යැංකි නැවක්’ ලංකාව අවට මුහුදේ නතර කරලා. ඇමෙරිකාව ඕක එවලා තියෙන්නේ, මෙහේ ව්‍යවස්ථාව හදන හැටි බලන්න.’
ගමේ කඩපිලේ කෙනෙක් එහෙම කියනකොට අනෙකා ඇස් ලොකු කරගෙන බලයි.
‘මොකක්?’

‘ඔව්, මතකනේ ඉන්දු ලංකා ගිවිසුම වෙලාවේ උතුරේ ඉන්දීය නැව් නවත්තාගෙන හිටියා, වැඩේ ඉවර වෙනකම්.’
මුලින් කී පුද්ගලයා තම කතාව තහවුරු කරන්න සාධක ගෙනෙයි.
‘ඒක අස්සන් කරද්දී නේද රජීව්ට අපේ හමුදාවේ කොල්ලෙක් දෑත් බදලා තුවක්කුවෙන් පතබෑවේ.’
මුදලාලි කතාවට එකතු වෙයි.

බලාගෙන ගියාම කතාව අපූරුය. හැබැයි එදා රජීව්ට ගැහුවා කියා ඉන්දියාව ඇවිත් ලංකාව ප්‍රාන්තයක් කරගත්තේ නැහැ. මහ ලොකුවට පාරම්බෑවට ඉන්දියාව ගේමට බැස්සා නම් ලංකාව සුංය. ඊට දශක කීහිපයකට පස්සේ ලංකාව තවත් එහෙම තක්කඩි වැඩක් කළේය. ඒ ශාරුක් ඛාන් ප්‍රසංගයකට මෙරටට ආව වෙලාවේ ජාතිවාදී කණ්ඩායම් ඔහුට පහරදීමට යෑමය. එදා ෂාරුක්ට හානියක් වුණා නම් ලංකාවට ‘අබ සරණය’. හැබැයි ඒ ජාතිකවාදී ආණ්ඩුවම පස්සේ කාලෙක සල්මන් ඛාන්ලා මෙහේ ඡන්ද වැඩට ගෙනාවේය.
සමහර උසි ගැන්වීම් සහ සැක සංකා ඉතිරි කරන්නේ මහා ව්‍යසනයක්ය. නව ව්‍යවස්ථාවට කලබල වෙලා පිස්සු නටන්නේ එහෙම දිය කොරහේ කිඹුලන් දකින පිරිසක්ය.
“අපට 1947 මහ මැතිවරණයක් ලබාදෙන්න. එවිට අපිට පුළුවන් රටේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීමට ආණ්ඩුවක් පත්කරගන්න.”

47 සෝල්බරි කොමිසමට ගිය ඩී. එස්. සේනානායක එහෙම කීවේය. ඉල්ලීම පිළිගත් කොමිසම මැතිවරණයක් දුන්නේය. ඡන්දෙන් දිනුවේ ඩී. එස්. සේනානායකලාය.
එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන් 98 දෙනකු ඉදිරිපත් කළ අතර ඉන් 42 දෙනකු ජය ගනු ලැබීය. ලංකා සම සමාජ පක්ෂය ආසන 10ක්ද, බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය 5ක්ද, ද්‍රවිඩ සංගමය 7ක්ද, ලංකා කොමියුනිස්ට් පක්ෂය 3ක්ද, ලංකා ඉන්දියානු සංගමය 6ක්ද, කම්කරු පක්ෂය 01ක්ද ස්වාධීන අපේක්ෂකයන් 21 දෙනෙක්ද තේරී පත්විය. අන්තිමට ඩී. එස්. සේනානායක ආණ්ඩුව පිහිටු වීය.

මුල්ම පාර්ලිමේන්තුව රැස් වෙන්නේ එහෙමය. ඒ ආණ්ඩුවේ මුදල් ඇමැතිකම ජේ. ආර්ටත් කෘෂිකර්ම ඇමැතිකම ඩඩ්ලිටත් දුන්න, ඩී. එස්. සෞඛ්‍ය හා පළාත් පාලන සහ සභා නායකකම දුන්නේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකටය. එහෙම බැලුවම ඩී. එස්. බණ්ඩාරනායකට සෑහෙන්න සලකලාය.
පස්සේ කාලෙක, ඒ කියන්නේ 1951 ජූලි 12 දින විරුද්ධ පක්ෂයට එක්වෙනතුරු බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයේ දෙවැනියාය. සිරිමාවෝ බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂ කාන්තා සංවිධානයේ සභාපතිනිය ය.

එකම රටේ මිනිස්සු පක්ෂ දෙකක් ලෙස වෙන්වී ජම්මාන්තර වෛරක්කාරයන් බවට පත් වෙන්නේ ඊට පස්සේය.
1947 පැවැත් වූ පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඩී. එස්. සේනානායක අගමැති වන්නේද හවුල් ආණ්ඩුවකින්ය. ඩී. එස්. සේනානායක හැදූ එක්සත් ජාතික පක්ෂය ප්‍රභූ මුස්ලිම් නියෝජනයක්ද සිංහල මහ සභා නියෝජනයක්ද ලබා තිබූ අතර, ආණ්ඩුව හදන්නට අවශ්‍ය වූ බහුතරය ලබා ගත්තේ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය හවුල් කර ගැනීමෙනි. එහෙත් ඒ ආණ්ඩුවේ සිටියේ ඇමැතිවරුන් 14කි. 1965දී ඩඩ්ලි සේනානායක හැදූ ආණ්ඩුව හත් හවුල් ආණ්ඩුවක් විය. හිටියේ ඇමැතිවරුන් 17ක් ය.
දැන් කෙසේ වෙතත්, 2015 ජනවාරි 8 සිට ටික කලක් යනතුරු මෛත්‍රි – රනිල් දෙදෙනා වෑයම් කළේ ඒ වෙන්ව සිදු කළ මරා ගැනීම රටින් ඉවත් කරන්නටය. මේ පක්ෂ දෙක අතර පවතින මූලික ප්‍රතිපත්තිමය විරසකය යම් දුරකට තුනී කරන්නටය. අලුත් සංස්කෘතික හරපද්ධතියක් සහිත ‘සංහිඳියාවේ’ දේශයක් ඇති වෙතැයි මිනිස්සු හීන දැක්කේ ඒ සුසංයෝගය ඒක කරාවි යැයි කියා හිතලාය.

නමුත්, ‘බලය, බලය ලබා ගැනීම, එය පවත්වාගැනීම, තහවුරු කිරීම’ යනාදී මැකියාවෙලීගේ සංකල්පයේ අනවරථව වෙළී සිටින දෙපිරිස අර ප්‍රාර්ථනාවන් කෙරෙහි කොතෙක් ‘අවංක’ වූවාද කියා කියන්නට දන්නේ නැත.
ඒකීය රටක් යනුවෙන් ව්‍යවස්ථාපිතව, එහෙත් යථාර්ථයේදී ‘කෑලි කෑලිවලට’ බෙදී වෙන්වූ රටක් ඉතිරි වූයේ මේ බලකාමය සහ ඊර්ෂ්‍යාව නිසාය.
1953 දී උතුරට ගිය එ.ජා.ප. අගමැති ජෝන් කොතලාවල සිංහල, දෙමළ දෙබසටම සමතැන දෙන බව කීවේ බණ්ඩාරනායක දකුණේදී ‘සිංහල රජ බස’ කරන බව කීම හින්දාය. අන්තිමට නැති ප්‍රශ්න ඇති වී රට අරාජික විය.

එදා වේල කන්නේ කොහොමද කියා කල්පනා කරමින් ජීවන අරගලයක යෙදුණු මිනිස්සුන්ට ජීවත්වීමේ කලාව පුරුදු කරනවා වෙනුවට අවස්ථාවාදී දේශපාලකයෝ කළේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ‘සංවේදී’ ප්‍රශ්න හුරතල් කරන එකය.

සිංහල බස පමණක් රාජ්‍ය භාෂාව කරන බවට පොරොන්දු දෙමින් 56දී රාජ්‍ය බලය ලබාගත් බණ්ඩාරනායකට දෛවය කළ සරදමක මහත, අන්තිමට ඔහුට සිදුවුණේ, 57 දී දෙමළ ධනපති පන්තිය සමඟ බල බෙදීමකට ගිවිසුම්ගත වෙන්නටය.
හැබැයි ජේ. ආර්. ඊට ‘බාල්දියක්’ පෙරළුවේ ගිවිසුම ගිනි තබා නුවරට පා ගමනක් අරඹමින්ය.
1964 දී සභාග ආණ්ඩුවක් සෑදූ සිරිමාවෝ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ගැසූ අතර ඒකටත් එජාපය එරෙහි විය. 1964 දී සභාග ආණ්ඩුවක් සෑදූ ඩඩ්ලි චෙල්වනායගම් එක්ක ගිවිසුමක් ගැසූ අතර එයට විරුද්ධව ශ්‍රී ලං. නි. ප., කො.ප., සම සමාජ හවුල කැරලි ගැසූහ.

71 දී සිරිමාවෝ ගේ හවුල් ආණ්ඩුවට ජ.වි.පෙ. සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වෙනකොට ජේ. ආර් කීවේ එතෙරින් හෝ හමුදා ගෙනත් කැරැල්ල ම¾ඩින්න කියාය. හැබැයි ජේ. ආර්. බලයට එන්න පාවිච්චි කළ ඒදණ්ඩක් වුණේ මැතිනි තරුණයන් 15,000ක් මැරුවාය කීමය. ජේ ආර්ගේ කාලයේ 80 මහා වැඩ වර්ජනයට ආණ්ඩුවේ ප්‍රතිචාරය වුණේ ‘වර්ජකයන් කනත්තට යවන්න ඕනා’ කියන එකය. ඒක කීවේ ලලිත් ඇතුලත්මුදලිය.
78 ජේ.ආර්. අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවේ ඒ වෙනකොටත් ඔහුට තිබ්බ මහා බලය උපයෝගී කරගෙනය.
‘ජේ.ආර්ගේ ව්‍යවස්ථා ගැට ලිහනවා බොරු.’

මිනිස්සු කීවේ එහෙමය. ඔහුට සියල්ලටම වඩා වුවමනා වූයේ එක්සත් ජාතික පක්ෂය’ හැමදාම බලයේ තියා ගන්නටය.
94 චන්ද්‍රිකා ආවේ ජේ.ආර්.ගේ ‘බහුභූත’ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියා ය. හැබැයි ඒක වසර 10ක් තිස්සේ දිගින් දිගට ඇදුණු ‘රැවටිල්ලක් විය. එජාප විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නිර්ධය ලෙස විවේචනය කරමින් ආ චන්ද්‍රිකා කීවේ එ.ජා.ප. ආණ්ඩුව වසර 17ක් තුළ ආයතන 43 ක් විකුණා දැම්මා කියලාය. හැබැයි 1994 ඇරඹි චන්ද්‍රිකා පාලනයේ වසර නවයක් ඇතුළතදී පෞද්ගලීකරණය කළ ආයතන ගණන 57ක්ය. එහෙම බැලුවම වෙන වෙනම දෙගොල්ලෝම තකට තකය.
එහෙම එකේ මේ දෙගොල්ල එක්ව කරන දෙයකින් විනා වෙන්ව කරන දෙයකින් රටට සෙතක් වෙතැයි කියා ඉතිහාසයවත් ඔප්පු කර නැත.
ඉතිහාසය විසින් රටට භාර කළ තීරණාත්මකම මොහොත මේ වෙද්දී උදා වී තිබේ. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට දායාද කිරීමේ අවස්ථාවය.
මහින්ද පාර්ශ්වය එරෙහි වී සිටින්නේ ඒ තීරණාත්මක අවස්ථාවටය.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ ආණ්ඩුවේ මූලික පොරොන්දුවක් විය. දැන් කකුලෙන් අදින්නේ ඒ පොරොන්දුවය.
18 ගෙනත් කැමැති පදම් ජනාධිපති වීමේ සංශෝධනයක් ගේන්න කියා මහින්දගෙන් මිනිස්සු ඉල්ලුවේ නැත. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එහෙම තිබ්බෙත් නැත. තිබ්බේ විධායකය අහෝසි කරනවා කියලාය. හැබැයි කළේ ජීවත් වන තුරා විධායකයට පත්වීමේ සංශෝධනයක් ගේන එකය.
සමහරුන්ට අනුව මේ ව්‍යවස්ථාව බටහිර අධිරාජ්‍යවාදීන්ට රට අල්ලා ගැනීමට ඉඩ සැලසීමට සකස් කරන ලද මර උගුලක්ය. තව පිරිසකට අනුව, රට කොටස් නවයකට බෙදා ස්වාධීන රාජ්‍යයන් නවයක් බිහිවීමට මඟ පාදන උගුලක්ය. සමහරු අහන්නේ මේ වෙලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මොකටද කියලාය.
දශක ගාණක් තිස්සේ ආඥාදායක ඒකාධිපති ජනාධිපති පාලන ක්‍රමයෙන් රට සහ ජනතාව මුදා ගැනීමේ අවස්ථාව මින් උදාවේ. දශක තුනක යුද්ධයෙන් බිඳුණු සිත් සුවපත් කිරීමේ සහජීවන රටක් ගොඩ නැඟේ.

එකම පවුලේ අය පවා ඇනකොටාගත් මනාප ඡන්ද මගඩිය නිමාවේ. රාජ්‍ය සේවාව, අධිකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යනා දී රාජ්‍ය ආයතන හා සේවාවන් ස්වාධීන කොට ශක්තිමත් කිරීම, මානව අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කොට තහවුරු කිරීමද නව ව්‍යවස්ථාවකින් සිදුවේ.
මේ අතළොස්සක් විතරය. සියල්ලටම වඩා මේ මොහොතේ සියලු පක්ෂ ඉතා තීරණාත්මක ලෙස නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් එක්ව සිටී. නැත්තේ, මහින්ද පිල විතරය.