වීරවංසගේ පක්ෂයේ පියසිරි විජේනායක ඉවත් විය. පියසිරි කියන්නේ පක්ෂයේ ජාතික සංවිධායකවරයාය. ඔහු ඉවත්වීමේ අවසාන සිද්ධිය වූයේ විමල්ගේ පාර්ලිමේන්තුවට බෝම්බ දැමීමේ කතාවය. එහෙත් එය ආසන්නතම සිද්ධිය පමණකි. ඉවත්වීමේ ඇත්ත හේතුව එය නොවේය. ඕනෑම දෙයක් මතුපිටින් පෙනෙන දේ ඇත්ත හේතුව නොවේය. එහි අභ්‍යන්තරයේ වන ඇත්ත හේතුව වෙන එකකි. අහසේ පියාසර කරන කොක්කු දෙන්නා ඉබ්බෙක් රැගෙන පියෑඹූ කතාවක් ඇත. එකවරම කොක්කු දෙන්නාගෙන් ගිලිහී ඉබ්බා බිමට වැටිණි. වැටෙන්නට හේතුව ලෙස ද පෙනෙන්නේ ඉබ්බාගේ කට ඇරීමය. එහෙත් ඇත්ත හේතුව එය නොව පෘථිවියේ හට ගන්නා ගුරුත්වාකර්ෂණ බලයයි. එය නොවන්නට ඉබ්බා උඩු ගුවනේ පාවෙමින් සිටියි. එලෙසින්ම වීරවංශගෙන් විජේනායක ඉවත් වන්නේද බෝම්බ කතාව නිසාම නොවේය. එයට බලපෑ හේතු ගණනාවක් පහුගිය කාලාන්තරය පුරාවට වර්ධනය වී තිබිණි.

විජේනායක ඉවත් වී දින කිහිපයකට පසු පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ ද ඉවත් විය. එයට හේතු ලෙස මුසම්මිල් කිව්වේ ප්‍රියන්ජිත්ගේ පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වයේ හේතුවක් කියාය. එහෙත් විජේනායක කියන්නේ එය පට්ටපල් අමූලික බොරුවක් කියාය. පක්ෂ අභ්‍යන්තරයේ කාලාන්තරයක් තිස්සේ පැවති බරපතළ ප‍්‍රතිවිරෝධයක ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රියන්ජිත් අස් වූ බවය. අයින් වුණාද නොව අයින් කළ බවය. මේ දෙදෙනා ඉවත් වූ විගස පත් වූ වැඩ බලන ලේකම් කපිල ගමගේ මහා ලොකු සිංහනාදයක් කළේය. ඒ සඳහා උදාහරණයට ගත්තේ සිංහබාහු ඉතිහාස කතාවය. කවුරු කොහොම පක්ෂයෙන් ඉවත් වුණත් සිංහයා වට්ටන්න බැරි බවත් කිව්වේය. සිංහයා තවමත් හයියට ඉන්න බවට ද පුරසාරම් දෙඩෙව්වේය. එය කියලා කට ගන්න හම්බ වුණේ නැත. ත‍්‍රිකුණාමලයේ හිටපු මන්ත‍්‍රී ජයන්ත විජේසේකර මෛත‍්‍රීපාල සිරිසේනව මුණ ගැහුණේ ය. සිංහ ලීලාවෙන් හිටපු ජයන්ත බලු කුක්කෙක් වගේ මෛත‍්‍රී ළඟ දෙකට නැමුණේ ය. ජයන්ත කියන්නේ ජ.වි.පෙ. ඉන්න කාලේ කොටින්ට විරුද්ධව ත‍්‍රිකුණාමලයේ සටන් කරපු කෙනෙක්ය. එදා කොටි කොඩිය බිමට දාලා ජාතික කොඩිය බය නැතිව එස වූයේ ජයන්ත විජේසේකරය. එහෙත් ඒ ජ.වි.පෙ. ජයන්තය. ඔහු පිටුපස මහා දැවැන්ත බලයක්, ශක්තියක් එදා තිබුණේය. ඇත්තටම කොඩිය එසවූයේ ජයන්ත නොව ජ.වි.පෙ.ය. නමුත්, ඔහු හිතුවේ ඔහුගේ චණ්ඩිකමක් කියාය. තවත් බොහෝ අය හිතුවේ ද එලෙසින්මය. එහෙත් ජවිපෙන් ගිය ජයන්ත නිකම්ම නිකං හාල් කෑල්ලක් වෙලා මෛත‍්‍රී ළඟ දෙකට නැවුණේ වීරවංශගේ පස්සෙන් මන්ත‍්‍රීකම වෙනුවෙන් ගිය නිසාය.

මේ සිද්ධියෙන් තව සතියකට පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක අනුරාධපුරයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේය. එහිදී පිටු ගණනාවක ප‍්‍රකාශයක් ද නිකුත් කළේය. ඒ විතරක් නොව හතර වටෙන් වට කරලා වීරවංශගේ ඇත්ත කාඩ්බෝඩ් චරිතය හෙළිදරවු කළේය. ජා.නි.පෙ.න් ඉවත් වන බව හරි පැහැදිලිය. තව දින කිහිපයකින් මෛත‍්‍රී පිලේ නියෝජ්‍ය ඇමතිකමට යන්නේය. වීරවංශගේ සැබෑ භූමිකාව ගැන හොඳින්ම දන්නා වීරකුමාර කට හොඳටම ඇරියොත් වීරවංශගේ ඉතුරුවෙලා තියෙන පොඩ්ඩක් හරි වෙච්ච වලිගයත් අවසන් වන්නේය. මහා ලොකු සද්ද බද්ද දාපු කට්ටිය හතර වටෙන් ගැලවි ගැලවී යන්නේය. එදා පක්ෂය හදන කොට හිටපු නන්දන ගුණතිලක අද යූ.එන්.පී.යේ පානදුර ආසන සංවිධායකවරයාය. කමල් ජීවිතයෙන් ද සමු ගත්තේය. බදුල්ලෙ හිටපු පළාත් සභා මන්ත‍්‍රී අද සොයා ගන්නවත් නැත. තව බොහෝ පිරිසක් යන එන මං නැතිව මංමුළා වී ඇත.

මොහොමඩ් මුසම්මිල් ද පසුගිය කාලයේ වැඩිය පේන්න හිටියේ නැත. මීට මාස හතරකට පහකට කලින් මුසම්මිල් මහා බක පණ්ඩිතයෙක් වගේ මාධ්‍ය සාකච්ඡාවන් පවත්වමින් සිටියේය. ඒත් මේ දිනවල මූණවත් පේන්න ඇත්තේ නැත. මාධ්‍ය සාකච්ඡාව තිබ්බෙත් නුවරඑළියේ නිමල් එක්ක කපිල ගමගේය. මුසම්මිල් කොහාට හේත්තු වෙලා ද යන්න තව නොබෝ දිනකින් දැක ගත හැකි වනු ඇත. ආරංචියේ හැටියට මුළු මණ්ඩලයම අවුල් වෙලාය. මණ්ඩලය මෙහෙයවන්න ශෂීව යොදා ගත්ත එකෙන් කලින්ම අයින් වුණේ අචල ජාගොඩය. ජාගොඩ කෙළවර වුණේ බලංගොඩ යූ.එන්.පී.යේ ආසන සංවිධායකයා වීමෙන්ය. අන්තිමේදී ඒකත් නැතිවෙලා ගියේය. පටන් ගන්න කොට වීරවංසගේ මුරකාරයා ලෙස හිටියේ ජාගොඩයි, ජාගොඩගේ මල්ලියි දෙන්නාය. අන්තිමේදී දෙන්නාම වීරවංශ දාලා එළියට ගියහ. අප‍්‍රසිද්ධියේ තව කිහිප දෙනෙක්ම ඉවත්ව ගොස් බොහෝ කල්ය.

පසුගිය රාජපක්ෂ පාලන කාලයේ මේ ඔක්කොම හිටියේ නිවාස අමාත්‍යාංශයේය. එහි විවිධ ආයතනවල සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරු දැරූහ. කොටින්ම ගත්තොත් මුළු පක්ෂයම නඩත්තු වුණේ අමාත්‍යාංශයෙන්ය. ආණ්ඩුව පෙරළුණාට පස්සේ මේ ඔක්කොම නැති වුණේය. එකාට එකා මරා ගන්නා තත්ත්වය ආවේ ඒකෙන් පස්සේය. ඒ මඳිවාට එකට හොරා කාපු ඒවා ඔක්කොම එළියට එමින් පවතින්නේය. කරුණු හෙළිදරවු වෙන විදිහට සමහර ඒවා කෙළවර වන්නේ අවුරුදු ගණනාවක් හිරේ විලංගුවේ තැපීමෙන්ය. ඒ තත්ත්වය වීරවංශගේ ඉඳලාමය. ගෝලබාලයෝ ගොඩ දෙනෙකුගේ තත්ත්වයත් එයයි. වීරවංශ රනිල් එක්ක ඩීල් දාලා සමහර ඒවා පස්සට තල්ලු කර ගත්ත බව අනිත් අය දන්නේය. වීරකුමාර පැහැදිලිව කීවේ ඒ කතාවය. එහෙම බැලුවාම අන්තිමට හිරවෙන්නේ ගෝලයෝ ටිකය. වීරවංසලා ඩීල්වලින් බේරිලා ගෝලයෝ ටික ඇතුළට දාන්න යන වැඩේ වීරකුමාර කලින්ම තේරුම් ගත්තේය. ඒ බව පුන පුනා මාධ්‍ය සාකච්ඡාවේදී කීවේ ඒ නිසාය.

ඇත්තටම වීරවංශට මෙහෙම වෙන්නේ ඇයි? දර්ශනයක්, දැක්මක්, වැඩපිළිවෙළක් නැති වුණාම ඕනෑම දේශපාලන පක්ෂයකට සිද්ධ වෙන්නේ මේ ටිකය. වීරවංස යනු ජ.වි.පෙ.න් ඉවත් කරපු කෙනාය. ඔහුත් එක්ක එකතු වෙච්ච බොහෝ අයට ද චෝදනා තිබිණි. ඒ චෝදනා පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණ ආරම්භ වී තිබිණි. ඉස්සර වුණේ වීරවංසගේ පරීක්ෂණයයි. එහි ප‍්‍රතිඵලය වූයේ ඔහුව ජ.වි.පෙ.න් ඉවත් කිරීමය. පක්ෂයෙන් එළියට වැටුණු ඔහු ඒ ජාතියේම කට්ටියම එකතු කර ගත්තේ පක්ෂයට එරෙහි වීමට මිස අන් කවර හෝ දැක්මක් ඇතිව නොවෙයි. අන්තිමේ දී යුද්ධය අවසන් වීම තමන්ගේ එකම ගැලවීමේ මාර්ගය ලෙස තෝරා ගත්තේය. යුද්ධය නිසා මහින්දට බොරුවට හෝ යමක් ලැබුණා නම්, වීරවංස උත්සාහ කළේ ඒකෙන් පංගුවක් තමන්ටත් අයිති කර ගන්නටය. ඇත්තටම ගත්තොත් යුද්ධය වවාගෙන කාපු දේශපාලනයක නියැළුණු ඔහුට එය වැඩි කාලයක් ගෙන යාමට නොහැකි විය. අන්තිමේදී යුද්ධයෙන් පසුවත් මැරිච්ච කොටියාගේ හමට තළ තළා, නියපොතු ටිකත් හප හපා දේශපාලන පැවැත්ම ගෙන යන්න උත්සාහ කළේය. ඒත් ඒකට වැඩි ආයුෂ නැත්තේය. දැන් බොරුවට ව්‍යවස්ථාවක් පටලවාගෙන තමන්ගේ බඩගෝස්තරය බොරු දේශප්‍රේමයෙන් වසා ගන්නට උත්සාහ ගනිමින්  සිටියි. මේ සියල්ල විජේනායකලා, වීරකුමාරලා දනිති. බොල් වීරවංසත් එළියට පෙන්වන වීරවංසත් කවුරුන් ද යන්න ඔය වටේ ඉන්න ගෝලයෝ ටික හොඳටම දනිති. තම තමන්ටත් ඒකෙන් මොන මොනවා හරි ලැබෙනවා නම් සියල්ල දරාගෙන සිටිති. එහෙත් ඒවා නැති වූ ගමන් සැබෑව එළියට පනියි. අද සිදුවී ඇත්තේ එකී අභාවාචක සංසිද්ධියයි.

මහින්ද රාජපක්ෂ පිළ එකතු වී ඇත්තේ ද දර්ශනයක්, දැක්මක් මත නොවේය. ඔවුනට ඇත්තේ ද හුදෙක් බලය ගිලිහී යාමේ ප‍්‍රශ්නයමය. දර්ශනයක් නොමැතිව පක්ෂයක් ලෙස ඉදිරියට යාමේ හැකියාවක් නැත්තේය. මෛත‍්‍රී පාර්ශ්ව විරෝධයකින් පමණක් පැවැත්ම තහවුරු වන්නේ නැත. විවිධ පරස්පරතා මැද එකතු වුව ද, කල් පවත්නා දැක්මක් නොමැති වූ විට දිගුකාලීන පැවැත්මක් ඔවුන්ට ද නැත. ඒකාබද්ධ යැයි කීවාට ඔවුන්ගේ ඇති ඒකාබද්ධයක් නැත. රටේ පොදු ජාතික ප‍්‍රශ්න පිළිබඳව ඇත්තේ අච්චාරු වූ අදහස්ය. ඒ නිසාම දුබල වූ පළමු මොහොතේම කැඩී විසිරී යාම අනිවාර්යයකි. අම්පාර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විමලවීර දිසානායක හෙට අනිද්දා ආණ්ඩුවට එකතු වීමේ ආරංචිය එන්නේ ඒ අනුවය. බලය නැති විට වරප‍්‍රසාද අහිමි වේ. වරප‍්‍රසාද අහිමි වෙන ප‍්‍රමාණයට ඒකාබද්ධය ද කැඩී විසිරී යනු ඇත. මොන ප‍්‍රශ්න බාධක ආවත්, එක එල්ලයට යා හැක්කේ දර්ශනයක් පැවතුණහොත් පමණක්මය. රාජපක්ෂ කල්ලියේ එකතු වී සිටින කණ්ඩායම් අතර ඇති පරස්පරතාවයන් බරපතළය. ජාතිවාදීන්, ජාතිවාදී නොවන පිරිස්, හොරු, මංකොල්ලකාරයන් සියල්ලෝම අද ඉන්නේ අපේක්ෂා භංගත්වයෙනි. ඒ එකිනෙකාට පුංචි හෝ වරප‍්‍රසාදයක් ලැබෙන පළමුවෙනි තත්ත්පරයේ දී ඔවුන් එකිනෙකා කැඩී විසිරී යනු ඇත. දැන් ඔප්පු වෙමින් පවතින්නේ එයයි.

ගෝඨාභයට ඇත්තේ අත්අඩංගුවට ගනීවි යැයි පෞද්ගලිකව වූ මාරාන්තික බියකි. ඒ නිසාම ‘එළිය’ දල්වන්නේ එයින් බේරී පලා යාමටය. පහුගිය දවස්වල හිරේට ගනීවි යැයි බියකින් කරපු කියපු දේවල්වලින් එය ඉතා පැහැදිලිය. බැරිවෙලාවත් ඇතුළට දැම්මා නම් ඔය බොරු චණ්ඩියන්ගේ ඇත්ත තත්ත්වය බලා ගත හැකිව තිබිණි. පරාජයේ දී එකිනෙකා වෙන වෙනම තම තමන් බේරීමට දැඟලීමෙන් එය මනාව ඔප්පු වෙයි. ඒකාබද්ධයේ පැවැත්මට වැඩි ආයුෂ නැත්තේ ද දැක්මකට අනුව එකතු වූ කණ්ඩායමක් නොවන නිසාය. ආණ්ඩුව සැබැවින්ම මේ හොර කල්ලියට එරෙහිව සෘජුව ක‍්‍රියාමාර්ග ගන්නේ නැත. එසේ ගත්තා නම් මේ වෙනකොටත් ඔය කල්ලියේ කෑලිවත් සොයා ගන්නට හැකියාවක් නැත. හැමෝම බලන්නේ තම තමන්ට එල්ල වන චෝදනාවලින් නිදහස් වීමේ මාර්ගයක්ය. එකතු වුණේ ද ඒ සඳහාමය. එකතු වෙලත් බේරෙන්න විදිහක් නැත්නම් එකිනෙකා තනි තනිව බේරෙන්නට පාරවල් සොයා ගනිති. සමහරු ඒ සඳහා තර්ක හදා ගනිති. ව්‍යවස්ථාව පරද්දන්න රට බේර ගන්න එකතු වෙන්න ඕනෑ යැයි තර්ක හැදුවේ ද හිරේ යන්න තියෙන බය නිසාමය. එහෙම එකතු වුණාම පරීක්ෂණ සියල්ල යටපත් කරගෙන නඩු ටික ඉවත් කර ගන්නට පාර හදා ගත හැකිය. අද රාජිතලා, ඩිලාන්ලා, එස්.බී.ලා නඩු නැතිව බේරී ඉන්නේ ඇමතිකම් අරගෙන ආණ්ඩුවේ සිටින නිසාය. එසේ නැත්නම් ඔය හැමෝම ඉන්න ඕනෑ හිරගෙවල්වලය.

පසුගිය දවස්වල රටේ ප‍්‍රධාන මාතෘකාව වූයේ ශ‍්‍රී.ල.නි.ප.යේ කෑලි දෙක මූට්ටු වීම ගැනය. එහෙත්, එය දැන් මුළුමනින්ම අසාර්ථක වී ඇත. ඒ මූට්ටු වීමේ වුවමනාව ආවේ තම තමන්ට එරෙහිව ඇති නඩු ඉවත් කර ගන්නටය. දයාසිරි ජයසේකර කියන විදිහට එයට විරුද්ධ වී ඇත්තේ දෙන්නෙක් පමණි. දෙන්නා කවුද යන්න ඔහු කීවේ නැත. ඒ චෝදනා නැති දෙන්නෙක් විය හැකිය. අනෙක් හැමෝම එකතු වෙන්නට කැමතිය. බොරු චණ්ඩිපාට් දාන ප‍්‍රසන්න රණතුංගලා වැනි අය එකතු වෙන්න උඩින්ම කැමතිය. ඒකට ප‍්‍රධාන හේතුව ප‍්‍රසන්නගේ චෝදනාවල බරපතළකමය. ඉඩම් ගොඩ කරන්න ගත්ත අල්ලස ගැන දුරකථන සංවාදමය ප‍්‍රබල සාක්ෂි ප‍්‍රසන්නට එරෙහිව ඇත. හරියට විභාග කළොත් ප‍්‍රසන්නට අවුරුදු ගාණක් ඉන්න වෙන්නේ හිරේය. ඒ විතරක් නෙවෙයි හම්බ කර ගත්ත දේපළවලින් බාගයක්ම ඒකට වන්දි වශයෙන් ගෙවන්න වන්නේය.

ගෝඨා බැලුවේ එකතු වුණොත් තමන්ට ලැබෙන දේ ගැනය. දැන් හිතාගෙන ඉන්නේ ඊ ළඟ ජනාධිපති අපේක්ෂකයා වන්නටය. ඒ සිහිනය බොඳ වී යන්නේ එකතු වුණොත්ය. නිමල් සිරිපාල වැනි අයට ලැබෙන කිසිවක් නැත. ඒ නිසාම එකතු වුණොත් ඊළඟ වතාවේ බලය ගැන හීනයක්වත් දකින්නට පුළුවන්ය. මේ විදිහට එකිනෙකා හිතන්නේ තම තමන් ගැනය. රට ගැන හිතලා කවුරුවත් තීන්දු ගන්නේ නැත. ඒ පට්ටපල් අමුම අමු බොරු කතාවකි. ජාතික ආණ්ඩුව හැදුවේ ද රට ගැන හිතා නොවේය. හිරේ යන්න වෙන එකට බයේය. අද සිද්ධවෙන බොහෝ දේවල් සිද්ධ වෙන්නේ මේ එකිනෙකාගේ පෞද්ගලික වාසි අවාසි මතය.

දෙමළ ජාතික සන්ධානය ද දෙකඩ වී කැඩීම් ආරම්භ වී ඇත. එහි ප‍්‍රධාන පක්ෂයක් වූ ඊ.පී.ආර්.එල්.එෆ්. එක දැන් අලුත් සන්ධානයක් හදන බව ප‍්‍රකාශ කර ඇත. සූර්යයා ලකුණින් ඉදිරි මැතිවරණයට එන බව ද කියා ඇත. එහි වර්තමාන නායකයා සුරේෂ් ෙප්‍ර්මචන්ද්‍රන්ය. ඔහු පසුගිය මැතිවරණයේ දී පරාජයට පත්වූවෙකි. වෙච්ච පරාජයෙන් ගොඩ ඒම දැන් ඔහුගේ අරමුණයි. ඒ සඳහා මුළු පක්ෂයම යොදවා ගනියි. දැනට එම පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් දෙදෙනක් පාර්ලිමේන්තුවේ සිටියි. දැනටමත් ඉන් එක්කෙනෙක් වන වව්නියාව දිස්ත‍්‍රික්කයේ ශිවා මන්ත‍්‍රීවරයා මෙයට එකතු වී ඇත. අනෙක් කෙනා මුලතිවු දිස්ත‍්‍රික්කයේ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයෙකි. ඒ නිසාම ඔහු එයට එකතු වී නැත. යම් හෙයකින් එකී තනතුර නොලැබුණා නම්, ඔහුත් එයට එකතු වෙන්නට ඉඩ තිබිණි. දැන් මේ පරාජිත කණ්ඩායම උත්සාහ දරන්නේ සියලු කණ්ඩායම් එකතු කර ගනිමින් අලුත් සන්ධානයක් හදන්නටය.

ඒ අන් කවර හේතුවකටවත් නොව බලය සඳහාය. ටී.එන්.ඒ. පක්ෂයට එල්ල වෙන විවේචනය පාවිච්චි කර ගනිමින් ජනතාව උසිගැන්වීමකින් යම් බලයක් ලබා ගත හැකි යැයි ඔවුන් විශ්වාස කරනවා විය හැකිය.

දේශපාලන පක්ෂයක් දර්ශනයක්, දැක්මක්, වැඩපිළිවෙළක් ඇති එකකි. එවැන්නක් නොමැති වූ විට පක්ෂයක් නොපවතී. බලය ලබා ගැනීම හෝ ලබා ගත් බලය පවත්වා ගැනීම පක්ෂයක කාර්යභාරය එයයි. බලය ලබා ගැනීම ආවාට ගියාට කළ හැක්කක් නොවෙයි. ඒ සඳහා වූ වැඩපිළිවෙළක් තිබිය යුතුය. සංවිධානයක් තිබිය යුතුය. සංවිධානය පවතින්නේ වැඩපිළිවෙළ පිළිබඳව විශ්වාසය ඇති වූ විටය. ඒ විශ්වාසය බිඳවැටුණු විට සංවිධානය කැඞී විසිරී යයි. අද වීරවංශලා මුහුණ දී ඇත්තේ එකී යථාර්ථයටය. ටී.එන්.ඒ. එක මුහුණ දී ඇත්තේ එකී යථාර්ථයටය. විවිධ පක්ෂවලින් විවිධ පෞද්ගලික වූ හේතු මත ඉවත් වූ බොහෝ කණ්ඩායම් කෙටි කාලයකින් අර්බුදයට යන්නේ මේ හේතුව නිසාය.

කොතරම් බාධක, අභියෝග පැමිණියත් ප‍්‍රතිපත්ති හා දර්ශනය නිවැරැදි නම් පක්ෂයක් කැඩී බිඳී යන්නේ නැත. කවුරුන් ඉවත් වුවත්, පක්ෂය නොසැලී ඉදිරියට යන්නේ නිවැරැදි වූ ස්ථාවර ප‍්‍රතිපත්තිය මතය.

අද එ.ජා.ප.ය අභ්‍යන්තරයේ මුහුණ දී ඇත්තේ ද, ශ‍්‍රී.ල.නි.ප.යේ පාර්ශ්වයන් දෙකම මුහුණ දී ඇත්තේ ද මේ යථාර්ථයටය. ඔවුන් එකිනෙකා පෞද්ගලික චරිත මත කෙටි කාලයක් රැඳී පැවතුණත් ප‍්‍රතිපත්ති වෙනස් වූ විට අර්බුදයන්ට මුහුණ දෙයි. ජනතාවගේ පැත්තෙන් තේරුම් ගත යුත්තේ ද මෙයයි. තවමත් ප‍්‍රමාද නැති තේරුම් ගැනීමට මහා බරපතළ වෙහෙසක් දැරිය යුතු නැති තිත්ත ඇත්ත එයයි. ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී, නොවැනී සිටින පක්ෂයක ප‍්‍රතිපත්තිය තෝරා ගත යුත්තේ මේ යථාර්ථය තුළ ය.

ලංකා ඉරිදා සංග්‍රහය