හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක-ජාතික සංවිධායක – ජාතික නිදහස් පෙරමුණ

ජාතික නිදහස් පෙරමුණ මේ වන විට සුවිශාල අර්බුදයකට මුහුණ පා ඇත්තේ එහි ප්‍රධාන පෙළේ නායකයන් කීපදෙනෙක් පක්ෂයෙන් ඉවත් වීමත් පක්ෂ නායකත්වය ඔවුන්ගේ විවේචනයට හසුවීමත් නිසාය. ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක එහා ඉවුරට එක් වෙමින් පක්ෂයේ අර්බුදය හා රටේ දේශපාලනය මෙසේ පැහැදිලි කරයි.

* දීර්ඝ කාලයකට පස්සේ මේ රටේ පළාත් පාලන මැතිවරණය තැබීමේ සූදානමක් තිබෙනවා. දේශපාලන ක්‍රියාකාරකයෙක් ලෙස ඔබ මෙය දකින්නේ කොහොම ද?

මේ රටේ දීර්ඝ කාලයක් පළාත් පාලන මැතිවරණ නොතබා වුණත් නැවතත් පැරැණි කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට කටයුතු සැලැසුම් කර තිබීම ගැන සතුටු වෙනවා. මැතිවරණය නොපැවැත්වීම හා යළි පැරැණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කාට හෝ චෝදනා කරනවාට වඩා මේ ක්‍රමයට මැතිවරණය තියලා, ගමට යහපත් නායකයෙක් බිහි වෙනවා කියන එක තමයි වැදගත්.

හැබැයි ගොඩක් අය හිතාගෙන ඉන්නවා මන්ත්‍රීවරු බිහි වෙන්නේ පක්ෂවලට කියලා. මම විශ්වාස කරනවා පක්ෂවලට මන්ත්‍රීවරු මේ ක්‍රමයෙන් බිහි නොවෙයි කියලා. ජනතාවට කිට්ටුවෙන් ඉන්න, ජනතාවාදී අදහස් තියෙන අය මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරයි. පක්ෂවලට තියෙන උත්තේජනයට වඩා මේ මැතිවරණයේ දී පුද්ගලයාට උත්තේජනයක් තියෙනවා.

* පසුගිය කාලයට වඩා ප්‍රගතිශීලී ආකාරයෙන් මෙවර මැතිවරණය දිවයින පුරා එකවර තැබීමේ උත්සාහයක් තියෙනවා. ඒක ලංකා දේශපාලනයේ අලුත් අත්දැකීමක් ද?

මම කියන්නේ මොනම ක්‍රමයට හෝ ඡන්ද තියන්න ඕන. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ලක්ෂණයක්. දැන් වෙලා තියෙන්නේ අවුරුදු හතරක පාලන බලයක් තියෙන පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තෝරා ගන්න අවුරුදු ගණනාවක් පුරා ඡන්ද තියලා නෑ. පසුගිය සිද්ධි අමතක කළොත්, ඉදිරියේ දී එන මැතිවරණයේ දී මහජනතාවට පුළුවන් ගමට නායකයෙක් තෝරා ගන්න.

එම නියෝජිතයා කුමන පක්ෂයක වුවත්, ගමත් එක්ක, ජනතාවත් එක්ක එකට ඉන්න කෙනෙක් වෙන්න ඕන. ඒ ජනතාවගේ අයිතිවාසිකම මේ මැතිවරණ ක්‍රමයෙන් ආරක්ෂා කරලා තියෙනවා. පසුගිය කාලයේ පළාත් පාලන ආයතනවල අර්බුද රැසක් නිර්මාණය වුණේ ඒ අයිතිය අහිමි වීමෙන් තමයි.

* මැතිවරණය ක්‍රමය වෙනස් වුණත්, පැවැති රජය පෙරළා දමමින් මහජනතාව ඉල්ලුවේ අලුත් ව්‍යවස්ථාවක්, විධායක ජනපති ක්‍රමයේ වෙනසක්. ඒත් ඒ ජනතා බලාපොරොත්තු ඉටු වෙනවා ද?

මෙතැනදී අපි බලන්න ඕන කාරණය තමයි ජනවරම ලැබුණේ කාටද කියන එක. පැවැති රජය පෙරළා දමා ජනවරම ලබා දුන්නේ, වත්මන් ජනාධිපතිවරයාට. ඒ නිසා අපි බලන්න ඕනේ, ජනාධිපතිවරයාගේ වැඩසටහන කොහොමද කෙරෙන්නේ කියලයි. ජනාධිපතිතුමාගේ වැඩසටහනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කෙරෙනවා. ඒවා කෙරෙන්නේ ජනමත විචාරණයකට නොයා යුතු කරුණු සම්බන්ධයෙන්. එතුමා මැතිවරණයේ දී පොරොන්දු වුණ කාරණා කීපයක් කළා. තවත් කරන්න තියෙනවා ද? නැද්ද? කියන එක මට කියන්න බෑ. කොහොම නමුත් දැන් රටේ ඇත්ත ප්‍රශ්නය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙවෙයි.

අද රටේ ජීවන වියදම අහස උසට ගිහිල්ලා. හාල්, පොල් ගන්න බෑ. අද මහජනතාවට ජීවත්වීමේ අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. වත්මන් ආණ්ඩුව දිගු කාලීන සැලැසුම් ගැන කතා කරනවා, නමුත් කෙටි කාලීනව ජනතා වුවමනාවන් ඉටු කළොත් මේ ආණ්ඩුවට ඉදිරියට යන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව ඉල්ලුවේ නෑ. ඒ නිසා මම හිතන්නේ ජනතාවට තියෙන වුවමනාවයි, දේශපාලනඥයින්ට තියෙන වුවමනාවයි දෙකක්. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කලින් මේ රටේ මහජනතාවගේ අවශ්‍යතා ගැන වුවමනාවෙන් බලලා ඒ ටික කළොත් ඕනෑම ආණ්ඩුවක් ජනතා ප්‍රසාදයට ලක් වෙනවා.

* පවතින රජය ජනහිතකාමී පරිසරයක් ගොඩනඟන්න බලයට ආවත්, අද වෙනකොට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. විරුද්ධ දේශපාලන ක්‍රියාධරයින් කියන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය මේකට බලපාලා තියෙනවා කියලයි?

ඇත්තටම මහ බැංකු බැඳුම්කර නිකුතුවෙන් තමයි පොලී අනුපාතය ඉහළ ගියේ. පොලී අනුපාතය ඉහළ යාම නිසා තමයි ඩොලරයේ මිල ඉහළ යන්නේ. පොලී අනුපාතය ඉහළ ගිය නිසා සාමාන්‍ය ණය ගන්න පුද්ගලයාගේ ඉදලා මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ඒක බලපාලා තියෙනවා. ඒ නිසා මේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය ප්‍රබල කාරණයක් බවට පත් වුණා.

ලෝක වෙළඳ පළේ තෙල් මිල අඩු වෙනකොට, ලංකාවේ තෙල් මිල සම්පූර්ණයෙන්ම අඩු නොකර යම් ප්‍රමාණයකට අඩු කරලා, කොටසක් අනෙක් භාණ්ඩවල මිල පාලනය කරන්න තියාගත්තා නම් හොඳයි කියලයි මගේ අදහස. කොහොම නමුත් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ දුර්වලකමක් නිසා තමයි ඔවුන් සෘජු ප්‍රතිලාභ දිහා බැලුවේ. ඒත් අනෙක් පැත්තෙන් ජනතා අවශ්‍යතා දිහා බැලුවේ නෑ. ඒ නිසාම අද වෙනකොට පවතින රජය මහජනතාවගේ අප්‍රසාදයට ලක් වෙලා ඉවරයි. මේ කාරණය බරපතළ තත්ත්වයක් විදිහටයි මම දකින්නේ.

* නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් ඇති කරලා, ජනතා අදහස් විමසලා නව ව්‍යවස්ථාවක් සම්පාදනයට කිරීමට යෝජනා වුණා. නමුත් ඔබේ නායකතුමා කිව්වා, බහුතර ඡන්දෙන් නව ව්‍යවස්ථාව සම්මත වුණොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියලා?

ලක් ඉතිහාසය පුරාම මහා සංඝරත්නය රාජ්‍ය පාලනයට උපදෙස් දීලා තියෙනවා. මේ වෙලාවෙත් මහා සංඝරත්නය එකහෙළාම ඉල්ලුවේ මේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න එපා කියලා. අතීතයෙත් රාජ්‍ය නායකයන් මහා සංඝරත්නයට ඇහුන්කන් දීලා තියෙනවා. අද මේ රටට ව්‍යවස්ථාවක් නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ. රටේ මහජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ රටේ ආර්ථික දියුණුවක් එක්ක රට සංවර්ධනය වීමක්.

* කොහොම නමුත්, පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කියපු එක විවේචනය කළා කියලා ඔබට පක්ෂයේ විනය පරීක්ෂණයට මුහුණ දෙන්න සිදුවුණා නේද?

ජාතික නිදහස් පෙරමුණේ, ජාතික සංවිධායක විදිහට මාව ඉවත් කිරීම නීත්‍යානුකූල නෑ. මට දීපු ලිපිය අත්සන් කරලා තියෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයා අනුමත කරපු ලේකම්වරයෙක් නෙවෙයි. ඒ නිසා මේ ගැන කතා කරන්න දෙයක් නෑ, මම තාම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා විදිහට ඉන්නවා. ඒත්, මම කල්පනා කළා, මේ ජාතික නිදහස් පෙරමුණ මේ රටට අවශ්‍ය ගමන යන්නෙ නැත්නම්, තව දුරටත් එතැන ඉන්න මම සූදානම් නෑ. තවදුරටත් ජනිපෙ සාමාජිකයෙක් වෙලා ඉන්නවාට වඩා, මේ රටේ ජනතාවට ඇත්ත කියලා, ජනතාවත් එක්ක දේශපාලනය කරන්න ඕන.

* ඔබ පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් ශ්‍රීලනිපයට එකතු වුණා. නියෝජ්‍ය නායකතුමත් ඉවත් වෙනවා කියලා ආරංචියි. නායකත්වය විවේචනය කරමින් මේ ආකාරයට එළියට බහින්න බලපෑ කාරණය මොකක් ද?

නායකත්වය හා පක්ෂය විවේචනය කිරීම සාමාන්‍ය දෙයක්. එහෙම නැතුව දේශපාලන පක්ෂයකට පැවැත්මකුත් නෑ. මම මේ කාරණය එතරම් බරපතළ විදිහට දකින්නේ නෑ. පක්ෂ නියෝජිතයෝ පක්ෂයේ, නායකයන්ගේ වැරැදි අඩුපාඩු පෙන්නලා පක්ෂය හදාගෙන ඉදිරියට යන්න ඕන. එතැනදී ඉවසගෙන ඉන්න පුළුවන් අය ඉවසාගෙන ඉන්නවා, බැරි අය යනවා. විවේචනය කිරීම පමණින් කවුරුත් කලබල විය යුතු නෑ.

* පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ශ්‍රීලනිපයට එකතු වුණා වගේ ඔබත් ඉදිරියේ දී ශ්‍රීලනිපයට එකතු වෙනව ද?

මම යනවද නැද්ද කියලා දැන්ම කියන්න බෑ. කොහොම නමුත් අපේ ජයන්ත විජේසේකර මැතිතුමා ගියා. එතුමා ත්‍රිකුණාමලයේ ජනතාවට සේවය කරන්න ඕන නිසා ජනිපෙ අතැරලා ගියා. එතුමාට යන්න සිදුවුණ හේතුව ගැන මම දන්නෙ නෑ. කොහොම නමුත් මම මේ රටේ ඉදිරි ගමනට දේශපාලනයෙන් සිදු විය යුත්තේ කුමක්ද කියන කාරණා ගැන අධ්‍යයනය කරනවා.

දැනටත් මම ශ්‍රී ලංකා ජාතික බලය කියන දේශපාලන පක්ෂයේ මහ ලේකම්. ඒ දේශපාලන පක්ෂයෙන් මම ක්‍රියාකාරී දේශපාලන කටයුතුවල ඉන්නවා. ඉදිරියේ දී මේ රටේ ගමන ගැන දැක්මක් ඇතිව ජනතාකාමී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීම ගැන මේ කාලය තුළ මම අධ්‍යයනය කරනවා. එහෙම නැතිව තවම වෙනත් දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වෙනවා ද නැද්ද කියන එක තීරණය කරලා නෑ.

* කොහොම නමුත් චෝදනාවක් එල්ල වෙනවා, ජානිපෙ මන්ත්‍රීවරු හා දේශපාලන ක්‍රියාකාරිකයන් එජාපය හා ශ්‍රීලනිපය මුදලට ගන්නවා කියලා. ඒ කාරණයේ ඇත්ත නැත්ත මොකක් ද?

ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න මේ රටේ නිදහස තියෙනවා. අපි ජානිපෙන් එළියට ආවේ අනෙක් පක්ෂවලින් සල්ලි අරන් කියලා කියනවා නම්, හොඳයි අපි සල්ලි ගත්තා කියමුකෝ. එහෙම නම් ජනතා විමුක්ති පෙරමුණෙන් අපි එළියට ආවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ දැවැන්ත පක්ෂයක්. ඒකෙන් එළියට එනකොටත් සල්ලි ගත්තා කියන්න පුළුවන්. හැබැයි මට නම් සතයක්වත් හම්බ වෙලා නෑ. මට හිතෙනවා ඒ වෙලාවේ ඔය කියන අය සල්ලි අරගන්න ඇති කියලා. ඔය කතාව කියන්නේ ජානිපෙ නායකයෝ, මට නම් එහෙම සල්ලි හම්බ වෙලා නෑ. සමහර විට ඒ අය එහෙම අරගෙන වෙන්න ඇති අයින් වෙන්න ඇත්තේ.

* ජානිපෙ කඩාගෙන එළියට පැන්නේ මැසි මදුරුවෝ කියලා එහි වත්මන් ලේකම්වරයා කියනවා. ගියපු අයට වඩා ශක්තිවන්තයෝ ඇතුළේ ඉන්නවා කියලත් කියනවා?

ඔය ලේකම් කියලා කියා ගන්නා එක්කෙනා පොඩි ළමයෙක්. අපි තමයි එයාට දේශපාලනය ඉගැන්නුවේ. ඔය ළමයා පසුගිය රජය කාලේ විමල් වීරවංශ මහත්තයාගේ අමාත්‍යාංශය යටතේ තිබුණ සහාධිපත්‍ය අධිකාරියේ හිටපු සභාපතිවරයා. බොහොම හොඳ කෙනෙක්. ඒ කාලේ වීරවංශ මහත්තයාගේ වැඩ ටිකක් එයා කරගෙන ගියා. ඊට පස්සේ වීරවංශ මහත්තයාගේ පවුලේ නීතිඥයා වුණා. හිටපු ලේකම්වරයා එළවලා තමන්ගේ ආරක්ෂාවට මෙයා ලේකම් කරගත්තා. තමන්ට ගැති, තමන්ගේ අණට කීකරු, මතයක් නැති කෙනෙක් දාගත්තම වීරවංශ මහත්තයාට හොඳයි.

මම දැක්කා එයා කියනවා ගල්ලෙන බින්ඳලා ළෙන් දොර ඇරියලු. ගල්ලෙනක් බිඳින්න බෑ මැසි මදුරුවන්ට. ඒක කරන්න පුළුවන් ශක්තිවන්ත කෙනෙකුට. ජානිපෙ බිහි වුණ දා ඉදලා සෑම මැතිවරණයකදීම දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද මෙහෙයවපු නායකයෝ තමයි ප්‍රියන්ජිත් විතාරණ, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, නිමල් ප්‍රේමවංශ, ජයන්ත විජේසේකර වගේ අය. හැබැයි අද වීරවංශ මහත්තයා ළඟින් ඉඳගෙන ඔය කතා කියන අය ඡන්දෙ කාලේ කොහේ හිටියද කියලවත් අපි දන්නෙ නෑ. අද මේ කැඩිලා යන්නේ ජානිපෙ හදවතයි, ඊට එහා මට කියන්න දෙයක් නෑ.

* මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වැටෙන්න හේතුව විමල් වීරවංශ හිටපු ඇමැතිවරයා කියලා ඇතැමුන් චෝදනා කරනවා. ඒක ඇත්ත ද?

සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව තමයි ඒ. මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව වීරවංශ මහත්තයා කුමන්ත්‍රණය දියත් කළේ මහින්ද මහත්තයාගේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ආර්ථික ඝාතකයා කියලයි. මහින්ද මහත්තයාට ගහන්න ඕන නිසා එතුමාගේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ගැහුවා. එදා ආර්ථික ඝාතකයා කියලා කිව්වේ මහින්ද මහත්තයාට.

මොකද ලේකම්වරයාට වඩා මුදල් ඇමැතිවරයා ප්‍රබලයි. ලේකම්වරයා හරහා හිටපු ජනපතිවරයාට ගහලා, වීරවංශ මහත්තයා ජනතාවට කිව්වා පැවැති ආණ්ඩුව දූෂිතයි කියලා. ආණ්ඩුව පෙරළන පළමු වෙඩි මුරය තිබ්බේ විමල් වීරවංශ මහත්තයා කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. එයාට කවුරු හරි කේවට්ටකම් කරනවා, ඒ කවුද කියලා මම දන්නේ නෑ. මේ රට විනාශ කරන තැනට යෙදෙන ප්‍රකාශ එතුමාගේ කටින් එළියට එනවා.

* අපේ රටේ දේශපාලන පක්ෂ ඉතිහාසයේ කවරදාටත් වඩා වේගයෙන් හතරට පහට කැඩීගෙන යනවා වගේ පේනවා?

පක්ෂ කැඩෙන එක සාමාන්‍ය දෙයක්. එක්සත් ජාතික පක්ෂයෙත් විකල්ප කණ්ඩායමක් ඉන්නවා. පක්ෂ කැඩෙන එකවත්, බෙදී යන එකවත් නෙවෙයි ගැටලුව. මේ රටේ ජනතාවට පක්ෂ විසින් කළ යුතු කාර්යයභාරය හරි හැටි නොකළොත් ඒ පක්ෂ අහෝසි වෙනවා. එජාපයට 94 ඉදලා අද වෙනකන් තනියම ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වුණා. එහෙම වෙන්නේ ඒ පක්ෂයේ කාර්යය භාරය හරිහැටි වෙන්නේ නැති හින්දයි.

* පසුගිය ජනාධිපතිවරණයේ දී මහජනතාවගේ ප්‍රගතිශීලී බලාපොරොත්තු කවරක්ද කියලා පෙන්නුම් කළා. ඒත් ඒ කිසිවක් ඉටු නොවන බවට ජනතා බලාපොරොත්තු බිඳ වැටිලා. මේ ගැන ඔබ දකින්නෙ කොහොම ද?

මේ වන විට පළාත් පාලන මැතිවරණ සමයක් තියෙන්නේ. ඒකෙන් ආණ්ඩු මාරු කරන්න බෑ. මම දකින්නේ මේ රටේ ජාතිකවාදී පක්ෂ හා වාමාංශික ව්‍යාපාර මෙන්ම ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ එක්ව ගමනක් ගියා කියලයි. ඒ නිසා මේ පාර්ශ්ව හැමෝම කල්පනා කරලා, එක මාර්ගයක යන්න තීරණය කළොත් මහජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න අවශ්‍ය උත්තර හොයා ගන්න බැරි වෙන එකක් නෑ.

ඒ නිසා පක්ෂ නිර්මාණය වෙන්න ඕන ජනතාව වෙනුවෙන්. ඒ පක්ෂ රටේ අවශ්‍යතාවයට, ජනතා වුවමනාවට වැඩ කරනවා නම් ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම තමයි රටේ සෞභාග්‍ය වෙනුවෙන් කැප වෙන ජනතාවාදීව කටයුතු කරන ඕනෑම කෙනෙක් එක්ක දේශපාලන ගමනක් අපටත් යන්න පුළුවන් කියලයි මම විශ්වාස කරන්නෙ.

දුමින්ද අලුත්ගෙදර