තිරය යට කතා

තිරය යට කතා

රොටිය පුච්චන්න

‘ජනාධිපතිතුමනි, දුෂ්කරම දේ අපි කළා. තැටිය රත්කරන්න අපි අවුරුදු ගාණක් දුම් පිම්මා. තැටිය රත්කරලා දුන්නේ රොටිය පුච්චන්න. දැන් බැලුවම ගිනි තපිනවා. දැන් අපි මේ කියන්න ආවේ ඕක හැදුවේ ගිනි තපින්න නෙවෙයි ඕයි. ඕක හැදුවේ රොටිය පුච්චන්න. ඒ රොටිය පුච්චනවා.’

මේ ප්‍රකාශයට මීට දෙවසරකට පමණ පෙර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් විය. ඒ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් අවසන් වකවානුවේ කළ ප්‍රකාශයක්ය. ඒ වෙනකොටත් ආණ්ඩුවේ කල් ක්‍රියාව ගැන
උන්වහන්සේ තුළ කිසියම් කුකුසක් තිබුණේය. කෙසේ වෙතත්, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුව යෙදී තිබුණේ ඉකුත් 8 වැනිදාටය.
මෛත්‍රි – රනිල් සුසංයෝගය තෙවසරක් පුරා ‘සංහිඳියා’ ආණ්ඩුව පවත්වාගෙන ආ අතර විටින් විට එහි නොගැළපීම් හා හැලහැප්පීම් නොතිබුණා නොවේ. කෙසේ වෙතත්, නායකයන් දෙදෙනා උපේක්ෂාවෙන් ඒවා සමථයකට පත් කරන්නට වෑයම් කරනු පෙනිණි. එහෙත්, ඉකුත් 8 වැනිදා මෛත්‍රි ‘සැර’ කතාවක් කළේ ‘ඕන දෙයක් වෙත්දෙන්’ ගානටය.

‘මම මේක සෝභිත හාමුදුරුවන්ගේ ගුණ සමරු වෙලාවේදී කියන්නේ. සෝභිත හාමුදුරුවෝ අද ජීවත් වෙලා සිටියා නම් ජීවමානව සිටියා නම් උන්වහන්සේ අනුමත කරනව මම කළේ හරි දේ කියා. අපි මෙතැනට ආවේ මොනවටද? අපි තිබුණු ආණ්ඩුව වෙනස් කළේ මොනවටද? අපේ අරමුණු කුමක්ද? අපි ආවේ සාක්කු පුරවා ගන්නද? අපි ආවේ හොරකම් කරන්නද? මම ජනාධිපති කොමිසම පත්කෙරුවේ කිසිම ආණ්ඩුවේ පුද්ගලයෙක් ඉලක්ක කරලා නෙවෙයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඉලක්ක කරලා නෙවෙයි.
මේ ජනාධිපති කොමිසම පත්කරන අවස්ථාව වන විට මහ බැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ එදා ඒ වෙලාවේ තිබුණු තත්ත්වය රටේ ජනතාව දන්නවා. ඒ වෙලාවේ රට තුළ පොදු ජනතාවගේ හඬක් ආවා. දේශපාලන පක්ෂ භේදයකින් තොරව සෑම තැනකින්ම හඬක් ආවා බරපතළ දූෂණයක් වංචාවක් වෙලා තියෙනවා. මේකට අවශ්‍ය පියවර වහාම ගන්න කියලා. මේකට ජනාධිපති කොමිසමක් පත්කරන්න කියලා. මම ඒ දේ කළා. 2015 ජනවාරි 8 ඡන්දයෙන් දිනලා 9 වැනිදා දිවුරුම් දුන්නා. මහ බැංකු සිදුවීම වුණේ ආණ්ඩුව හදලා මාස තුනකින්. මේකට වගකිවයුත්තෝ වගකියන්න ඕනෑ. මම තනතුරුවලට ආස මිනිහෙක් නෙවෙයි. මම ආව වගේම යන්න ඉන්න මිනිහෙක්. මම යන්න මිසක් ඉන්න ආ කෙනෙක් නෙවෙයි. හැබැයි මම කරන වැඩේ හරියට කරන්න මට සහයෝගය ඕනෑ. ඒකයි මම කියන්නේ.’
මේ විදියට මෛත්‍රි කළ වේගවත් කතාවෙන් එජාපය ද කැලැඹිනි.

එජාපය කැළඹේ

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට දෝෂාරෝපණය කරන ආණ්ඩු පක්ෂයේ පිරිස් කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් තීරණය කර ඇත.
බැඳුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් ‍ෙදාස් කිව්වේ කවුද? ඒ කවදාද? කොතැනදීද? පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපතිවරයා හමුවීමට දිනක් හා වේලාවක් ඉල්ලා මේ සතියේදීම ලිපියක් යොමු කරන බවත් එක්සත් ජාතික පක්ෂය කියයි.

කැබිනට් රත්වෙයි

මේ අතර ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් හමුව ආරම්භ කරමින් අගමැතිවරයා යෝජනාවක් ගෙනාවේය. ඔහු කීවේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මුදල් අමාත්‍යාංශයට පවරමු කියාය. එහෙත් එයට ජනාධිපතිවරයා එකවරම එකඟ වූයේ නැත.
‘මේක තියෙන්නේ මහ බැංකුව යටතේ නේද. ඇයි ඒක මුදල් අමාත්‍යාංශයට පවරන්නේ?
මෛත්‍රි ඇසුවේය.

කෙසේ වෙතත් අවසානයේදී මෛත්‍රි රනිල්ගේ යෝජනාවට එකඟ විය.
කැබිනට් රැස්වීමේදී හරින් ප්‍රනාන්දු සහ එස්.බී. නාවින්න අතර උණුසුම් කතාබහක් ඇති වූයේ විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය සඳහා යෝජනා කළ ආයතනයක් නිසාය.
‘කෝකට දුන්නත් මට කමක් නෑ. හැබැයි තෙල් පෝලිමේ තිබ්බා වගේ මට ජනතාව පාස්පෝට් පෝලිමක තියන්න බෑ.’
නාවින්න කීවේය.

තෙල් ප්‍රශ්නයෙන් රටම රත් වෙද්දී හතර අතින් ආණ්ඩුවට චෝදනා එන්නට විය. සමාජ ජාල ඇවිස්සී තිබූ අතර ආණ්ඩුවට එරෙහිව නැඟෙන අපහාස උපහාස කෙළවරක් නොවීය. මින් කැලැඹුණු ජනපතිවරයා සහ අගමැතිවරයා කොළඹ ඉන්දියානු මහකොමසාරිස්ට කතාකොට කඩිනමින් ඉන්දියාවෙන් තෙල් නැවක් ගෙන්වීමට කටයුතු කළහ.
හැබැයි කැබිනට් මණ්ඩලයේදී අර්ජුනට එරෙහිව කඩුව අතට ගත්තේ ප්‍රතිවාදී දයාසිරිය.
‘පාරේ බැහැලා යන්න බෑ. මේවටද සැලසුම් කියන්නේ. හතරවටින් මිනිස්සු බනිනවා’ දයාසිරි පටන් ගත්තේය.
අර්ජුනත් උත්තර දෙන්නට යෑමෙන් එය තවත් උණුසුම් විය.

‘දෙන්න ඇරියස් කවර් කරගන්නවා’
ඇමැතිවරු සිනාසෙමින් කීය.

නැව ගන්න කීව දකුනේ ඇමැති

මේ අතර බාල තෙල් නැව භාරගන්නා ලෙස තමාට දේශපාලන බලපෑම් ආ බව අර්ජුන කීවේය. ඒ දේශපාලනඥයා ආණ්ඩුව නියෝජනය කරන දකුණේ ශ්‍රී ලනිප ඇමැතිවරයෙක් බව මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ කතා බහට ලක්වෙමින් තිබේ.

 

‘නීල හරිත අය – වැය

මංගලගේ ‘නීල හරිත අය – වැය’ ගැන මේ දිනවල කතා බොහෝය.
නිල වශයෙන් අය – වැය කියවන්නට පෙරම මංගල සහන මල්ලක් ලබාදුන්නේය.

බ්‍රහස්පතින්දා ඔහු අය – වැය ඉදිරිපත් කරන්නට ආවේ ප්‍රබෝධවත්වය. බොහෝ දෙනා බලා සිටියේ ‘අමාරුවෙන් දුවන ආණ්ඩුවට මංගල කුමක් කරයිද කියලාය. අය – වැයට පස්සේ බොහෝ දෙනා බොහෝ කතා කීය. මංගල සිය අය – වැයෙන් ඉදිරිපත් කළ ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දට කීවේ මැදමුලන බද්ද කියලාය. සිය අය – වැය කතාවේදී’ මැදමුලන බද්ද’ ලෙස ද මුදල් අමාත්‍යවරයා විග්‍රහ කළ මෙම බද්ද මඟින් 2018 වසරේදී රුපියල් මිලියන 20,000ක ආදායමක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.
මේ අතර මංගලගේ අය – වැය ගියවර රවිගේ අය – වැයට වඩා සහමුලින් වෙනස් ස්වරූපයක් ගෙන තිබිණි. රවි කළේ සැහැල්ලු වාහන මිල නංවා ඒ වෙනුවට සුඛෝපභෝගී වාහන මිල අඩු කිරීමය. මංගල සිය අය – වැයෙන් තෙවැනි පරම්පරාව කෙරෙහි අවධානය යොමුකොට තිබිණි.

‘අය – වැය පරතරය අඩු කරලා තියෙනවා. සංවර්ධනයට වෙන් කරන මුදල වැඩි කරලා තියෙනවා. ඒ නිසා සර්ව ආර්ථික ප්‍රශ්නවලට හොඳ විසඳුමක් දීලා තියෙනවා. කොච්චර හොඳ වුණත් ඒ දේ ක්‍රියාත්මක කරන්න ඕනෑ.’
මෙහෙම කීවේ සරත් අමුණුගමය.
‘මංගල සමරවීර මහත්තයාගේ මංගල අය – වැය රට දිනවන, ගෙවල් හදන, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ශක්තිමත් කරවන, තරුණයන්ට රැකියා ලබා දෙන ප්‍රගතිශීලී අය – වැයක්. විශේෂයෙන්ම පොඩි මිනිහා ගැන හිතලා පොළොවේ පය ගහලා ජීවත් වන ජනතාව ශක්තිමත් කරන්න යෙදුණු අය – වැයක්’ යැයි කීවේ සජිත් ප්‍රේමදාසය.
‘කාටත් පේන විදියට හොඳ අය – වැයක්’ කීවේ අකිලය. හැබැයි වෙල්ගම කීවේ ‘තමන්ට අය – වැය තේරුණේ නෑ’ කියලාය. ‘කිසිදෙයක් තේරුණේ නැහැ. කවදාවත් මේ වගේ අය – වැයක් ඇහුණේ නැහැ. ඒ හිතේ අමාරුවට කාලා, තේ බීලා ආවා’ වෙල්ගම කිවේය.

මූල්‍ය අරමුදලේ සිරකරුවකු ලෙස මුදල් ඇමැතිවරයාට මේ අය – වැය සකසන්න වෙලා කීවේ බන්දුලය.
මුහුදු කූඩැල්ලාට, උණහපුළුවන්ට සහන ලබා දුන්නත් මිනිසුන්ට සහන දෙන්න අපොහොසත් වෙලා තියෙන අය – වැයක්. අලි අනාථාගාරය පුළුල් කරලා පහසුකම් වැඩිදියුණු කරන්න අය – වැය යෝජනාව හොඳ දෙයක්. එක්සත් ජාතික පක්ෂයේ හැමෝම එතකොට අලි අනාථාගාරයට දක්කන්න පුළුවන්.’
කීවේ ගම්මන්පිලය.

රනිල් කිපේ

බ්‍රහස්පතින්දා පුවත්පත් බොහොමයක මුල් පිටු ප්‍රධාන පුවත ලෙස වාර්තා කළේ සෝභිත හිමි ගුණානුස්මරණයේදී මෛත්‍රි කළ සැර කතාවය. සුපුරුදු ලෙස දිනපතා පුවත්පත් කියවූ අගමැතිවරයා දැඩි කනස්සල්ලට පත්විය. ඒ ආණ්ඩුව විසින් ජනතාවට කලින්දා ලබා දුන් රු. දස ලක්ෂ 1,500ක සහන මල්ලට අදාළ ප්‍රවෘත්තියට බොහෝ පුවත්පත් නිසි ප්‍රමුඛස්ථානය ලබානොදී තිබීම හේතුවෙනි.
“ජනාධිපතිතුමාගේ කතාවට මුල් තැන දීම ප්‍රශ්නයක් නෑ. ඒත් අධික ණය බර හා ආර්ථික අමාරුකම් මැද ආණ්ඩුව ජනතාවට ලබාදුන් සහන මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස ඉස්මතු කරලා පෙන්වීමට උත්සාහ නොකිරීම ජනතාවට මෙන්ම ආණ්ඩුවටත් කරපු අසාධාරණයක්” අගමැතිවරයා තමා හමුවීමට පැමිණි මැති ඇමැතිවරුන් හා සමීප මාධ්‍යකරුවන් දෙදෙනකු හමුවේ සිය බලවත් කනගාටුව පළ කළේය.
අනතුරුව ජනමාධ්‍ය ඇමැති මංගල හා ඇමැති කබීර් හෂීම්ටද ඇමැතුම් ගත් අගමැතිවරයා ඔවුන් වෙතද සිය අප්‍රසාදය පළ කළේය.
“දින 365 පුරාම කිසිම රජයකට ජනතාවට සහන දෙන්න බෑ. ඒත් එවැනි දෙයක් දීපු වෙලාවෙ ඒකට සාධාරණ ප්‍රචාරයක් නොගැනීම අපේම වරදක්. ගිය රජය රු. 100ක වැඩකට ලක්ෂයක ප්‍රචාරය ගත්තා. අපි රු. ලක්ෂයක වැඩකට රු. 100ක වත් ප්‍රචාරය ගන්න ක්‍රියා කරන්නේ නෑ. ජනමාධ්‍යටම බැනල වැඩක් නෑ” අගමැතිවරයා ඉතා තදින් කීවේය.

“ආණ්ඩුවට ගහන ප්‍රවෘත්ති ලොකුවට දාන්න පත්තරයි අනෙක් මාධ්‍යයයි හරි ආසයි. ජනාධිපතිතුමාගෙ කතාවයි බඩුමිල අඩු කළ එකයි ලීඩ් 02ක් විදියට ඒ අයට ඕන නම් දාන්න තිබුණා” අගමැතිවරයා කීවේය.
“මාධ්‍ය ඇමැතිට බඩුමිල අඩුකරපු වැඩේටත් හරියට ප්‍රචාරය ගන්න බැරිවෙලා. ඉතිං මුළු ආණ්ඩුවේම වැඩ ප්‍රචාරය කරන්නෙ කොහොමද?” අගමැතිවරයා තවදුරටත් කීවේ නළල රැලි ගන්වමිනි.

ඒ තුළ ජනමාධ්‍ය මෙහෙයවීම ඔවුන් හා කතාබහ කිරීම හා ආණ්ඩුවේ කටයුතුවලට සාධාරණ ප්‍රචාරයක් ලබාදීම අදාළව අගමැති යටතේ ක්‍රියාත්මක ප්‍රබල තනතුරක් ඇති කිරීම කාලෝචිත බවද එහිදී තීන්දු විය.
” ඒ තනතුරට හොඳ කෙනෙක් හොයන්න” අගමැතිවරයා සමීප මාධ්‍යකරුවන් දෙදෙනාට කීය.
“ඊයේ සෝභිත හාමුදුරුවන්ගේ ගුණ සමරුවේදී සරත් විජේසූරිය ආණ්ඩුව නැතිකරලා. ඊට පස්සෙ ජනාධිපතිතුමාත් දැඩි ප්‍රහාර දීලා. එක පාරට එහෙම වුණේ ඇයි” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ අගමැති ඇතුළු සියලු දෙනාගෙනි.

“මට ඔය උත්සවයට යන්න බැරිවුණා. පෙට්රල් ප්‍රශ්නයයි අනෙත් ඒවායි ඔක්කොම මට කර ගහන්න වෙලා. ඒත් මම සෝභිත හිමිගෙ දානයට ගියා” අගමැති කීය.
“අගමැතිතුමා ගියා නම් ඔය කතා ඔච්චර සැර නොවෙන්නත් තිබුණා” දයා ගමගේ කීය.

“සැර වුණත් ප්‍රශ්නයක් නෑ. මම හිටියා නම් මගේ කතාවෙදී උත්තර දෙන්න තිබුණා. ඒත් ඒක මඟ ඇරුණා. ආර්ථිකය ගොඩදාල රට සංවර්ධනය කරල ජනතාවට ප්‍රතිලාභ දීම මගේ ප්‍රධාන අරමුණයි. ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා නම් ඒවා ඇතුළේ මිසක් එළියේ කතා කිරීම නුසුදුසු බවයි හුඟ දෙනෙක් මට කිව්වේ” අගමැතිවරයා කීවේය.
“ජනමාධ්‍ය හසුරුවා ගැනීම අවශ්‍යයි. ආණ්ඩුවට කඩේ යන්න නෙවෙයි සාධාරණ මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීම ඔවුන්ගේ වගකීම බව පෙන්වාදීම අවශ්‍යයි.” ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේද කීවේ එකම කතාවකි.

“පසුපෙළ මන්ත්‍රිවරු ආණ්ඩුවට ප්‍රහාර එල්ලවීම ගැන මොකද කියන්නේ” නවීන් දිසානායක විමසුවේ එහි සිටි බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි චමින්ද විජේසිරිගෙනි.
“අපේ එවුන්ට යකා නැඟල ඉන්නෙ. ආණ්ඩුවේ නායකයා ආණ්ඩුව විවේචනය කිරීම විපක්ෂයට තුරුම්පු ලබාදීමක් බව අපේ අයගේ ස්ථාවරයයි” චමින්ද විජේසිරි කීවේය.
“ළඟදී එජාප පසුපෙළ මන්ත්‍රිවරු ජනාධිපතිතුමා හමුවෙලා ප්‍රශ්න කතා කළා නේද” ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය.

“ඔව්. එතුමා එතැනදි නම් මෙහෙම කතාවක් කිව්වේ නෑ. ආණ්ඩුවේ අයට එතුමා ප්‍රහාර එල්ල කරනවා නම් ඒ අය කවුද? කළ වරද මොකක්ද? කොහෙදිද ඒක කළේ කියල එළි කළ යුතු බවයි අපේ මන්ත්‍රිවරු කියන්නේ” චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.
“එජාප පසුපෙළ මන්ත්‍රිවරු එතුමා යළි හමුවෙලා මේ ගැන අහන්නත් අපේ අය ඔබතුමාගෙන් අවසර ඉල්ලනවා” මන්ත්‍රිවරයා කීවේ අගමැතිවරයාටය. “බලමු… බලමු..” අගමැතිවරයා කීවේ එපමණකි.
“පෙට්රල් අර්බුදය ආණ්ඩුවට ඉතා අවාසියි. සමහරු අයි. ඕ. සී. එකට වරද පටවන්න දඟලනවා. ඒක අසාධාරණයි” දයා ගමගේ කීවේය.
“ආපසු ඒ වගේ වැඩ සිදුවෙන්න ඉඩ තියන්නෙ නෑ. ත්‍රිපුද්ගල ඇමැති කමිටුවේ වාර්තාව අනුව ඉදිරියට කටයුතු කරනවා” අගමැති කීය.
“ඊයේ එස්.බී. කිව්වේ මහින්ද පිල එයාල එක්ක සෙට් වෙන්න පස්සෙන් එනවා කියලයි” දයා ගමගේ කීය.
“මට නම් ආරංචි ඒකේ අනෙත් පැත්තයි. අමරවීර හා අලගියවන්න දෙන්නා පවිත්‍රා හා මහින්දානන්ද එක්ක කතා කරල පුටුවෙන් එමු කියල ආයාචනා කරලාලු” රන්ජන් රාමනායක එළිකළේ ලැබුණු තොරතුරකි.
“පුටුව මිනිස්සුන්ට දැන් මතක නැති නිසා මාකට් කරන්න අමාරුයි. අවුරුදු 13කින් පුටුව ලකුණ ඇවිත් නෑ. අලියා හා සීනුව ළඟට දැන් මාකට් හොඳම ලකුණ පොහොට්ටුවයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.

මහින්දගේ 5ක් සජිත්ට

ලුණුගම්වෙහෙර. සද්ධාතිස්සපුර “සදිසිගම” ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවය සඳහා පැමිණ සිටි පිරිසට එතෙක් රහසක්ව පැවැති කිසියම් සිද්ධියක් කරළියට ආවේ සියල්ලන් මවිතයට පත් කරමිනි. දිගු කලක් මුළුල්ලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත්ව සිටි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ප්‍රබලයන් 5 දෙනකු සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සමඟ එක්වීම එම සිද්ධියයි. ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන විජිත උභයවර්ණ සහ චන්ද්‍රසිරි සිරිවර්ධන, එහිම හිටපු මන්ත්‍රිවරයකු වන නාමල් වීරසිංහ, ප්‍රාදේශීය සභා අපේක්ෂකයකු වන අජිත් රුහුණගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වු නිවේදක සමන් ගමගේ යන අය සමඟ තවත් ප්‍රදේශවාසී පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූහ. සජිත් කීවේ “කිසිම පෞද්ගලික වරදානයක්, වරප්‍රසාදයක් නැතිව මේ පිරිස මා සමඟ එක්වුණේ මගේ වේගවත් සංවර්ධන සැලැස්මේ කොටස්කරුවන් වෙන්නයි” කියාය. “පැති මාරු කළත් ඒ අය කලින් හිටපු පැත්තේ අයට බනින්න, මඩ ගහන්න මං ඒ අයව පාවිච්චි කරන්නේ නෑ. පරණ අතීතය අමතක කරලා අපි අලුත් ගමනක් යමු” සජිත් කියද්දී විශාල අත්පොළොසන් හඬක් නැඟුණේය. උත්සවය අවසන් වුණු වහාම සජිත් කළේ මේ පිරිස හා ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සමඟ ලුණුගම්වෙහෙර සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමය. ප්‍රදේශය තුළ මෙතෙක් ඉටු නොවුණු සංවර්ධන ක්‍රියාමාර්ග, ඉඩම් හා නිවාස ප්‍රශ්න ගැන සාකච්ඡා වන අතර සජිත් ඇසුවේ “පසුගිය ආණ්ඩුව කාලේ මේ දේවල්වලට ප්‍රමුඛතාව නොලැබෙන්න හේතුව මොකක්ද?” කියාය. “මොනව කරන්නද සර්. ඒ දවස්වල ප්‍රමුඛතාව දුන්නේ මෙගා ප්‍රොජෙක්ට්ස්වලටයි. මෙගා ඩීල්වලටයි විතරනේ” පිළිතුර විය.