ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂතා ජාත්‍යන්තරයට සාපේක්‍ෂව දිනෙන් දිනම පල්ලම් බසිද්දී, ගැලවුම්කාරයාගේ භූමිකාවට පණ පෙවීම පිණිස චන්දික හතුරුසිංහව ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත්කිරීමට නියමිත බව ඉකුත්දා වාර්තා විය.

ඇµaගනිස්‌තානය හමුවේද පරාජය වෙමින්, ජයග්‍රහණයක්‌ යනු අහම්බයක්‌ම වූ කාලයක හෙවත් බංගලිදේශය ජයග්‍රහණ අහේනියකින් පෙළුණු කාලයක එම කණ්‌ඩායම භාරගත් (2014 මැයි) චන්දික හතුරුසිංහ ඉකුත් වසර 3 1/2ක කාලයේදී බංගලිදේශයේ එතෙක්‌ මෙතෙක්‌ සාර්ථකම පුහුණුකරු බවට පත්වූයේ තව බොහෝ කලක්‌ යනතුරු හීන පමණක්‌ වීමට තිබූ ජයග්‍රහණ හැබෑකර දෙමිනි.

බංගලිදේශ ක්‍රිකට්‌ ක්‍රීඩාවට ස්‌වර්ණමය යුගයක්‌ හඳුන්වාදීම වෙනුවෙන්, ලොව ඉන්දියාවට පසුපසින් හොඳම ක්‍රිකට්‌ වෙළෙඳපල බවට පත්වන බංගලිදේශය විසින් හතුරුසිංහට ලොව ක්‍රිකට්‌ පුහුණුකරුවකුට පිරිනමන වැඩිම වැටුප දායද කර දෙන ලදි. එහෙත් එම වැටුපට වඩා හතුරුසිංහගේ හිත තිබුණේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු තනතුර කෙරෙහි බව ඔහු විසින් ඉකුත් කාලය පුරා කළ ප්‍රකාශ මගින් පෙනෙයි.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ධූරය තමන්ට ලබාදෙන්නේ නම් එය සතුටින් භාරගන්නා බව ඔහු කල් ඇතිව සෘජුවම ප්‍රකාශ කර තිබුණි. වාර්තාවන අන්දමට මේ වන විට බංගලිදේශය විසින් පිරිනැමූ වැටුපට වඩා මසකට රුපියල් ලක්‍ෂ 7ක පමණ ‘පාඩුවක්‌ ‘ දරාගෙන වුව ඔහු ශ්‍රී ලංකා කණ්‌ඩායම සමග එක්‌වීමට සැදී පැහැදී සිටියි.

චන්දික හතුරුසිංහ යනු සමස්‌ත ක්‍රිකට්‌ ලොවට ‘යුගයේ දැනෙන වෙනස්‌ කළ පුහුණුකරුවා බව අවිවාදිතය. ඒ අනුව විදේශ පුහුණුකරුවකු මතම යෑපිය යුතුය යන මෙරට වූ මතයට, තමන් විසින් ප්‍රත්‍යක්‍ෂ කර පෙන්වූ ප්‍රතිඵල මතින් අභියෝග කිරීමට හතුරුසිංහ සමත්ව සිටියි. නමුත් හතුරු පැමිණි පමණින් සියල්ල විසඳී, පරාජිත රැල්ල අහවරවී, ජය මඟ හෙලිවේද?

අද කාලයේ ක්‍රිකට්‌ වලට අනුව ජාතික කණ්‌ඩායම පුහුණුකරු යනු මහ ‘කඡ්ජක්‌ ‘ නොවේය යන්න ජාත්‍යන්තරයේ ඉහළ සිටින බහුතරයකගේ මතයයි. එයට හේතුව වී ඇත්තේ වීඩියෝ පුනරූපන ආදියෙන් සිදුකරන තාක්‍ෂණික විශ්ලේෂණය මත ප්‍රතිවාදී කණ්‌ඩායම්වලට එරෙහිව මෙන්ම තමන් වෙනුවෙන් කළ යුත්ත තීරණය කළ හැකි බවයි. ඒ අනුව පරිගණකය විසින් පුහුණුකරුවාගේ සාම්ප්‍රදායික කාර්යභාරයෙන් වැඩි කොටසක්‌ ග්‍රහණය කර ඇති බව පෙනෙයි.

වරක්‌ ඉන්දීය ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් සඳහන් කර තිබුණේ මේ වන විට පුහුණුකරුවා යනු යල්පැනගිය කාර්යභාරයක්‌ බවත්, අදාළ කණ්‌ඩායමේ හැටියට ජයග්‍රහණයක ප්‍රධාන වගකීම පැවරෙන්නේ නායකයා සහ කණ්‌ඩායමේ ජ්‍යෙaෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනාගේ කර මත බවත්ය.

වරෙක ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම පිට පිටම ලෝක කුසලාන දෙකක්‌ සහ අඛණ්‌ඩව ටෙස්‌ට්‌ තරග 16ක්‌ ජයගනිමින් ක්‍රිකට්‌ ලොව මුදුනේ වැජඹෙද්දී, එම කණ්‌ඩායමේ පුහුණුකරු ජෝන් බියුකැනන්ගෙන් ක්‍රිෂාන් ජෙඩ් අපූරු පැනයක්‌ ඇසුවේය ‘ ජෝන්, ඔබ විසින් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම හැදුවද, නැතිනම් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම විසින් ඔබව හැදුවාද?’ යනු ඒ පැනයයි.

‘ජයග්‍රහණයේ සැබෑ සාධකය පුහුණුකරුවාද නැතිනම් කණ්‌ඩායමද? ‘ යන විවාදයේදී එක්‌ විදේශ ක්‍රීඩා මාධ්‍යවේදියකු විසින් එය දක්‌වා තිබුණේ සමාන්‍ය රථයකින් තරගවැදුණු කෙතරම් දක්‍ෂ රියදුරකු වේවා, ෙµdaමියුලා වන් ජාත්‍යන්තර තරගයක්‌ ජයගෙන තිබේද? යනුවෙනි. එහි ජයග්‍රහණය සඳහා මෝටර් රථ පැදවීමේ දක්‍ෂතාව තිබුණාටම පලක්‌ නැත. ඒ සඳහා සුපිරි තාක්‍ෂණයෙන් ජවගැන්වූ රථයක්‌ද තිබිය යුතුය. පුහුණුකරුවා සහ කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ හැකියාව යන්නද මෙයට ගලපා සිතීම තර්කාන්විතය.

එසේ නොවන්නේ නම් ජෝන් බියුකැනන්ට කෙන්යා කණ්‌ඩයමේ පුහුණුකරු ධුරය ලබාගෙන කෙන්යාවට ක්‍රිකට්‌ ලෝක කුසලානක්‌ දිනාදීමේ හැකියාව තිබිය යුතුය. නමුත් එය එසේ වන්නේද?

ජාත්‍යන්තර මට්‌ටමේදී පුහුණුකරුවා යනු ජයග්‍රහණය උදෙසා ඇති සාධක අතර එකක්‌ පමණි. ඔහුට දක්‍ෂතා සහිත කණ්‌ඩායමක්‌ ලැබිය යුතු අතර, ඒ දක්‍ෂතා සහිත ක්‍රීඩකයන් කණ්‌ඩායමට තෝරාදීම තේරීම් කමිටුව වගකීමයි. ක්‍රීඩකයන් තුළ දක්‍ෂතාව ඔප්නැංවීම සහ දක්‍ෂයන් පෙරට ගැනීමේ ක්‍රමවේද සැකසිය යුත්තේ ක්‍රිකට්‌ පරිපාලනය විසිනි. කාගේවත් සාක්‌කුවල නොවැටී, පරිපාලනයට සැබෑ දක්‍ෂයන් තෝරාපත්කිරීම, ක්‍රීඩා සමාජවල වගකීමයි. මේ ආකාරයෙන් ගත්විට ජයග්‍රහණ සොයායැම එකකින් එකක්‌ ඈළුණු දාමයකි. එය හතුරුසිංහලාට පමණක්‌ තනිව කළ හැකි වි-ජාවක්‌ නොවේ.

හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ බංගලිදේශය ලබාගත් ජයග්‍රහණ ලැයිස්‌තුව දෙස බලා ‘හතුරු ෂෝක්‌ ‘ යෑයි කීම නොව, බංගලිදේශය දිනවීමට හැකිවූයේ කුමන කරුණු නිසාද යන්න අපගේ ක්‍රිකට්‌ බලධාරීන් සොයා බැලිය යුතුය.

බංගලිදේශය නම් ක්‍රිකට්‌ උන්මාදයෙන් පෙළෙන රටේ, ප්‍රේක්‍ෂකයන් උන්මාදයට පත්කළාවූ ක්‍රීඩකයා මෙන්ම ලොව දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා බවටද පත්වූ සකීරී අල් හසන් සහ චන්දික හතුරුසිංහ අතර වරක්‌ ඇතිවූ මතභේදකාරී තත්ත්වයේදී ‘සකීරී යනු අපේ ක්‍රිකට්‌ දෙවියෙකි’ කියා බංගලිදේශ ක්‍රිකට්‌ පරිපාලනය ඔහුගේ පැත්තේ සිටගත්තේ නැත. හතුරුසිංහට හතුරු නොවී ඔව්හු නිසි විනයට අනුව කණ්‌ඩායමට පුහුණුව ලබාදීමේ අවස්‌ථාව ඔහුට පිරිනැමුවේය. මේ එක්‌ උදාහරණයක්‌ පමණි.

‘අයියා – මල්ලී’ ගනුදෙනුවෙන් මිදී, බාහිර බලපෑම් අවමකර පුහුණුකරුවාට පුහුණුකරුවාගේ කාර්යය නිදහසේ කරගෙන යැමට අවස්‌ථාව සැලසීමය වඩාත් වටිනුයේ.

එසේ වුවහොත් උපන් රට ගැන ඇති ලෙන්ගතුභාවය මෙන්ම තම ක්‍රිකට්‌ පුහුණුකාරීත්වයේ දක්‍ෂතා සංකලනය කර (එදා වට්‌මෝර්ගේ සංකලනය මෙන්) පෙරළියක්‌ කිරීමේ අවස්‌ථාව හතුරුසිංහ සතුවනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ