ඉර හරියට ඉත්තෑයෙක් වගේ කටු පුප්පගෙන ඉන්න වෙලාව.

ඉස්සරහින් නතර කරන්න

මිතුරා කියන්නේ යතුරු පැදියේ පිටිපස්සේ ඉඳලා.

තාර දිය කරන අහස යට පාරේ ගිහින් යතුරු පැදිය නතර වෙන්නේ දැවැන්ත මැයිමාර ගහ යට.ඊට ඔබ්බෙන් දැවැන්ත පරිමාණයේ නිවස. තව ටිකකින් ඔතන දිග ඇරෙන්නේ වෙනස් කතාවක්.

අපි දන්නවනේ ටෙලිවිෂන් එකේ කොටුදාලා,බොඳ කරලා පෙන්නන්නේ ‘සීමාවෙන් පිට පැන්න’සීන් කියලා.හැබැයි අපිම දන්නවා,ඒ කොටු අස්සෙන් ඇත්ත හොයන්න අපි කොහොමත් ට්‍රයි කරනවා කියලා.ඒ විතරක් නෙවේ කොටු දාලා වහන දේවල් වලට යටින් තියෙන දේ හොයා ගන්නකම් අපි ඉන්නේ ‘කුතුහලයෙන්’.ඔය කුහුල ලිහෙනකම් ඉතිං අවුල තමයි.

මනුස්සයා දැන් වැඩේ අතරලා තියෙන්නේ.ලියද්දී ඒක මතක තියා ගන්න..මොකද මගේ තියෙන විශ්වාසෙටයි ලොක්කා කතාව කියන්නේ

පාර එහා පැත්තේ තියෙන විශාල නිවසට බයික් එක හරවද්දිත් මිත්‍රයා පුරුදු අවවාදේ ආයෙමත් මතක් කළා.

ගේට්ටුව ඇරුනම අපි නැවතුණේ ලොකු මිදුලේ බට් අඹ ගහක් යට.ඔහු හිටියේ ඒ පාමුල සුවපහසු පුටුවක.

සොමියට වරෙන් පුතා
අගුල් දාලා නෑ දොරේ
අහපන් රියල් කතා
ගුණෙ අයියගෙ කාමරේ

 

මේක පොඩි ආන්දෝලනාත්මක සිංදුවක්නේ.ඒකේ යට කතාව හැමෝම අල්ලගෙන තියෙන්නේ.හැබැයි මේ ගියේ ගුණේ අයියගේ කාමරේට නෙවේ,මේක වෙන ‘අයියෙක්ගේ‘ ලොකු ගෙයක්.!

පුදුම වෙන්න එපා,මෙයා කෝටිපතියෙක්.හැබැයි දැන් ඉන්නේ ඔබට හිතාගන්න බැරි තරම් වෙන තැනක.!

යාලුවා මට විස්තරේ කියලා තිබ්බේ.ඒ හින්දා වටින් ගොඩින් නැතිව කතාව පටන් ගමු

ඔහු අපිට යාබද පුටු දෙකක් පෙන්නලා එහෙම කීවා.අපි වෙනුවෙන් ඔහු ‘අඩුම කුඩුමත්‘ වෙන් කරලා තිබ්බා.

මම ඉපදුනේ නුවර,කඩුගංනාවේ.පුංචිකාලේ ගෙව්වේ එහේ. අම්මා මම පුංචි කාලෙම වැදුම්ගෙයි සංනිය හැදිලා මැරිලා.අප්පච්චි කළේ කඩුගන්නාවෙ පුංචි බඩඉරිඟු කඩයක් කරපු එක.බඩඉරිඟු තම්බගෙන මාත් අනන්තවත් බස් වලට නැගලා විකුණලා තියෙනවා.හිතා ගන්නකෝ දුම් දාන බඩඉරිඟු බාස්කට් එකක් අරගෙන අවුරුදු දොළහක විතර ඇච්චා කොල්ලෙක් බස් එහෙකට නඟිද්දී කෝමද කියලා.‘

ඔහු හිටියේ කතාබහට ඇස් ඇරගෙන.සුහඳශීලීබව ඔහු පෙන්නුවේ දොඩමලුගතියෙන් පටන්ගෙනමයි.

 ‘ඔය යන එන අතරේ දැකලා ඇති කඩුගන්නාවේ කාර්වොෂ්දාන තැන් තියෙනවා.කන්දෙන් එන උල්පත් වතුරට රබර් බට දාලා තමයි ඔය වැඩේ කරන්නේ.කාර් එකක් වොෂ් කළාම ඒ දවස්වල රුපියල් 60ක් ලැබෙනවා.මායි අප්පච්චියි ඒ වැඩෙත් කරලා තියනවා. ඒක ජීවත් වෙන්න තරම් රස්සාවක් නෙවේ.ඉතිං අවුරුදු 17 වෙනකොට මම කොළඹ එනවා..

ඇපල් පෙත්තක් හපන ඔහු ජින් වීදුරුවකින් බිඳක් තොල ගානවා.

ඇවිත් මුලින්ම කෙරුවේ ෆිල්ම් ඩෙරික්ටර් කෙනෙක් ගාව වැඩ කරන එක.ඒ අතරේ ඔය නලු නිලියෝ එහෙම පොඩ්ඩ පොඩ්ඩ ෆිට් වුණා.මාස කිපයක් වැඩ කළත් පොර හරියට පඩියක් දුන්නේ නෑ.ඌ ගල් ආඳා. තේරුමක් නැතිවඉන්න බැරි හින්දා මම එතනින් මාරු වුණා.හැබැයි මම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා’

ජීවිත කතාවේ යටගියාව මිනිහා රවුම් කරකර කියන්න ගත්තා. අපිට ඕන වෙන තැනකින් අල්ල ගන්න.ඒ කෑල්ලයි අපිට වැදගත්,.ඒත් මිනිහා කතාව දිග අරින්නේ,පරණ ෆිල්ම් එහෙක නම් ලිස්ට් එකේ ඉඳලා යන රටාවට.

මට උවමනා කෙලින්ම තීරණාත්මක තැනට එන්න.

මම කොළඹ  ගෑස් පහ හාඩ්වෙයාර් එහෙකට සෙට් වෙනවා.ටික දවසකින් එතනින් අයින්වෙලා කොටුවේ රෙදි කඩේක වැඩ කරනවා.ඊට පස්සේ රෑට නයිට් කඩේක. නවතින්නේ පංචිකාවත්තේ පොට් එහෙක.එතන වැඩ කරද්දි එක එක චරිත මුණගැහෙනවා.කොටින්ම ලොකු ලොකු මුදලාලිලාගේ ඉඳලා බෝ ගහ යට කරක් ගහන ගණිකාවෝ පවා මුණ ගැහෙනවා.උන්ගේ ජීවිතවල තියෙන කෑලි සේරම මම දන්නවා.

කතාව දිවෙන්නේ හෙමින්.ඉතින් මම මැදිහත් වුණා.

මේ වැඩේට සෙට් වෙන්නේ කොහොමද?’

මේ එන්නේ එතෙන්ට තමා

මගේ මැදිහත් වීම ලොක්කට දිරෙවුවේ නැතිවා වගේ.තවත් ජින් උගුරකින් ඔහු දෙතොල් තෙමා ගත්තා.අලුත් ඇපල් කෑල්ලත් දත් අතර හිර කරගත්ත ඔහු උගුර පෑදුවා.

ඔහොම ඉන්න අතරේ මම තල කැරළි හදන්න පටන් ගත්තා.ඒක අමුතු බිස්නස් එකක් වුණා. මැෂින් මුකුත් නෑ.හැබැයි,කැරලි හදන්න මම අලුත් ක්‍රමයක් හොයා ගත්තා.පදමට හදපු තල පුංචි පී වී සී බටවලට දාලා තද කළාම එලියට එන්නේ ගානට හැදුනු කැරැල්ලක්. වැඩේ ටිකක් අල්ලලා ගියා.’

ජීවිතය කරකවා අතාරින ඕනම කෙනෙක්ට අහුවෙන තැනක් තියෙනවා කියලා කතාවක් තියෙනවා ඔබ අහලා ඇතිනේ..ඔව්,ඉතින් ඔහු අහුකරගත්ත තැන තමයි ඒක.

‘ඔය අතරේ යාලුවෙක් සෙට් වුණා.මිනිහා කීප වතාවක් හිරේ ගිහින් ආව ඩයල් එකක්.හැබැයි පොර අතේ නිතරම සල්ලි. කාටත් හොරා කරන පුංචි පහේ බිස්නස් එකක් මිනිහට තිබ්බා.ඒ කේජී බිස්නස් එක. ඒ දවස්වල කේජී කියන්නේ මේ තරම් සුලබ දෙයක් නෙවේ.මේක මට ටිකක් අමුතු එකක් වුණා.

කේ ජී කියන්නේ අදවෙනකොට රටේම ප්‍රසිද්ද නමක්.ඉන්දියාවේ පහළ කොනේ තමිල්නාඩුවට වම් පැත්තට වෙන්න තියෙන පටු තීරුවක්‌ වගේප්‍රාන්තයක්‌ තමයි කේරළය.එහෙන් තමයි මේවා එන්නේ.කේරලය ආයුර්වේදෙට ප්‍රසිද්ධයි.ඉතිං බන්දියාවේ අනික් ප්‍රාන්තවල වගා කෙරෙන ගංජාත් පැටවෙන්නේ කේරළයට . කේරළයෙන් ආපසු පිටරටවලට යෑවෙන මේ ගංජාවලට කේරළ ගංජා කියලා තමයි කියන්නේ. ගංජා කියන්නේ බෙංගාලි නමක්. ගංජාවලට ෙත්‍රෙලෝක විජයෝත්පත්‍ර කියලත් කියනවා . ග්‍රාස්‌, හෂීස්‌, හෙම්ප්, ඉන්ඩියන් හෙම්ප්, මර්ජුවානා, පොට්‌, රිෆර් වීඩ්  කියන්නෙත් ගංජා වලටමයි.මොනවා වුණත් ලංකාවේ ‘බඩු‘තහනම්..!

කේරළයෙන් ගංජා ගේන ඒක ඇත්ත… ඒත් රට හැම තැනම තියෙන කේ.ජී. කේරළ ගංජා නෙමෙයි…”

ඒක තමයි ඇත්ත කතාව

‘එිරෙන් එනවා,ආයේ යනවා ඕක තමයි පොරගේ රටාව.මිනිහා විටින් විට මගේ තල කැරළි බිස්නස් එකටත් උදව් කරනවා.ජීවිතේ ගොඩ දාගන්න මම කන කට්ට මිනිහා ඇස් දෙකෙන්ම දැක්කා.දවසක් පොර මට මරු අදහසක් ගෙනාවා.

දැන් ඔහුගේ ජින් වීදුරුව හිස්.අපි කුතුහලය පුරවගෙන කතාව අහගෙන.

නියම බිස්නස් එකක් තියෙනවා.මාස් දෙක තුනෙන් ගොඩ.අපි තල කැරලි විදිහට හදලා බඩු යවමු.ඒක හරි ආරක්ශිතයි.අපේ කස්ටමර්ලා අතට ඒක ලේසියෙන් යවන්න පුලුවන්.මිනිහා කීවේ එහෙම.

තල කැරළි ඔතලා ගොඩ යන්න අමාරු බව ඔහු ඒ වෙනකොටත් තෙරුම් අරන් ඉවරයි.ගුනදාසගේ තල ගුලි ඇර වෙන තල ගුලියකට හැරෙන්න ඉඩක් නෑ කියලා ඔහුට තේරිලා.ගානක් අතට අරං ගොඩ යන්න මේක හොඳ අවස්තාවක් කියලා ඔහු තීරණය කරනවා. දැන් හැමතැනම කේ.ජී.ඒ නිසාම කෑල්ලක්‌ මිලට ගන්න බැරි නගරයක්‌ ගමක්‌ නැති තරම්.  කේ.ජී. බට්‌ටෙක්‌ රුපියල් හතළිහක් පණහක් වෙනවා. ග්‍රෑම් 10 පැකට්‌ එක රුපියල් දෙදහස්‌ පන්සීයත් තුන්දහසත් වෙනවා.

ඉතින් වැඩේ කළාද?’

අපොයි ඔව්..

අවදානමක් වුණේ නැද්ද?’

‘මොකෝ නැත්තේ, මුලින් ෂේප් එකේ වැඩේ ගියා.මුලදී පොලිසියට මාට්ටු වුණේ නෑ,හැබැයි වෙන විදිහකට ලීක් වුණා

ඒ කොහොමද?’

අපි තල පැකැට් එක්කම තමයි කේජී යැවුවේ.හැබැයි ඒවට දම්පාට සීල් එක ගැහුවේ නෑ.ලා කලු පාට සීල් එකක් යාන්තමට ගැහුවා.ඒ මාට්ටු නොවෙන්න.අපි තල කඩවලට දානවා.බඩු වෙන අයට දානවා.වතාවක් වැරදිලා කේජී එහෙකට තල වලට ගහන සීල් එක වැදිල.ඒක ගිහින් තිබ්බේ ඉස්කෝලයක් ගාව කඩේකට

අපේ අත් ඔලුවට ගියා.

‘එහෙම වුණේ කොහොමද?

‘දවසක් වැඩ කරනකොට හිටියේ ‘හඳේ.‘

ඔහු කීවේ හිනාවෙවී.

ඉතිං?

වෙලාවට මුදලාලිට අහුවෙලා තිබ්බේ,.වැඳලා වගේ ෂේප් එකක් ද ගත්තා.ගුටි නොකා බේරුනේ නූලෙන්.තව දවසක් පී එච් අයි මහත්තුරු ආවා.එදත් අහුනොවී බෙරුනේ නූලෙන්.

‘පස්සේ ඉතිං දෙය්යනේ කියලා මාසදෙක තුනකට සැරයක් පොලිසියට ගන්න එන්න වුණා.“

ඒ කොහොමද?’

මෙහෙමයි,ගෙවල් දොරවල් හදාගෙන වාහනයක් එහෙම අරගෙන ඔලුව උස්සනකොට කස්ටිය සැක කළා.!මූ මොකක් හරි ගේමක් ගහනවා ඇති කියලා හිතපු උනුත් හිටියා.‘

‘ඉතිං?.‘

‘වලට වැටුණ එකා එක්කෝ වල හාරගෙන උමගක් හදාගෙන පිට වෙන්න ඕන. නැත්තං වල කටෙන් ගොඩ එන්න ඕන“

‘තෝරාගත්තේ මොකක්ද?

“වල හාරාගෙන එන එක‘

‘ඉතිං‘

ටික කාලයක් වැඩේ කරගෙන යනකොට ඕකේ මුල මැද අග අපි දැනගත්තා.හැබැයි දැන් තරම් කේජී ඉස්සර ආවේ නෑ.දෙදාස් දාහතරෙන් පස්සේ තමයි ඕසෙට කේජී ආවේ.ඒ කාගේ මේ තරම් නෑ.ඉතිං අපිට ඕන වුණා තියෙන ටික සැරට දෙන්න‘

‘එහෙම කරන්නේ කොහොමද?‘

‘ඒක තමයි මේකේ රහස,අපේ ගංජා වගේ නෙවේ කේජී,.බඩු සැරයි.දෙපාර ගැහුවම නවතින්නේ හඳේ.

එහෙම වෙන්නේ කොහොමද?’

අපිට තිබ්බේ කුතුහලය.ස්වභාවික ගතිය වෙනස් වෙන හැමතැනකම ‘කිලිටි‘කතාවක් තියෙනවා.ඕක අපේ අත්දැකීම් පාඩම!

ඒක වෙන්නේ මෙහෙමයි.ඕවට මදුරු දඟර ස්ප්‍රේ කරනවා.

මොකක්?’

පුදුම වෙන්න එපා,ඒවා ස්ප්‍රේ කළාම,හැරෙන තැපෑලෙන් අහසේ.

ඒක විසයිනේ

ඔව්,ඒත් ඉල්ලුම වැඩී.ක්ෂණික සතුටනේ හොයන්නේ

ජීවිතේට හානි වෙන්නේ නැද්ද?’

‘මොකො නැත්තේ.මැරෙන්නේ හිමීට.හොයාගන්න බැරි විදිහට

වෙන මොනාද දාන්නේ?’

කැස්සට බොන සිරප්,සැර අඩු කෘමිනාෂක

ඔයාලත් ඒවා දැම්මද?

අපිට බඩු ආවේ කෙලින්ම කේරලෙන්.මොනවා දාලා තිබ්බද කියලා දන්නේ නෑ

ගංජා පාවිච්චියට ඇබ්බැහි වූ අයට රෝග තත්ත්වයන් ගණනාවකට මුහුණ දීමට සිදුවෙනවා. ශ්වසන මාර්ගයේ පිළිකා හටගැනීම, ශ්වාස නාලිකා ප්‍රදාහය, පෙනහළුවල තුවාල හටගැනීම, හෘද රෝග හට ගැනීම සහ හෘද ස්‌පන්දනය ඉහළ යැම. මානසික ඒකාග්‍රතාව නැතිවීම, අමතකවීම, ලිංගික උත්තේජනය නැතිවීම යනාදිය ඒවා අතරින් ප්‍රධානයි.හැබැයි මේ විෂ කලවම් වෙච්ච ගංජා නිසා වැළඳෙන රෝග මොනවාද කියා කියන්න බැහැ. හැබැයි ඔවුන් වේගයෙන් කෝටිපතියෝ වෙනවා.ලංකාවට කේරල ගංජා ගෙන්වන ලොකුම ජාවාරම්කාරයෝ අතරේ ‘නමක්’ඔහුට ලැබෙනවා.

සල්ලි අතට එනකොට ජීවිතේ සෙල්ලමක් වෙනමා.ඒ සෙල්ලම තමයි දවසක ජීවිතේ සල්ලම් කරන්නේ කියලා කතාවක් තියෙනවා.නවීන නිවසක්,සුපිරිම වාහන දෙකතුනක්,විතරක් නෙවේ තනිකඩ ජීවිතේ පාලුව මකාදාන්න කතුන්ද ඔහුගේ ජීවිතේට ගොඩ වෙනවා.

අලුතින් ෆිල්ඩ් එකට එන නිලියෝ,මොඩ්ලින් කරමින් ෆිල්ඩ් එකට බහින්න ට්‍රයි කරන කෙල්ලෝ හිසේ කෙස් ගානට ඔහුට සෙට් වෙනවා.දැවැන්ත නිවසේ උඩුමහලේ නිදන කාමරයේ යහන දෙතුන් සියයක් කාන්තාවන් හාන්සි වෙච්ච එකක් කියලා ඔහු කියනවා.

හැබැයි දවසක් ඔහුට ජීවිතේ පැටලෙනවා.

‘දවසක් මගෙන් බඩු ගත්ත කොල්ලෙක් මැරෙණවා,මිනිහා මැරෙන්නේ කටින් ලේ ගිහින්‘

‘හේතුව?‘

‘කේජී වලට දාපු ඒවා විස වෙලා.‘

‘ඊට පස්සේ?‘

“මම මළගෙදර ගියා,මිනිහට දරුවෝ තුන් දෙනයි.ගෑනි කාලෙකට ඉස්සර මැරිලා,!දරුවොන්ගේ විලාපය ඇහුනම මම පත්තු වෙලා ගියා.‘

‘ඉතිං?‘

‘මගේ ජීවිතේ මතක් වෙන්න ගත්තා,එදත් එදයි මම වැඩේ අතෑරියා“

කොතනින් හරි අපිට අපිව අහුවෙනවා.ඒ අහුවෙන තැන කොතනද කියලා කියන්න බෑ.කොතනදී හරි අහුවෙනවා.

‘වැරැද්ද වැරැද්දමයි.ඒකේ නැවැරදි මුකුත් නෑ.කීදෙනෙක් මම හින්දා මළාද දන්නේ නෑ.හැබැයි දේක මම දැක්කා.අර දරුවෝ තුන් දෙනාම අනාත වුනේ මම නිසා කියලා මගේ පපුව දන්නවා,ඒක මැරෙනතුරා අමතක කරන්න බැරි ෂොක් එකක්‘

ඔහු අහස දිහා බලාගෙන එහෙම කියනවා.