මේ සතියේත් කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය.ඇමැතිවරු අය වැය විවාදයට සහභාගී වන නිසා මේ සතියේත් කැබිනට් රැස්වීම පැවැත්වුනේ පාර්ලිමේන්තුවේය. ඒ නිසා දින දෙකක්ම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුව තිබුණි.

ජනාධිපතිවරයා ලංකාවේ නොසිටි නිසා පසුගිය සතියේ කැබිනට් රැුස්වීම පැවැත්වීමට නොහැකිවිය. සති දෙකකින් කැබිනට් රැුස්වීමක් පැවති නිසා කැබිනට් පත‍්‍රිකා අසූවක් පමණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වී තිබුණි. ඒ නිසා ඇමැතිවරු තමන්ගේ කැබිනට් පත‍්‍රිකා අනුමත කරගැනීමට වැඩි උනන්දුවක් දැක්විය.

මේ අතර බඩු මිල සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමවිය. ඒ අතරම පොල් ආනයනය කිරීම සදහා කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත්වී තිබුණි. පොල් මිල පාලනය සදහා පොල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවට වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක යෝජනා කර තිබූ අතර එයට අදාල කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ අගමැති රනිල් වික‍්‍රමසිංහය.

‘‘පොල් ආනයනය කිරීම කිසියම් සීමාවක් ඇතිව  කළ යුතුයි’’ රනිල් කැබිනට් පත‍්‍රිකාව ඉදිිරිපත් කරමින් පැවසුවේය.

එම කැබිනට් පත‍්‍රිකාවට අදාලව පොල් ආනයනය කිරීම් පිළිබද වගකීම පැවරුනේ නවීන් දිසානායක ඇමැතිවරයාටය. ඒ අනුව පළිබෝද නොඑන ආකාරයට හා දේශිය පොල් වගාකරුවන්ට බලපෑමක් එල්ල නොවන ආකාරයට ආනයනය කිරීමට අදාල කටයුතු කිරීම නවීන්ට පැවරුනේය

නවීන් විපක්ෂයේ වාඩි වුනේ ඇයි?

නවීන් දිසානායක ඇමැතිවරයා පසුගිය සතියේදී පාර්ලිම්න්තුවට පැමිණියේ ඔහුගේ අමාත්‍යාංශය විසින් වාර්ශිකව සංවිධානය කරන රාත‍්‍රී භෝජන සංග‍්‍රහය සදහා වන ආරාධනා පත‍්‍ර මිටියක්ද රැුගෙනය. ආණ්ඩුවේ  පසුපෙළ මන්ත‍්‍රීවරුන්ට,අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරීන්ට හා මාධ්‍යවේදීන්ට මෙම ආරාධනා ලබාදීමට නියමිතිව තිබුණි.

පාර්ලිමේන්තුවට ගිය නවීන්ගේ අතේ පසු පෙළ මන්ත‍්‍රීවරුන්ට ලබාදීමට නියමිතව තිබූ ආරාධනා පත‍්‍ර කිහිපයක් විය. පාර්ලිමේන්තුවේ තමන්ගේ අසුනේ සිටි නවීන් ටික වේලාවකින් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට සභා ගර්භයට පිවිසීමට ඇති දොරටුවෙන් පිටත්ව ගියේය. නැවත ඔහු මතුවූයේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට සභා ගර්භයට පිවිසීමට ඇති දොරටුවෙනි. ඔහු විපක්ෂයේ දොරටුවෙන් එන විට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ ආසන අතරින් එක් ආසනයක් හිස්වී තිබුණි. නවීන් එම අසුනේ අසුන් ගත්තේය.

‘‘කොහාමද වැඩ කටුයතු’’නවීන් මන්ත‍්‍රීවරුන්ගෙන් ඇසුවේය.

‘‘හොදින් කරගෙන යනවා සර්’’ මන්ත‍්‍රීවරුත් උත්තර දුන්හ.

ටික වේලාවක් මන්ත‍්‍රීවරු සමග කතා කරමින් සිටි නවීන් ඔවුන්ට රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට ආරාධනා කළේය.

නවීන් විපක්ෂය පැත්තේ අසුනක අසුන්ගැනීම ගැන පසුව ඇමැම් අය කතා කරන්න විය.

‘‘මම මීට කලිනුත් විපක්ෂය පැත්තේ වාඩිවෙලා තියෙනවා. එහෙම එහා පැත්තේ වාඩිවෙන්න බැහැ කියලා දෙයක් නෑ. පාර්ලිමේන්තුව රැුස්වෙන වෙලාවට සභා ගර්භය මැදින් විපක්ෂය පැත්තට යන්න තමයි බැරි’’නවීන් කීවේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් ගැන සිහිපත් කරමින්ය