දේශපාලනයේ කාන්තා නියෝජනය සියයට විසි පහක්‌ දක්‌වා වූ නිර්ණායක සකස්‌ කළේ අපියි. විවිධ සේවා ස්‌ථානවල කාන්තා නියෝජනය අද පිරිමින්ට වඩා වැඩියි. තේ කර්මාන්තයේත්, ඇඟලුම් කම්හල්වලත්, වැඩි සංඛ්‍යාවක්‌ සේවයේ නිරතව සිටින්නේ කාන්තාවන්. විදේශ විනිමය වැඩියෙන් රටට ගෙන එන්නේ කාන්තාවන්. පිරිමින්ට වඩා වැඩි ජනගහනයක්‌ නියෝජනය වන්නේ කාන්තාවන් ගෙන්. මහින්දගේ පාලන කාලයේදී කාන්තා නියෝජනය වැඩිකිරීමට කටයුතු යෙදුවේ නැහැ. ඒ නිසා තමන්ට ලැබුණු මේ අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගෙන එක්‌සත් ජාතික පක්‍ෂයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට කෝට්‌ටේ ආසනයේ කාන්තාවන් පෙරමුණ ගත යුතු යෑයි, එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ, පසුගිය 08 වැනිදා කෝට්‌ටේ සිරිකොත මන්දිරයේ පැවැති එජාප බලමණ්‌ඩල සාමාජිකයන් රැස්‌ව සිටි අවස්‌ථාවේදීය. එජාප උප නායක, රවි කරුණානායක, හරීන් ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂ ද සිල්වා, රුවන් විඡේවර්ධන යන අමාත්‍යවරුන්ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ. මෙහිදී කෝට්‌ටේ තරුණ හා කාන්තා බල මණ්‌ඩලවල නිලතල සඳහා පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අගමැතිවරයාගේ අතින් සිදුවිය.

වැඩිදුරටත් කතා කරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඓතිහාසික කෝට්‌ටේ, මුළු රටේම අගනුවර බවට පත් කළා. මෙගා පොලිස්‌ අමාත්‍යංශය හරහා ඓතිහාසික කෝට්‌ටේ නගරයේ දැවැන්ත සංවර්ධනයක්‌ සිදුවෙමින් පවතිනවා. කෝට්‌ටේ ආසනයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ මගේ නියෝජ්‍ය අමාත්‍යවරයා. එතුමා රටේ ආර්ථිකය දියුණු කිරීම සම්බන්ධව අවශ්‍ය උපාය මාර්ග, යෝජනා හා අදහස්‌ මට ලබා දෙනවා. කෝට්‌ටේ ඓතිහාසික නගරය දියුණු කරන්න හැකි පුද්ගලයා තමයි අපි කෝට්‌ටේට පත්කර තියෙන්නේ. ඉදිරියේදී කෝට්‌ටේ තවත් ශක්‌තිමත් කිරීමට හැකි ගමේ මන්ත්‍රී කණ්‌ඩායම, කෝට්‌ටේ නගර සභා පාලනය සඳහා එතුමාට ලබා දෙන්න. රටේ බලය තියෙන්නේ අපට. ඒ නිසා ගම දියුණු කරන්න බලය දෙන්න ඕනේ බලයේ ඉන්න අපටයි. එවිට ඔබේ ගම දියුණු කිරීමට හැකි ශක්‌තිය හර්ෂ අමාත්‍යවරයාට ලැබෙනවා නියතයි.

ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා – පසුගිය 2015 ජනාධිපතිවරණයේදී කෝට්‌ටෙන් ලැබුණේ ඡන්ද 34,614 යි. මහ මැතිවරණයේදී ඡේ.වී.පි.යට ලැබුණු 4075 අඩු කළාම, ඡන්ද දහ දාහක්‌ ඉදිරියෙනුයි කෝට්‌ටේ ආසනයේ අපි ඉන්නේ. ඒ නිසා කෝට්‌ටේ ගමේ පාලන බලයට අපේ පක්‍ෂයට මෙවර ලැබීම අනිවාර්යයි. කාන්තා නියෝජනය සියයට විසි පහේ සිට තිහ දක්‌වා ඉහළ දැමීමෙන් කාන්තා නියෝජනය මම වැඩිකර තියෙනවා.

2017 වර්ෂයේ පාසල්වල යටිතල පහසුකම් සඳහා මිලියන විස්‌සයි. පාරවලට මිලියන 12 යි. 2018 දෙසැම්බර් මාසේ අවසන් කරන්න තිබූ රාජගිරියේ ගුවන් පාළම, 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ විවෘත කරනවා. කෝට්‌ටේ පළමු ස්‌විමින්µQල් පාසල රාජගිරියේ ජනාධිපති විද්‍යාලයේ රුපියල් ලක්‍ෂ 1000 ක වියදමකින් ඉදිකෙරනවා.

ranil3කෝට්‌ටේ නගර සභාවේ හිටපු පාලකයින් මළ නළ ක්‍රමයක්‌ ඇති කර නැහැ. ප්‍රදේශයට බලපාන විශාල ගැටලුවක්‌ එය. අගමැතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මළ නළ පද්ධිතියක්‌ කෝට්‌ටේ ආසනයට ලබා දෙන්න කියා. නිසි පරිදි කාණු පද්ධතිය සංවර්ධනය කර නැහැ. කසළ කළමනාකරණය නිසි පරිදි ඉටු වෙලා නැහැ. මෙහේ තට්‌ටු විසි පහේ (25) තිහේ (30) ගොඩනැඟිලි ඉදිකිරීමේදී ඒ සඳහා අනුමැතිය දී තිබෙන්නේ තට්‌ටු දොළහකට (12) කට පමණයි. ඉතිරි තට්‌ටු ඉදිකර තියෙන්නේ අනුමැතියක්‌ නැතිවයි. මෙම තට්‌ටු ගොඩනැඟිලි 37 න් නීත්‍යානුකූල අනුමැතිය ලබාගෙන තියෙන්නේ, ගොඩනැඟිලි හතරකට (4) පමණයි. ඉතිරි ඒවා ඉදිකර තියෙන්නේ අනුමැතියකින් තොරවයි. එහෙම දූෂිත අන්දමිනුයි මෙහේ හිටපු පාලකයන් කටයුතු කර තියෙන්නේ.

විදුලි සංදේශය හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු මහතා ( මහින්ද මහත්තයාගේ න්‍යාය ක්‍රියාත්මක කරලා, මහ මැතිවරණයෙන් පස්‌සේ ඡන්දේ තිබ්බා නම්, ගමේ බලය විතරක්‌ නොවෙයි පළාතේ බලයත් ලෙහෙසියෙන්ම අපේ අතේ. රාජ්‍ය බලය තියෙන්නේ ආණ්‌ඩුවටයි, ගමේ බලයත් ලැබෙන්නේ. ඒක තමයි මේ රටේ ඡන්ද දායකයින් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන ආකාරය. රටේ ප්‍රශ්න තිබුණු ඒ කාලේ මන්ත්‍රීකමින් ඉල්ලා අස්‌වෙලා ඌවේ මහ ඇමැති ධුරයට මම තරග කළාට, මාව මහ ඇමැති පුටුවේ ඉන්දවන්න තරමේ ඔලුවේ අමාරුවක්‌ බදුල්ලේ ඡන්ද දායකයන්ට තිබුණේ නැහැ. ඒ නිසා කවුරු මොන මොන පුරසාරම් දෙඩෙව්වත්, බලයේ ඉන්න ආණ්‌ඩුවට එරෙහිව ගමේ බලය වෙනත් කෙනෙකුට දෙන්න තරමේ ඔලුවේ අමාරුවක්‌ අපේ ඡන්ද දායකයන්ට ඇත්තේ නැහැ. ඡන්ද දායකයෝ දන්නවා ගමට වැඩක්‌ කරගන්න නම්, බලයේ ඉන්න පක්‍ෂයේ කෙනාට ඡන්දය දිය යුතු බව.