මේ දවස්‌වල හරි අහිංසකයිනේ?

ම්… ඔව්. සඳ පිනි වැස්‌සේ තමයි. අම්මත් එක්‌ක චුට්‌ටක්‌ මුරණ්‌ඩු වුණත් ඇය අහිංසකයි.

එතකොට සඳ පිනි වැස්‌ස එක්‌කද දිගටම වැඩ?

ඔව්.. ඒ එක්‌කම වර්ණ සහ සුපර් හීරෝ රියෑලිටි එකත් එක්‌ක තමයි වැඩ.

චිත්‍රපටවලට සම්බන්ධ වෙන්නේ නැත්තේ ඇයි?

තාම මට ආරාධනා ලැබිලා නැහැ.

එහෙම ආරාධනාවක්‌ ලැබෙයි කියලා හිතනවද?

ලැබුණොත් සතුටින් භාරගන්නවා.

ජනප්‍රිය නිළිය සම්මානය ෂෙහානිගෙන් දුරස්‌වෙලා නේද?

එහෙම නෑ ඉතිං. එහෙම දෙයක්‌ මං බලාපොරොත්තු වුණෙත් නැහැ. ඒක ගැන මං හිතන්නෙත් නෑ. මට හම්බෙන දේ මං හොඳට කරනවා. ඒ සම්මානය ගන්නම ඕන කියලා එකක්‌ මට නැහැ. ඕනෙම කෙනෙක්‌ වගේ ආසයි. නමුත් ඒ පස්‌සේ දුවන්නේ නැහැ.

දැන් ෂෙහානිට වැඩිය ලස්‌සන නිළියන් ක්‌ෂේත්‍රයේ ඉන්න එකත් ඒකට හේතුවක්‌ නේද?

ඒක වෙන්න බෑනේ. ජනප්‍රියම නිළිය ලස්‌සනින් තේරෙන්නේ නෑනේ. ජනප්‍රියත්වය කියන්නේ ජනතා ප්‍රසාදයට ලක්‌වීම නේ. ලස්‌සන නෙමෙයි දක්‌ෂතාව නිසයි හම්බෙන්නේ.

කැපිලි කෙටිලි නැද්ද?

අනේ මට තාමනං නැහැ. කොහොමත් සමහර අය ඉන්නවා හදන්න බැහැ. ඔය කට කතා හදනවා එහෙම. ඒකත් ඉතිං මං ගැන නං ලොකුවට කට කතා නැහැ. මොකද මගේ වැදගත්කම තියාගෙන මං වැදගත් විදිහට ඉන්න නිසා. එහෙම ඉන්නකොටත් බලං ඉන්න බැරි මිනිස්‌සු ඉන්නවා. ඉතිං එහෙම ඉන්නකොටත් යන කතා ගැන මං එච්චර හිතන්නේ නැහැ.

රියෑලිටි ෂෝ එකකට සම්බන්ධ වෙන්න හිතුවේ ටෙලි නාට්‍ය වලට කතා කරන්නෙ නැති නිසාද?

එහෙම නැහැ. රියලිටි ෂෝ එකට සම්බන්ධ වුණේ මට කලින් ඒ අත්දැකීම නැති හින්දා. ඒ වගේම ඒ නාලිකාවත් එක්‌ක මං කලින් එච්චර වැඩ කරලා නැහැ. ඒ නිසා මට ඒ නාලිකාවෙත් වැඩ කරන්න ආස හිතුණා. මගේ ජීවිතේ මට ලොකු අත්දැකීමක්‌ රියෑලිටි වැඩසටහනක නිවේදන කටයුතු කළා කියන එක. දක්‌ෂ ළමයි පිරිසක්‌ එක්‌ක වැඩ කරන්න තියෙන්නේ, ක්‌ෂේත්‍රයේ දැවැන්තයන් අපි ඉදිරියේ ඉන්නේ, ඉතිං ඒ නිසා මං ඒක සතුටින් භාරගත්තා.

හිතනවද රඟපානවා වගේ නිවේදන කටයුතුත් කරන්න පුළුවන් කියලා?

රංගනයට වගේම දක්‌ෂ නැහැ. හැම කෙනෙක්‌ම ඉතිං සීයට සීයක්‌ පර්ෙෆක්‌ට්‌ නැහැනේ. මං හිතනවා ඉතිං යම් තාක්‌ දුරකට මට පුළුවන් කියලා.

ඔබ ගායනයට නැඹුරු වුණා නේද?

නැහැ

නමුත් මීට පෙර ඔබ මීවිතටම සඳහන් කළා ගීතයක්‌ එළිදක්‌වන්න සූදානමක්‌ තියෙනවා කියලා?

එහෙම අදහසක්‌ තිබුණා. ඒත් ඉතිං තාම කරගන්න බැරි වුණා. මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් කරන්නයි හිතං හිටියේ. කොහේ කරනවද…. මෙහෙමයි කාලය ගත වෙනවා ඒකටත්. අනික මට හිතෙනවා තාම ඒකට වෙලාව නෙමෙයි කියලා.

විදෙස්‌ සංචාරවලට නොයන්නේ ඇයි?

මං එහෙම යන්නේ නැහැ. මොකද ඒක ටිකක්‌ සැලකිලිමත් වෙන්න ඕන කාරණයක්‌. ආරාධනා ලැබිලා තියෙනවා. මං ඒවා ප්‍රතික්‌ෂේප කළාම නෙමෙයි. යම් යම් හේතු නිසා ඒවා මග හැරුණා.

සැලකිලිමත් වෙන්න ඕන කිව්වේ?

මං ටිකක්‌ ඉතින් හිතනවා ඒක ගැන. හුඟක්‌ වෙලාවට තනියමනෙ යන්න වෙන්නේ. මං බයයි එච්චර දුර ගමනක්‌ තනියෙන් යන්න. අනික මං අලුත් නිසා ක්‌ෂේත්‍රයේ හුඟක්‌ අය තාම පෞද්ගලිකව මම දන්නේ නැහැ. ඉතිං ඒ ගැන වැඩිපුර හිතනවා.

ෂූටින් යන්නේ කාත් එක්‌කද?

තනියම. මොකද හැමදාම හම්බවෙන මගේ සහෝදර සහෝදරියෝ ටික ඉන්නේ. ඉතිං කිසිම බයක්‌ නැහැ. හැබැයි පිට දේවල් වෙළෙඳ දැන්වීම්, ෆොටෝ ෂූට්‌ හරි දුරක ෂූට්‌ එකකට යනවා නම් අම්මත් එක්‌ක නැත්නම් මාව බලාගන්න කෙනෙක්‌ ඉන්නවා එයත් එක්‌ක තමයි යන්නේ.

නිළියක්‌ විදිහට රඟපෑම කරගෙන ඉන්නේ නැතුව ඇයි හැමදේම කරන්න යන්නේ?

එක පැත්තකින් ඒක දක්‌ෂකම. මම නං යන්නේ මගේ ආසාවට. අනික මට දක්‌ෂකමක්‌ තියෙනවා නං ඇයි මං ඒක හංගගෙන ඉන්නේ. මට රඟපාන්න පුළුවන් නිසානේ මං රංගනයට එන්නේ. ඉතිං නිවේදනයත් පුළුවන්. මට ගීත ගායනා කරන්නත් පුළුවන්. මට නර්තනයත් පුළුවන්. ඒ වගේම මට චිත්‍ර අඳින්නත් පුළුවන්. ඉතිං ඒක උපන් හැකියාව.

ප්‍රවීණයන්ගෙන් බැණුම් අහනවද?

සමහර වෙලාවට

කව්ද නපුරු? වැඩියම

කව්රුත් නැහැ. හැමෝම හොඳයි. එයාලා අපිට හැමදේම කියලා දෙනවා.

එකම විදිහේ චරිතවලින් තමයි ඔබව නිතර දකින්න ලැබෙන්නේ ?

එහෙම කෙනෙක්‌ කියනවා නං ඒ කෙනා මාව හරියට අඳුනගෙන නෑ. අනික වෙලා තියෙන්නේ එකක්‌ දැක්‌කම ලේසියට දිගටම එකම විදිහේ ඒවට ගන්නවා. දක්‌ෂතාව කිසිම කෙනෙක්‌ අඳුන ගන්නේ නැහැ, අපි දක්‌ෂතාව පෙන්න පෙන්න යන්න ඕන. ඒකයි වෙලා තියෙන්නේ.

ජනප්‍රිය අය පෙම්වතෙක්‌ නෑ කියන්නේ ජනප්‍රියත්වය අඩුවෙයි කියලා හිතලා නේද?

එහෙම නෑ ඉතිං මට පෙම්වතෙක්‌ ඉන්නවා.

කවදද වෙඩින් එක?

මං තාම පුංචි වැඩියි විවාහ වෙන්න.

පුංචියි නං පෙම්වතෙක්‌ ඉන්නේ?

මට දැන් අවුරුදු 22ක්‌. ඉතිං වැඩිහිටියෙක්‌ නේ….. මං කිව්වේ විවාහ වෙන්න තව කල් තියෙනවා කියලා.

යුගන්ති යශෝදරා