(divaina)