අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේ තිබූ විශේෂ කැබිනට් හමුව නිමකොට අරලිය ගහ මැදුරට පැමිණියේ මාධ්‍යකරුවන් දෙදෙනෙකු හමුවීමට හා නිවාස අමාත්‍යංශයේ විශේෂ රැස්වීමකටය.

“ අද මගුල් ගෙවල් කීපයකුත් තියෙනවා.පාර්ලිමේන්තු යන්නත් අවශ්‍යයි. රැස්වීමුත් ගොඩයි. දවසකට පැය 48 ක්වත් තිබුණානම් හොදයි”අරලිය ගහ මැදුරට ඇතුලු වන ගමන් අගමැතිවරයා කීවේ එහි පැමිණ සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල හා සෙසු මැති ඇමතිවරු ඔහු පිළිගැනීමට පෙරට එද්දීය.

“ අද බ්‍රහස්පතින්දා විශේෂ කැබිනට් එක මොකක්ද ” රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක ඇසුවේය.“කෝ ඉතිං ඔබතුමා අපිව කැබිනට් එකට ගත්තේ නෑනේ” යැයි අගමැතිවරයාට විහිළුවක්ද කරමිනි.

“ හම්බන්තොට වරාය හෙට චීන සමාගමට පැවරෙනවා.ඒ ගැනයි කතා කලේ. නීතිය අනුව කැබිනට් එක අනුමත කරල දින කීපයකට පසුව යි ගැසට් එක ගහන්න ඕනෑ. ඒත් අද කැබිනට් එක සම්මත කල නිසා හෙට පාර්ලිමේන්තුවට දාල සම්මත කලාම හරි.පාර්ලිමේන්තුවට දාල සම්මත කරන එක ගැසට් ගහනවටත් වඩා විවෘත ක්‍රියාවක්” ලක්ෂමන් කිරිඇල්ල කීය.

“ හාල් මිල ඉහල යාම නවත්වන්න ඕන කෙනෙකුට තාවකාලිකව හාල් ගේන්න අවසර දීමත් වටිනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයකට පාලන මිලක් දැමීමත් හොදයි. එත් ජනතාවට ඒවා යනවාද කියල සොයා බැලීම වටිනවා.” දයා ගමගේ කීවේය.

“ වරායේ වැඩට නාමල්ල දාලා ස්ථිර නොකළ තරුණ පිරිස කුලප්පු කරන්න තාම ඒ අය දගලනවා. ඔවුන්ට ලොකු වන්දියක්, මාස 5 ½ ක පඩි හා අවශ්‍ය නම් නව සමාගමේ රැකියාවක්දීල තියෙද්දී ඔවුන් දේශපාලන ගේම් වලට කොටු වීම කණගාටුවක්” වජිර අබේවර්ධන කීය.

“2008 ඉදල 2014 දක්වා අතීත බැදුම්කර ගැන අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී රටට පැහැදිලි කිරීම වටිනවා. ඒ යුගයේදී සිදු වූ රු:බිලියන 5100ක මහා ධනස්කන්ධයක බැඳුම්කර වලින් 90% ක් පෞද්ගලික මිලදී ගැනීම් විදියට හිතවතුන්ට දීලා පිරමිඩ් සූදුවක් කරලා. කබ්‍රාල් හා පර්පෙචුවෙල් සමාගමේ අධ්‍යක්ෂක එයාගෙ නංගිත් මේවට උදවු කරපු බව අගමැතිතුමාගෙ කතාවෙන් තහවුරු වුණා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“අපේ කාලෙ බැඳුම්කර වගේම ඒ අතීතය ගැනත් ජනාධිපති කොමිසන් දාල හොයන්න ඕනෑ” රන්ජන් රාමනායක සුපුරුදු වීරයාගේ චරිතයට ආරෝපණය වෙමින් කීය.

“මේ බැඳුම්කර කොමිසන් වාර්තාව 08 දා එනවද” පී.හැරිසන් ඇසුවේ අගමැතිගෙනි.

“ඒ වාර්තාවෙ ප්‍රකාශ වගේ දේවල් මුලින් සහතික කළ යුතුයි. තාම මගේ ප්‍රශ්න කිරීම ගැන මගේ සහතික කිරීම් අරගෙනත් නෑ. ප්‍රින්ටින් මිස්ටේක් කියල බොරු දාන්න බෑ. ඒ නිසා වාර්තාව දින කීපයක් පරක්කු වේවි. ඒත් වාර්තාවෙ හරයට ඒකෙන් බලපෑමක් නෑ” අගමැතිවරයා පැහැදිලි කළේය .

“ලංකාවෙ දිගම හා හොඳම බස්නැවතුම්පොළ තිබුණෙ ගාල්ලෙයි. ඔබතුමා ඒ වාර්තාවට තට්ටු කළා නේද” වජිර අබේවර්ධන ඇසුවේ දයා ගමගේ ගෙනි.

“මම අම්පාරෙ වුණාට මගේත් මුල ගාල්ලේ. අම්පාර බස්නැවතුමට රු:දශලක්ෂ 280ක් වැය කළා. ඒක නවීනතම එකක්. ඕස්ට්‍රේලියාව උදවු කළා” දයා ගමගේ කීවේ උජාරුවෙනි.

“මහනුවර සුදුහුම්පොළදි අපිත් රු:දශලක්ෂ 230ක් වැය කරලා විශාල ගෘහස්ත ක්‍රීඩාංගණයක් හැදුවා. 2000කට තරග නරඹන්නත් පුළුවන්” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේද උජාරුවෙනි.

“හැමෝම තම තමන්ගෙ ප්‍රදේශ වලට කරපු සේවය ඡන්දයෙනුයි මනින්න වෙන්නෙ”යැයි කී අගමැතිවරයා ඉවත බලාගත්තේය.

ගෝඨා දිනයිද?

“2020 දි ජනපතිවරණයෙදි ගෝඨා දිනන බව රටට අගවන්න කොළඹ විශ්ව විද්‍යාලයේ නම විකුණලා කවුද මහාචාර්‍යවරියකුයි තව කීපදෙනෙකුයි බොරු සමීක්ෂණයක් කරලලු නේද” ගයන්ත කරුණාතිලක ඇසුවේ අගමැතිවරයාගෙනි.

“2020 දි ජනපතිවරණයක් පවත්වනවාද නැද්ද කියලවත් තාම කවුරුවත් දන්නේ නෑ. කඩේ යන එකත් ලැජ්ජ නොවී කරන්න ඕනෑ නේද” අගමැතිවරයා කීවේ සිනා මැදය.

“ඕන කෙනෙකුට ඡන්ද ඉල්ලන්න පුළුවන්. රාජපක්ෂලාගෙ නෑයෙකුත් ගෝටා දිනනවා කියල තිබුණා. අනික ගෝටා එනවට මහින්දලා බැසිල්ලා විශේෂයෙන් නාමල් කැමතිද කියල ගෝඨාභය හා ඒ ගෝලබාලයො මුලින්ම බලන්න ඕනෑ.” රන්ජන් රාමනායක කීවේ සිනාමැදය.

“පලාත් පාලන ඡන්දය ෂුවර් එකටම තියනවද කියල මිනිස්සු තාම අපෙන් අහනවා. සිරීපාදේ ගැන තවත් පෙත්සමක් ගිහින් නේද” ගයන්ත කරුණාතිලක විමසීය.

“කලින් වගේම සිරීපාදේ රත්නපුර දිස්ත්‍රික්කයට බව පයිසර් කිව්වා. ඒ නිසා ඒක ගැටලුවක් වෙන එකක් නෑ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ගෝඨා අත්අඩංගුවට ගැනීමේ අතුරු තහනම ආපහු කල් ගියා” රන්ජන් කීය.

“නීතිපති දෙපාර්තුමේන්තුව ඒකට විරුද්ධ වෙලා තියෙනවා. නීතිපතිගෙ උපදෙස් අනුව රටේ නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ආණ්ඩුවේ ස්ථාවරයයි” අගමැතිවරයා කීවේ නළල රැලි ගන්වමිනි.

“මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචන්ඩත්වයට එරෙහිව සමුළුවේදී අගමැතිතුමාගෙ සැර කතාව මුළු රටම අගය කරනවා” ගයන්ත කරුණාතිලක කීය.

“මරපු මාධ්‍යවේදින් ගැන, ගිනි තියපු ආයතන ගැන බොහෝ මාධ්‍ය ප්‍රධානීන්ට හා කර්තෘලට හැඟීමක් නැහැ. මාධ්‍යකරුවන් මැරුවත් කමක් නෑ රාජපක්ෂලා එක්ක ආපහු බිස්නස් කරල හම්බ කරන්න වෙන්නැති එයාලට ඕනෑ. ආණ්ඩුවට ගහලා රාජපක්ෂලා ගේන්න මේ අය දඟලන්නෙ ඒකයි” අගමැතිවරයා කීය.

“මංගල ඇමතිතුමාත් ඊට දින දෙකකට පස්සෙ හොරුන්ට කඩේ යන මාධ්‍ය වලට හොඳට දුන්නා” වජිර අබේවර්ධන කීය.

“ආණ්ඩුවට ගැහුවත් බොහෝ මාධ්‍ය මගේ ඒ කතාවට මුල්තැන දුන්නා. ඒත් සමබර යයි කියන පත්තරයක් ඒකතාව හංගල තිබුණා” අගමැතිවරයා කීවේ නළල රැළි ගන්වමිනි.

“ රාජපක්ෂල එක්ක ඒ  අය එහෙනම් බිස්නස් කරනවද දන්නේ නෑ.” රන්ජන් රාමනායක කීවේ සිනා මැදය.

“ පුහුල් හොරා කරෙන් දැනේ ” අගමැති කීය.

“ කඩේ යන හාමුදුරුවන් හා කඩේ යන මාධ්‍ය ප්‍රධානීන්ට බොහෝ හිමිවරු හා මාධ්‍යකරුවන් කැමති නෑ. සමබර අය එකතු කරලා සංඝ හා මාධ්‍ය සංගායනාවල් පවත්වන්න ඕනෑ.”රන්ජන් යලිත් කීවේ කාගේත් සිනා මැදය.එම අදහස අගමැතිවරයාද අනුමත කිරීම විශේෂත්වයක් විය.

“මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් හා කර්තෘලගෙ තනි මතයට මාධ්‍ය අද ක්‍රියා කරන්නේ.අපි දීපු මාධ්‍ය නිදහස භුක්ති විදීමට හා කාගේත් සමබර අදහස් මත මාධ්‍ය ක්‍රියා කිරීම අවශ්‍ය බව ඒ ක්ෂේත්‍රයේ95% ක් අද කියනවා” අගමැති කීය.

ඒ අතරේ නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගෙන් අගමැතිවරයාට ඇමතුමක් ලැබිණ.

“නැගෙනහිර පළාතේ උපාධිධාරීන් 1500කට ගුරු පත්වීම් දීපු උත්සව වලට ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට එන්න බැරි වුණත් මම විශාල උත්සව 02ක් තියල ඡන්දයට කලින් ඒ වැඩේ හොදට කලා.මම ජනාධිපතිතුමාටත් කතා කලා” බෝගොල්ලාගම කීවේය. පලාත් සභාව විසුරුවා තිබියදීත් නැගෙනහිර කටයුතුද ඉතා හොදින් ඉදිරියට යාම ගැන අගමැතිවරයා බෝගොල්ලාගමට ස්තූති කලේය.

“ ඒකාබද්දෙ බදුලු රැළියට හොදට සෙනග ඇදල තිබුණා. ඒත් දිනේෂ් වීරවංශ ගම්මන්පිල ගියේ නෑ.ඒකාබද්දේ දෙදරල දැන් කෑලි ගැලවෙනවා.අගමැතිතුමා ගේම සෙට් කලා කියලයි මිනිස්සු කියන්නේ.” වජිර අබේවර්ධන කීවේ සිනාමැදය.

“ මිනිස්සු එහෙම හිතනව නම් මම මොකක් කරන්නද ? රටට වැඩ කරල ජනතාවට සහන දෙන්න හා මේ මහා ණය කන්ද ඉවර කරන්නයි මම දගලන්නේ.රාජපක්ෂල වගේ පක්ෂ කඩන්න දිවා රෑ මම වෙහෙසෙන්නේ නෑ.” අගමැතිවරයා කීය.

“එජාපෙන් නාම යෝජනා ගන්න 24,000ක් ඉල්ලුම් පත් එවලා. ඒක අපේක්ෂකයෝ වගේ තුන් ගුණයක්.” දයා ගමගේ කීය.

“ කලාකරුවොයි කලාකාරියොයි කට්ටියක් මහින්දට කඩේ යන ගමන් ඒ කාලේ හමුදාවෙන් ලොකු පඩි වාහන හා විශාල වරප්‍රසාද ගැනීම පුදුමයක්.” පී හැරිසන් කීවේ රන්ජන් දෙස බලාය.

“ වරදක් කරල තියෙනව නම් එයා කවුරු වුණත් මම විරුද්ධයි. ඒක මගේ ප්‍රතිපත්තියනේ” රන්ජන් රාමනායක කීවේය.

“ පළාත් පාලන වගේ ඡන්ද වලට මිනිස්සු දගලන්නේ නෑ. පවතින ආණ්ඩුව දිනවල ගමේ වැඩ ටික කරගන්නවා.බදුල්ලට බස් දාල ඒකාබද්දෙට සෙනග ගේන්න වුනේ ඒකයි. තීරණාත්මක ඡන්දයකදීයි මිනිස්සු තමන් හිතල බහින්නේ. ඒ නිසා මේ ඡන්දයෙදී ගෙන් ගෙට යාම එජාපෙ කළ යුතු එකම ක්‍රමවේදයයි” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැතිවරයාද එක හෙළා අනුමත කළේය.