ශ්‍රී ලංකා පිලේ හිටපු පිතිකරු තිලාන් සමරවීර 2019 ලෝක කුසලාන තරගමාලාව දක්වා ශ්‍රී ලංකා පිලේ පිතිහරඹ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා තහවුරු කළ බව ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය නිවේදනය කරයි. ඔහුගේ පත්වීම අද (6) නිල වශයෙන් ප්‍රකාශයට පත්වීමට නියමිත බව ද එහි සඳහන් වෙයි.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිවී සිටින සමරවීර සිය තනතුර භාරගැනිම සඳහා අද ශ්‍රි ලංකාවට පැමිණෙනු ඇති බවත්. එළැඹෙන ඉන්දීය සංචාරයේදී ඔහු සිය රාජකාරිය ආරම්භ කරනු ඇති බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකා පිලේ මැදපෙළ පිතිකරුවකු ලෙස ටෙස්ට් තරග 81කට ක්‍රීඩා කරමින් ලකුණු 5462ක් රැස් කළ සමරවීර වසර 2013දී ක්‍රීඩාවෙන් සමුගත්තේය. ඔහු ඊට පෙර බංග්ලාදේශ පිලේ පිතිහරඹ උපදේශකවරයා ලෙස සේවය කළේය. ඔහුගේ පත්වීමත් සමග දැනට ශ්‍රී ලංකා පිලේ පිතිහරඹ පුහුණුකරු ලෙස කටයුතු කරන හෂාන් තිලකරත්නගේ කාලය නිමාවට පත්වනු ඇත.

හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස එක්විමට නියමිත බව ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවියේ සඳහන් වෙයි.