‘ඇතැම් විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි. අපි කාලයට ඉඩ දී බලා සිටිමු. කාලයට වැඩිපුර ඉඩ දෙන්නත් බැහැ.’
මෛත්‍රි මෙහෙම කීවේ 2014 නොවැම්බර් 21 වැනිදාය. එතෙක් පැවැති මහින්ද පාලනය පෙරළා දැමීමට මෛත්‍රි එළියට බැස්සේ එදාය. ඉකුත් 21 වැනිදාට ඒ ගමනට වසර 3ක් පිරුණේය. පසුගිය 21දා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැති උත්සවයකදී මෛත්‍රි අතීතය සිහිපත් කළේය.

සමහරු අහනවා වෙනස සැපද කියලා?’ ‘මම කියනවා ඔව් සැපයි කියලා’, වසර තුනකට පෙර අද වැනි දිනක එවකට පැවැති ආණ්ඩුවෙන් එළියට බැස්සේ රටේ යම් වෙනස්කම් කිරීමට. රටට අවශ්‍ය වූ වෙනස සඳහා බොහෝ දේ මේ වනවිට ඉටුකර තිබෙනවායි මෛත්‍රි කීය.

ජාත්‍යන්තරය දිනාගෙන ලෝකයේ සෑම රටක්ම ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත්කර ගැනීමට තමන්ට හැකිවූ බවත්, විදුලි පුටු හෝ යුද අධිකරණ නොමැති තත්ත්වයක් ගොඩනඟා ගත් බවත් රටට අහිමිව තිබූ බොහෝ දේ දිනා ගැනීමට මේ කාලයේ හැකිවූ බවත් කාට නැතත් ජනතාවට නම් වෙනස හොඳටම සනීප බවත් මෛත්‍රි කීවේය.
පාර්ලිමේන්තුවේ අය – වැය විවාදයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සාකච්ඡා වන අවස්ථාවට නොවරදවා සහභාගි වීම මෛත්‍රි සිදු කළේය. මීට පෙර ජනාධිපති වැය ශීර්ෂවලට ජනාධිපතිවරු සහභාගි වූයේ නැත.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ වාර්ෂික සමුළුව විසි වැනිදා පැවැත්වුණු අතර එයට එක්වෙමින් මෛත්‍රි කීවේ අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ තිබෙන හොඳ වගේම නරකත් තමන් හොඳින් දන්නා බවය. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස තමා ලැබූ අත්දැකීම් සෞඛ්‍ය සේවාවේ දියුණුව සඳහා යොදාගැනීමට ඉඩ ලැබුණු බවද කීය.
මෙවර කැබිනට් හමුව වෙනදා තරම් උණුසුම් මුහුණුවරක් නොගත් නමුත් මෙවරත් කතාබහ ඇරැඹුණේ තෙල් මාතෘකාවෙනි.
‘ආයෙමත් රාවයක් ගියා තෙල් හිඟයක් ගැන, ඒත් එහෙම දෙයක් වුණේ නෑ.’
අර්ජුන කීවේය.

‘එහෙම වෙන්නේ විශ්වාසයක් නැති හින්දනේ’
අනුර යාපා කීවේය.
‘දැන් ඉතිං, ඇමැති අනුකමිටුව හරහා වැඩේ වෙනවනේ, ගැටලුවක් නෑනේ’ මෛත්‍රි කතාවට මැදිහත් වුණේය.
‘ගිය ආණ්ඩුව විසුරුවන්න දින දෙකකට කලින් විදුලිබල මණ්ඩලයේ පඩි වැඩි කරලා, ඒක අත්තනෝමතික වැඩක්. දැන් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නිවැරැදි කරමු.’
ජෝන් සෙනෙවිරත්න කීවේය.
‘වරදක් වුණාම කොහොමද ඒ වැඩේ නීත්‍යනුකූල කරන්නේ. ඒක කරන්න බෑ.
මංගල කීවේය.

දයාසිරි අපූරු යෝජනාවක් ගෙනාවේය.
‘ජැමෙයිකාව පොඩි රටක්. ඒත් ක්‍රීඩකයෝ දක්ෂයි. අපිත් එහෙම ක්‍රීඩකයෝ හදන වැඩපිළිවෙළක් හදන්න ඕනා.’
ඒ කතාවට හිටපු ක්‍රීඩා ඇමැතිවරයෙක් වූ එස්.බී.ට. හිනා ගියේය.
‘එහෙම කරන්නේ කොහොමද? එයාලගේ ශක්තිය ජානවලින් එන එකක්.’
මේ අතර ගිය බදාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්විය. එහිදී වැඩි අවධානයක් යොමුවුණේ පක්ෂයේ සමඟිය ගැන කතා කරන්නටය.
මුලින්ම නැඟිට්ටේ දි. මු. ජයරත්නය. ඔහු සංවේදී කතාවක් කළේය.
‘මම හැමදාම පක්ෂ නායකයා එක්ක හිටියා. ඊයෙත් අදත් හෙටත් එහෙමයි. මේ පක්ෂය කැඩිලා බිඳිලා යද්දී මම නායකයා එක්ක පක්ෂය රැක්කා. අදත් පක්ෂය බෙදිලා. දැන්වත් එකතු වෙමු.’

දි. මු. කීවේය. ඒ එක්කම නැඟිට්ටේ නිමල් සිරිපාලය.
‘ජනාධිපතිතුමනි, අපි මේ ආණ්ඩුවේ ඉන්නේ ඔබතුමා නිසා. දැන් යූ.ඇන්.පීය ඔබතුමාට ගහන තැනට ඇවිත්. එහෙම නම්, අපි නිකම් ඉන්නේ නෑ. උත්තර දෙන්න අපිත් ලෑස්තියි.’ නිමල් එහෙම කියන අතරේ හිටපු ජනපතිනිය චන්ද්‍රිකා එතැනට ආවාය.
නිමල් දිගටම කතාව කරගෙන ගියේය.

‘කොහොමත් අපි එකතු වෙන්න ඕනෑ. නැතිව මේ ගමන යන්න බෑ.’
නිමල් එහෙම කියද්දී චන්ද්‍රිකා ඊට බාධා කළාය.
‘ඒ කියන්නේ හොරු එක්ක වුණත් එකතු වෙමු කියලද?’
චන්ද්‍රිකාගේ කතාවට නිමල් සැණෙකින් උත්තර දුන්නේය.
‘දැන් අපි එකතු වෙලා ඉන්න හොරු එක්ක බැලුවම හිටිය අය මොන හොරුද මැඩම්. මේ අයනේ නොම්මර එකේ හොරු.
නිමල් කීවේය. ඒ කතාවෙන් පසු චන්ද්‍රිකා මඳ වේලාවක් රැඳී සිට නික්ම ගියාය.
‘පක්ෂේ සමඟියට එතුමිය කැමැති නෑ. එතුමිය කැමැති යූ. ඇන්.පී.ය එක්ක ඉන්න.’
සමහරු එහෙම කතා කරන්නට වූහ.

මෛත්‍රි ආරක්ෂා කිරීමට නිමල් සිරිපාලලා අවි තනද්දී එජාපයේ පසුපෙළද දැන් සටනට බැස තිබෙන හැඩක් පෙනෙන්නට තිබේ. එහි මුල්ම වෙඩිමුරය තිබ්බේ සුජීව සේනසිංහය. පිටකෝට්ටේ පිහිටි සිරිකොත ජාතික පක්ෂ මූලස්ථානයේදී පසුගියදා (21දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෛත්‍රි ඉලක්කකොටගෙන ප්‍රහාරයක් එල්ල කෙළේය.
‘මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කලකිරීමක. අපි එතුමන්ව පත්කෙළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා
රාජපක්ෂලාත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිව්වා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා.

මිග් ගනුදෙනුවට කෝ ජනාධිපති කොමිසමක්? කෝ නැව් ගනුදෙනුවලට ජනාධිපති කොමිසම්? කෝ ඇඩ්වර්ටයිසින් කොම්පැනිවලට කෝ ජනාධිපති කොමිසම්.
ජනාධිපතිතුමාට මම කියනවා එතුමගේ දරුවො වයසේ තමයි අපිත්. එතුමා දරුවෝ ආරක්ෂා කරනවා නම් අපිට ගහන එකත් හොඳ නැහැ යම් මාධ්‍යයක්.’
මේ ප්‍රහාරය ඉන් ඔබ්බට ගියේ මැතිවරණය කල් යෑම ගැන එජාප පසුපෙළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ අදහස් දැක්වීමකිනි.

‘පළාත් පාලන ඡන්දය කල් දමන බාලගිරියා’ කවුදැයි සාමූහික වගකීමක් හැටියට මෙතෙක් කාලයක් හැංගුවා. වැහුවා. ආණ්ඩුවක් හැටියට මේක එළියේ කතා කළේ නැහැ. මෙතැනින් පස්සේ මේ බාලගිරියා කවුදැයි හෙළිකරන්න සාමූහික වගකීම කඩලා එළියට එනවා’ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන කීවේය.

‘ශ්‍රී ලනිපය තනිව තරග කළොත් තුන්වැනි හෝ හතරවැනි, පස්වැනි ස්ථාන ලැබෙන බව පැහැදිලිව දන්නවා. එජාපය බලය ගන්න සූදානමින් ඉන්න බවත් ඔවුන් දන්නවා. බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා සමඟ රෑට රෑට ඩීල් දාලා මැතිවරණයට යනතුරු ඉන්නවා. එය නම් ඔවුන්ගේ සිහිනය ඒ සිහිනය ඔවුන්ට සැබෑ කරගන්න දීලා මේ මැතිවරණය තියන්නැයි එජාපය ඉල්ලනවා. ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම කරන්නෙ. මැතිවරණ තියන්න. ඔයගොල්ලො එකතු වෙනකල් අපට බලා ඉන්න බැහැ. පොහොට්ටුවට මූට්ටු වෙනතුරු අපට බලා ඉන්න බැහැ. තරග වැදිලා බලන්න ගමේ බලය ගන්නෙ කවුද කියලා.

බැඳුම්කර කොමිසම මේ ආණ්ඩුව ‘සසල’ කරවන්නට සමත් වූ ප්‍රමුඛතම සිදුවීමය. වඩාත් කතාබහට ලක්වූ සිදුවීම වූයේ අගමැතිවරයා සාක්ෂි දීමට කොමිසමට යෑමය. කොමිසමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසම ඇසූ සියලු ප්‍රශ්නවලට ඍජු පිළිතුරු ලබා දුන්නේය. කෙසේ වෙතත් අගමැතිවරයා කොමිසමට යෑම ගැන හොඳ සහ නරක ප්‍රතිචාර බොහෝ විය.

ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේ,
“අගමැතිතුමා ස්වේච්ඡාවෙන් කොමිසමට යන්නේ. එතුමාට හෝ එජාපයට හංගන්න දෙයක් නෑ” කියාය. කොහොම වෙතත් කොමිසමට යන්නට අගමැතිවරයා තීරණය කොට තිබුණේ මීට පෙර බැඳුම්කර කොමිසම තුළ අගමැතිවරයා ගැන සඳහන් වීමත් සමඟය. ඒ මත ඔවුන් එවා තිබූ කරුණු 16කට ඔහු මීට පෙර ලිඛිත පිළිතුරු යවා තිබුණු අතර අනතුරුව කොමිසම අගමැතිවරයාට දැනුම් දුන්නේ එකී පැහැදිලි කිරීම්වලට අදාළව තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය බවය.
“ඔව්, මට අවශ්‍යත් එයයි. දෙවැනි වරටත් ලිඛිත කරුණු දැක්වීම වැඩක් නැහැ. මම ගිහිල්ලම පැහැදිලි කිරීම් කරනවා. එතකොට එයාලට හරස් ප්‍රශ්න අහන්නත් ලැබෙනවනේ” අගමැතිවරයා හිතවතුන්ට කියා තිබිණි. කෙසේ වෙතත් එජාප සාකච්ඡාවකදී අගමැතිවරයා තම ස්ථාවරය පක්ෂ ප්‍රබලයන්ට කී විට ඔවුන් ඊට එරෙහි විය.
“ඔබතුමා යන්න එපා. පසුව එන බව දන්වන්න” උපදේශකයන් හා ජේ‍යෂ්ඨ ඇමැතිවරු රනිල්ට කීහ.

“අනික කොමිසමට එන්න කියලා තියෙන්නේ ඉන්දියානු නිල සංචාරයට කලින් දිනයේයි. එදාම අය – වැය ඡන්දයත් තියෙනවා. ඒ නිසා ඔබතුමා යන්න එපා.” ඇමැතිවරු කීහ.
ඔවුන්ගේ අදහස් අසා සිටි අගමැතිවරයා කීවේ “නෑ එයාලා එන්න කියපු දිනේට මම යනවා” යයි කියාය.
අගමැති එහෙම තීන්දු කළාට පසු කිරිඇල්ල සහ ගයන්ත ඇතුළු ඇමැතිවරු පිරිසක් මෙහෙයුමක් දියත් කළහ. ඒ එජාප මැති ඇමැතිවරුන් සියලු දෙනා එදින කොමිසම පරිශ්‍රයට කැඳවා ගැනීමේ මෙහෙයුමටය. නමුත් රනිල්ට සැණෙකින් එය සැලවිය.
“එහෙම කරන්න එපා. ඉස්සර වගේ සෙනඟ නම් ගෙන්නන්න එපා. අනික අය – වැය විවාදය තියෙනවා. ඒකට මැති ඇමැතිවරුන්ට යන්න කියන්න” රනිල් කීවේය. එහෙත් කිරිඇල්ලයි ගයන්තයි කීවේ වෙනත් කතාවකි.

“නෑ සර්. කැමැති අයට එන්න කියමු. සෙනඟ ගේන්නේ නෑ.”
සඳුදා උදේ අගමැතිවරයා අරලියගහ මැඳුරට ගොස් අනතුරුව බැඳුම්කර කොමිසම වෙත ගියේය. කොමිසම් පරිශ්‍රය දෙස්-විදෙස් මාධ්‍යවේදීන්ගෙන් පිරී තිබිණි. උදේ 9.50ට අගමැතිවරයා කොමිසමට ගිය අතර කටයුතු ඇරැඹුණේ 10.10ටය.
එහිදී කොමිසමේ සභාපති කේ. ටී. චිත්‍රසිරි මූලික ප්‍රකාශයක් සිදු කළේය.
“අගමැතිතුමාට කොමිසමට එන ලෙස අපි බල කළේ නෑ. කළ ඉල්ලීමට සහාය පළ කිරීම ගැන ස්තූතියි.”
එතැන් සිට රනිල් පැයක් පමණ අදාළ ප්‍රශ්න කිරීම්වලට ඍජු උත්තර දුන්නේය.
පෙ.ව. 11.15ට ඔහු පිටතට පැමිණ මාධ්‍ය ඇමැතීය.
“යහපාලනය ඉදිරියටම ගෙනියනවා. මම විතරක් නෙවෙයි කොමිසම තවත් ඇමැතිවරුත් ප්‍රශ්න කළා. අඩුපාඩු වෙන්න පුළුවන්. ඒත් අපි හරි පාරේ යනවා” රනිල් කීය.
අනතුරුව ඔහු කෙළින්ම පාර්ලිමේන්තුවට ගිය අතර පාර්ලිමේන්තු කටයුතු නිසා කොමිසමට පැමිණීමට නොහැකි වූ ලක්ෂ්මන්් කිරිඇල්ල ඇතුළු එජාප පිරිසක් කාර්යාලයේ රැඳී සිටිමින් අගමැතිවරයා උණුසුම්ව පිළිගත්හ.

“අපි පාර්ලිමේන්තු සභා ගැබටත් යමු” කිරිඇල්ලගේ යෝජනාවට එකඟ වූ අගමැති එහි ගිය විට නිමල් සිරිපාල ඇතුළු ශ්‍රී ලනිප මැති ඇමැතිවරු කොමිසමට යෑම අගය කරමින් කතාබහ කළහ.

පසුදා උදයේම අගමැතිවරයා ඉන්දියානු නිල සංචාරයකට පිටත් විය.
කෙසේ වෙතත්, කිරිඇල්ල හදිසියේම නවදිල්ලියේ සිට රනිල්ට කතා කළේය.
“පළාත් පාලන ඡන්ද ගැසට් එකට විරුද්ධව උසාවිය අතුරු තහනමක් දීලා” ඔහු කීය.

“ඡන්ද කල් දානවට එජාපය එකඟ නෑ. ඒ ගැන කියල වහාම නිවේදන නිකුත් කරන්න. ප්‍රවෘත්ති සාකච්ඡා සූදානම් කරල රට දැනුවත් කරන්න. මම ආවාම ඊළඟ පියවර ගැන කතා කරමු.” අගමැතිවරයා කීවේ
කනස්සල්ලෙන්ය.


වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙපොළක් වන සුසිල් ප්‍රේමජයන්ත හා ජෝන් සෙනවිරත්න යන මහත්වරු පසුගිය බදාදා උදෑසනින්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගියෝය. සිය නිවසට පැමිණි දේශපාලන සගයන් දෙදෙනා සමඟ ඇතුළු කාමරයකට වැදී දොර වසාගත් මහින්ද පැය 1 ½ක පමණ බරපතළ දේශපාලන සාකච්ඡාවක නිරත විය. මේ අය මහින්දලා, මෛත්‍රීලා සමඟ සමගි කිරීම ගැන කතාකළ බව පමණක් ආරංචිය. එහෙත් ඊට වඩා තීරණාත්මක තීන්දු ගණනාවකට මෙම පිරිස එළඹ ඇතැයි ද තිරය පිටුපස ආරංචි මාර්ග කියයි.
පළාත් පාලන මැතිවරණය අධිකරණ ක්‍රියාමාර්ග මගින් නැවත නැවතත් කල්දැමීමට තැත්කරන බැවින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාස භංග යෝජනා ගෙන ඒමට ජ.වි.පෙ. සහ ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය. මේ ගැන අදහස් දැක්වූ ජ.වි.පෙ. නායක අනුර දිසානායක කීවේ ඡන්දය දිනාගන්නට ඕනෑම දේශපාලන බලවේගයක් හා එක්ව සටන් කරන බවයි. ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසුවේ අමාත්‍ය මුස්තාපාට සීමානිර්ණයේ වැරදී ඇත්නම් එය මාස 9කට පසු පෙනීම පුදුම සහගත බවයි. මෙය ආණ්ඩුවේ ලොක්කන් ඡන්දයට බියෙන් ඡන්දය කල්දමන්නට කළ උප්පරවැට්ටියක් නිසා අමාත්‍ය මුස්තාපාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව ජ.වි.පෙ. කීය.

එම යෝජනාව ඔවුන් සිකුරාදා භාර දීමට සැලැසුම් කරද්දී ඉස්සර වූ ඒකාබද්ධ විපක්ෂය ගිය බ්‍රහස්පතින්දා කතානායකවරයාට තම පක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් භාර දුන්නේය. මේ විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත්කොට විවාදයට දින නියම කිරීම කතානායකවරයාගේ වගකීමකි. එහෙත් ජ.වි.පෙ. ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව එ.ජා.ප.යද, ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයන් ද ඡන්දය කල්දැමීමට එකඟ නොවන බව ප්‍රකාශ කර ඇති බැවින් මෙම විශ්වාසභංග විශාල අර්බුදයක් බවට පත්වීම වැළැක්විය නොහැක. මෙහිදී ප්‍රධාන පක්ෂවල ඡන්ද බෙදීයාහැකි බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතයයි.

ශ්‍රී.ල.නි.ප.යේ මධ්‍යමකාරක සභාව පසුගිය බදාදා රැස්විය. එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වූයේ ඉදිරි පළාත් පාලන ඡන්දය ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී.ල.නි.ප.ය හා එක්ව තරග කිරීම ගැනයි. හිටපු අගමැති දිමු ජයරත්න මහතා පක්ෂය ගැන ඉතා හැඟීම් බර ලෙස කඳුළු සලමින් කීවේ පක්ෂය සමගි වන්නැයි කියායි. පක්ෂය කැඩීගිය සෑම මොහොතකම පරාජය වූ බවද දි:මු: පෙන්වා දුන්නේය.

ඒ සමගි කතාව යද්දි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා ද සභාවට පැමිණියාය. ඇය පැමිණ අසුන් ගන්නවාත් සමඟ නිමල් සිරිපාල අමාත්‍යවරයා කතා කරන්නට විය. “එ.ජා.ප.යේ පසු පෙළ දැන් ජනාධිපතිතුමාට ගහන්න පටන් අරන්. එයාල තනි ආණ්ඩුවක් හදනවය කියලත් කියනව. ඊයේ සුජීව නියෝජ්‍ය ඇමැතිත් ප්‍රසිද්ධියේ දොස් කීව. ඒත් ඔය කතා රටේ මාර්කට් කරන්න බැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි වෙලා සටන් කරන්න ඕනෑ. යයි නිමල් සිරිපාල අමාත්‍යවරයා කියද්දි චන්ද්‍රිකා මැතිනියට තදින් කේන්ති ගියේය. “ඔයාලා කියනවනෙ යූ.ඇන්.පී.ය බණිනවය කියල. ඒත් පොහොට්ටුකාරයෝ ගහන ගැහිල්ල පේන්නේ නැහැ. චන්ද්‍රිකා කීවාය. ඊට පිළිතුරු දුන් නිමල් “මැඩම් අපි පොදු සතුරා හඳුනාගන්න ඕන. ශ්‍රී.ල.නි.ප.යේ පොදු සතුරා එ.ජා.ප.යයි. පොදු සතුරා අපට ගහන එකයි අපේ මිනිස්සු කියන එකයි දෙකක්. අනික අපේ අය එහෙමම ගහන්නෙ නැහැ. නිමල් කීය. “ඒ කියන්නේ ඔය හොරැත් එක්ක අපිට යන්න කියලද? චන්ද්‍රිකා කෝපයෙන් ඇසීය. “ආ හොරුද එහේට වඩා හොඳ හොරු දැන් මෙහේ ඉන්නව… හොරු ගැන කියන්න ගියොත් ඒක ලොකු කතාවක්… කියමින් නිමල් සිරිපාල අමාත්‍යවරයා චන්ද්‍රිකා මැතිනියගේ සැර කතාවලට දැඩි පිළිතුරු දෙද්දී ඇය පිටවගියේ කෝපයෙනි.

අනතුරුව ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා ආදින්ද කීවේ සමගිව තරග කළ යුතු බවයි. මාධ්‍යවල ව්‍යාජ වාර්තා පළකොට පක්ෂය සමගිය කඩන්න හදන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා පෙන්වා දුන් අතර පක්ෂය සමගි නූනොත් ජයග්‍රහණය දුරස් වනබව නිමල් සිරිපාල, සුසිල් ප්‍රේම ජයන්ත, ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා ඇතුළු බොහෝ දෙනෙක් පැවසූහ.