වෙන පක්ෂවලට කොට අදිනවානම් එලවනවා

වෙන පක්ෂවලට කොට අදිනවානම් එලවනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂ ප්‍රවර්ධනය කරන්න කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඒ අය පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව ඉදිරි දින කීපය තුළදී අනිවාර්යයෙන්ම කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු එසේ පැවැසුවේ මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අනුරාධපුර පැවැති රැස්වීම ගැන ලොකුවට සලකන්නේ නැති බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් නොව වෙනම පක්ෂයක රැස්වීමක් බවත් සඳහන් කරන සන්ධාන මහ ලේකම්වරයා, ශ්‍රී ලනිපයේ යැයි කියමින් ඒ අය කරන්නේ පක්ෂය දෙකට කැඩීමේ උත්සාහයක් බව කියයි.

ශ්‍රී ලනිප ඉතිහාසය තුළ පක්ෂය බිඳ දැමීමට උත්සාහ කළ අයට කවදාවත් හරිගියේ නෑ. ඒ අය නැවත වතාවක් පක්ෂයට ආවා. ඒ නිසා මේ පක්ෂය නැති කරන්න කිසිම පුද්ගලයකුට පුළුවන්කමක් නෑ’යි මහින්ද අමරවීර මහතා පැවැසුවේ ඊයේ (13දා) අඟුලාන වෙරළතීරය පිරිසුදු කිරීමේ ශ්‍රමදානයකට සහභාගි වෙමිනි.
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ ශ්‍රී ලනිපයේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂයක අපේක්‍ෂකයන් වෙනුවෙන් මැතිවරණ කටයුතුවල යෙදෙන්නේ නම්, ශ්‍රී ලනිපයේ එවැනි මන්ත්‍රිවරුන් ගැන තීරණයක් ගන්නා බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.