බිබිලේ පාඩම

ජේ ආර්ගේත් ප්‍රේමදාසගේත් ආණ්ඩුව මෙරට ඉතිහාසයේ ශක්තිමත්ම ආණ්ඩුව බව රහසක් නොවේ ය.

‘ඇයි මහින්දගේ ආණ්ඩුව ශක්තිමත් නැද්ද?‘

කෙනෙක් එහෙම අහන්න බැරිකමක් නැත.එකසිය හැටක් ඉක්මවපු බහුතර බලයක් තිබ්බ මහින්දගේ ආණ්ඩුව ගැන එහෙම හිතෙනවාට පුදුම නැත.හැබැයි,මහින්ද ඒ හයිය හදාගත්තේ බුරුතු පිටින් වෙන පක්ෂ වලින් මන්ත්‍රීවරු ගලවාගෙනය.එහෙම බැලුවම මහින්දගේ ආණ්ඩුව කෘතිමව ශක්තිමත් වූ එකක්ය.එහි ආනුභාව ශක්තිය තිබුණේ ‘මහින්ද‘සාධකය වටාය.එහෙම බැලුවම ජේ ආර් හෝ ප්‍රේමදාස ආණ්ඩු කළේ එජාපය ශක්තිමත්ව බිහිවූ නියෝජනයක් එක්කය.

එහෙම බැලුවම ශ්‍රී ලනිපය කියන්නේ බෙදුනොත් ‘නැත්තටම‘නැති වෙන පක්ෂයක්ය.

“ඔයිට වඩා මේ පක්ෂය බෙදිලා තියෙනවා,ඉතිහාසයේ අපේ නායකයට වෙඩි තියලා මරලා තියෙනවා,නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තියෙනවා,ඒත් අපි නැගිටලා තියෙනවා‘

සංවේදී ශ්‍රීලංකාකාරයෝ එහෙම කියති.හැබැයි,ඔය කියන අලකලංචි කොයි පක්ෂයටත් වෙලා තිබේ.

එජාපයේ එහෙම අකාලයේ අහිමි වූ නායකයින් ශ්‍රීලනිපයට වඩා වැඩිය. ප්‍රේමදාස ඝාතනය කළේය.ලලිත් ඝාතනය කළේය.ගාමිණී ඝාතනය කළේය.ප්‍රේමචන්ද්‍ර ඝාතනය කළේය.ජානක පෙරේරා ඝාතනය කළේය.රන්ජන් විජේරත්න ඝාතනය කළේය.එහෙම බැලුවම එජාපයේ ලිස්ට් එක දිගය.ඒ නිසා පක්ෂයට පැමිණ තිබෙන තර්ජන බැලුවම ශ්‍රීලනිපයට වඩා එජාපයට තර්ජන වැඩිය.

කතාව ඒක නොවේ.දැන් තිබෙන දේශපාලන අලකලංචිය ය.

‘එකතු වෙයිද?‘

කෙනෙක් අසයි

‘එකතු වුනොත් හොඳයි‘

තව කෙනෙක් කියයි.

‘අපේ පක්ෂය දාලා ගිහින් ආණ්ඩුව පෙරලපු මිනිහා එක්ක එකතු වෙන්න හිතන්නවත් පුලුවන්ද?.‘

තවත් කෙනෙක් අසයි.

එහෙම අයට හරි අපූරු උත්තරයක් සමාජ ජාලයක පලවී තිබුණේය.එය ලියා තිබුණේ 2006 ත් 2011 ත් මොණරාගල, බිබිල ප්‍රාදේශීය සභා ශ්‍රීලනිප ට දිනා දුන් මන්ත්‍රීවරුන් තිදෙනෙක් ය. උපුටනයක්ව එය පල කරන්නේ ‘වෙන්වීමේ රඟ‘ඒ මන්ත්‍රීවරු දෙදෙනා මනා විවරණයක්ව සටහන් කොට තිබූ නිසාය.

“ශ්‍රීලනිප ය එක්ව තරඟ කළ යුත්තේ ඇයි?

බිබිලේ සහ මොණරාගල ශ්‍රීලනිප මන්ත්‍රීවරු පක්ෂ මධ්‍යම කාරක සභාවට ලියති

මොණරාගල හා බිබිල ප්‍රාදේශීය සභාවට තරග වදින්නට බලන් ඉන්න කැපුවත් නිල් පාක්ෂිකයින්ගේ අදෝනාව සරළ සුද්ධ සිංහලෙන් මෙසේ ලියා පක්ෂයට මෙසේ තේරුම් කර දෙමු.

හයවන ජනාධිපතිතුමනි, පස්වන ජනාධිපතිතුමනි, අපි ඔබ දෙදෙනාට ජීවිත කාලය පුරා ඇති තරම් කඩේ ගොස් ඇත. හුරේ දමා ඇත. ඔබලා වෙනුවෙන් ගුටි කා, බැනුම් අසා ඇත. ඔබලා දෙන්නා මේ මැතිවරණයට ඉල්ලන්නේ නැත.

2015 දී විජිතමුණි සොයිසා අපේ මන්ත්‍රීතුමා මහින්ද ජනාධිපතිතුමාට උදව් කළේය. ශශින්ද්‍ර‍ රාජපක්ෂ ගේන්නට කපා දැමූ සොයියා ට කළ හැකි වෙන දෙයක් තිබුණේ නැත. අපි ද, පක්ෂය නිසා අප්පච්චීට උදව් කළේමු.

ජනවාරි 8 අප්පච්චි මළේ ය. ගමරාල ජනාධිපති විය. ඒ අපේ පක්ෂයේ ලේකම් ය. අපිත් එක්ක එකට පෙළපාලි ගිය, අපිට නාම යෝජනා අත්සන් කළ අපේ සිරිසේන මහත්තයා ය. වෙනදා වගේ අපේ ගෙවල් ගිණිගත්තේ නැත. දවස් දෙකක් තුනක් ලැජ්ජාවෙන් සිටිය ද, අලුත් ජනාධිපතිතුමා ද අපේ නම, ගම දන්නා, අපේ අම්මාගේ මළ ගෙදරත් ආ, දැක්ක තැන ‘…………. කියා කතා කරන අපේ සිරිසේන මහත්තයා ය.

සොයිසා මන්ත්‍රීතුමා සිරිසේන මහත්තයාට හා එකතුවිය. එතුමාට අපේ මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමාට වැඩිය හොද ඇමතිකමක් ලැබුණි. ආණ්ඩුව වෙනස් වෙන විට අපි හිතුවේ මැදගම අපේ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමාට අගමැතිකමට දෙවැනි නැති ඇමතිකමක් ලැබේ යැයි කියා ය. එහෙම වුණේ නැත! අපේ සොයිසා ඇමතිතුමාත්, සුමේධා නෝනත් පුළුවන් දෙයක් කරයි. එජාපයේ වුනත් මද්දුම බණ්ඩාර මහත්තයාත් පුළුවන් දෙයක් කරයි. ඒත් බිබිල, මොණරාගල, කතරගම තබා සියඹලාණ්ඩුවේ ජීවිත නම් තවම වෙනස් වී නැත.

මේ මැතිවරණයට මහින්ද මහත්තයා ඉල්ලන්නේ නැත. සිරිසේන මහත්තයා ඉල්ලන්නේ ද නැත. සොයියා ඇමතිතුමා, සුමේධා ඇමතිතුමී තබා දේශපාලනය පැත්තක තිබ්බත් හොද මිනිහෙක් වන මද්දුම බණ්ඩාර ඇමතිතුමා ඉල්ලන්නේ ද නැත.

අපි කැපුවත් නිල් පාක්ෂිකයෝ වෙමු. දැන් ඔය දෙගොල්ලෝ අපිට වෙන වෙනම තරග කරන්නට කියා කියයි. එය කවුරුත් තරග කරන්නේ නැති මැතිවරණකට හැමදාම ශ්‍රී ලංකා කාරයෝ වුන අපිට බෙදෙන්නට කියයි. මේක මහ කුණුහරුපයකි.

බිබිලේ කැපුවත් කොළ ශ්‍රීලනිප යේ 10,000 සිටින අතර කැපුවත් කොළ එජාපයට 8,500 ක් ඇත. පොහොට්ටුව 7,500 ක්, බුලත් කොළේ 2,500 ක් ගත්තොත් අත උඩින් අලියා දිනුම් ය. ඒ බව දැන දැන ඔය දෙගොල්ල අපිට මැතිවරණයට තරග කරන්න කියයි. මේක මහ කුණුහරුපයකි.

ජීවිත කාලයම ශ්‍රීලනිපයට කඩේ ගිය අපි බිබිලේ බෙදී තරග කර පැරදී විපක්ෂයේ සිටිය යුතුද?

ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය සභාව වන සියඹලාණ්ඩුවේ තත්වයට එයට වෙනස් නැත. කැපුවත් නිල් 10,000 ක් ඇති නම් එජාපයේ ඉන්නේ 6000 කි. අපි මහින්ද-මෛත්‍රී ලෙස දෙකට බෙදාගත්තාම ඉතිහාසයේ නැතිව එජාපය සියඹලාන්ඩුව දිනාගත හැකිය. එජාපය ට අද දිනන්නට බැරි කතරගම එජාපයට දෙන්නට නම් අපි දෙපැත්තකට බෙදිය යුතුමය.

මොණරාගල ප්‍රා.සභාවේ නිල් 10,000 කට කොළ 7,000 ක් නැත. එකට ඉල්ලුවොත් දිනන්නේ උඩිනි. වෙන්ව ඉල්ලා පරදින්නට පුළුවනි.

මේ කුණුහරුපයට අපේ පක්ෂය බිලි දෙන්නේ ඇයි?

මහින්ද – සිරිසේන – බැසිල් මහත්වරුන්ට ඕනෑකම තියෙන්නේ බිබිල, මොණරාගල, සියඹලාණ්ඩුව, කතරගම එජාපයට දෙන්නට නම් ඒකට අපි බිල්ලට යා යුතු නැත. අනික ගමේ ශ්‍රීලනිප යේ කට්ටිය ස්වාධීන කණ්ඩායමක් දැම්මත් දිනන්නේ එජාපය නොව අපිය.

ඒ බව අපේ පක්ෂයේ ජනාධිපති පුටුව දක්වා ඉහළට නැග්ග නායකයෝ දෙන්නාට මේක තේරෙන්නේ නැතිනම් ඒ අපේ විතරක් නොව රටේ ද කරුමය ය. පක්ෂයේ ද කරුමය ය. එජාපයේ කාර්, රබර්, කොම්පියුටර් ෆැක්ටරි සංවර්ධනය කවදාවත් මොණරාගලට එන්නේ ද නැත.

අපේ ජනාධිපතිතුමා නැත්තම් එජාපයට ජනාධිපතිතුමෙක් නැත. අපේ ජනාධිපතිතුමා නැතිනම් ඌව පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරු ඇමතිවරු වන්නේ ද නැත. (තනිකරම ශ්‍රීලනිප පළාත් සභාව අපේය) අපේ ජනාධිපතිතුමා නැතිනම් පාර්ලිමේන්තුවේ එජාපයට බහුතරයක් ද නැත.

මේ බව එජාපය හොදින් දන්නා අතර ඒ නිසාම ඔවුන්ට අවශ්‍ය බිබිල, මොණරාගල, සියඹලාණ්ඩුවේ දී ශ්‍රීලනිප බෙදා මැතිවරණයට යාමටය.

මහින්ද – මෛත්‍රී මහත්වරු ඉල්ලන්නේ නැතිනම්, විජිතමුණි – සුමේධා – රංජිත් මද්දුම බණ්ඩාර ඉල්ලන්නෙත් නැත්තම් බිබිල, මොණරාගල, සියඹලාණ්ඩුවේ කැපුවත් නිල් ශ්‍රී ලංකා කාරයෝ වන අපි ඔබලාගේ බල තන්හාවට, ඩීල්වලට, එක එකාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයට ප්‍රාදේශීය සභාවේ බලය අරගෙන දෙන්නේ ඇයි කියා ඔය දෙගොල්ලන්ගේ පුරෝහිතයින් අපිට කියා දිය යුතුව ඇත. එවිට අපිට හිත හදාගෙන ස්වාධීන කණ්ඩායමකින් දිනන්නට බැරිනම්, එජාපයට ජයග්‍ර‍හණය දී නිදාගන්නට හැකිය.“

කොහොම වෙතත්, එකතුවීමක් ගැන ඒ හැටි බලාපොරොත්තුවක් තියාගන්නට පුලුවන් වටපිටාවක්නම් පෙනෙන්නට නැත.දෙගොල්ල විසින් එකිනෙකාට එල්ල කරගන්නා අවලාද ‘එක්වීම ‘පිළිබඳ බලාපොරොත්තුව ඈතට වීසි කරලාය.තීරණාත්මක මැතිවරණ ආශ්‍රීතව වෙන්වී යාමේ ආදිනව ශ්‍රීලනිපය බොහෝ අවස්ථාවල නෙලාගෙන තිබේ.පළමු ජනාධිපතිවරණයේදී හෙක්ටර් කෙැබ්බෑකඩුව පරදින්නේත්,ඊට පසු මැතිනිය පරදින්නේත් ඒ බෙදී යාමේ ආදිනව නිසාය.17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරලෙන්නේ ශ්‍රීලනිපය හින්දාම නොවේ.ඒක වුණේ ආණ්ඩුවේම අභ්‍යන්තර පිපිරීමක් එක්කය.ලලිත්,ගාමිණී ඇතුලු පිරිසක් ආණ්ඩුවෙන් පිටමන්ව ‘ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ‘හදාගෙන ගහපු ආණ්ඩු විරෝධී කැරැල්ල නොවන්නට තාමත් ආණ්ඩුව එජාප ය.2001 පොදු පෙරමුණ පෙරලන්නේ එජාපයම නොව,පොදු පෙරමුණේ දෙදරා යාමය.එස් බී,ජී ඇල්,බන්දුල ඇතුලු පිරිස ආණ්ඩුවෙන් නොයන්නට තාමත් ආණ්ඩුව පොදු පෙරමුණය.2015 මහින්දගේ ආණ්ඩුව පෙරලන්නේ එජාපයම නොවේ,මහින්දගේ ආණ්ඩුවෙන් පිටමන්වූ මෛත්‍රී ය.

එහෙම බැලුවට පිපුරුම වෙන්නේ ‘අභ්‍යන්තරයේම ය‘.ප්‍රථිපලය වෙන්නේ ආණ්ඩු පෙරලියය.හැබැයි ඒ පුපුරන මොහොත වනවිට අනෙක් පාර්ශවය ශක්තිමත්ව සිටිය යුතුය.දෙකට බෙදෙන ශ්‍රීලංකා එක එකට එක්වන තුරු එජාපය කොහොම පිපුරුණත් වැඩක් නැත.ඒක තේරුම්ගන්න බිබිලේ සහ මොණරාගල ශ්‍රීලනිප මන්ත්‍රීලා ලියන ලියවිල්ලම ඇතිය.