ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය පසුගිය අඟහරුවාදා පෙරවරුවේ රැස්විණි. එහිදී පළමුව සාකච්ඡා වූයේ දුම්රිය සේවක වැඩ වර්ජනය පිළිබඳවයි. ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසුවේ මෙම වැඩ වර්ජනය පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය අනුකාරක සභාවක් පත් කළ යුතු බවයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිවු පුද්ගල අනුකාරක සභාවක් පත් කරන ලදී. ‍ෙදාස්තර රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන්ද ඊට ඇතුළත් වූහ.

“දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන්න එපා කියලා මම ඉල්ලා සිටියා. එය විහිළුවක් බවට පත්වෙනවා. මොකද වර්ජිත සේවකයන් අත්‍යවශ්‍ය සේවා නියෝග කඩ කළහොත් වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් නැහැ. විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් එවැනි ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුයි කීවේ රාජිතය.

එවිට අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසුවේ සාකච්ඡා පැවැත්වූයේ වෘත්තීය සමිතිවල අවශ්‍යතාව මත බවයි.
දිවයින පුරා පොහොර හිඟයක් ඇති බවට ප්‍රකාශවීමත් සමඟ අමාත්‍ය මණ්ඩලය මේ පිළිබඳව අවධානය යොමු කරන ලදී. ජනාධිපතිවරයා සඳහන් කළේ පොහොර හිඟය අවසන් කිරීම සඳහා පාකිස්තානයෙන් පොහොර ගෙන්වීමට සූදානම් බවයි.

“මම පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයාට දුරකනයෙන් කතා කළා. ඔහු මම කලින් හමුවී තිබූ නිසා පොහොර ගෙන්වීම පහසු වුණා. පාකිස්තානයේ පොහොර අපනයනය කරන්නේ පෞද්ගලික අංශයෙන්. එම අපනයන සීමාවන් ඉවත් කරලා ශ්‍රී ලංකාවට පොහොර ලබාදෙන්න පාකිස්තානය එකඟ වුණා” යැයි ජනාධිපතිවරයා පැවැසීය.
ඉන්පසු අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසුවේ පසුගිය රජය විසින් ලබාදුන් පොහොර සහනාධාරය අපි නැති කළා. එම නිසා රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු යැයි කියාය. එවිට අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවැසුවේ පොහොර සහනාධාරය යළි ලබාදිය යුතු බවයි. ලෝකයේ පොහොර හිඟයක් ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳවද අවධානය යොමුකළ යුතු බව සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේදී ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකිවීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. සජිත් ප්‍රේමදාස පැවැසුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත්වීම නීතිය මඟින් තහනම් කර ඇති බවයි.
එවිට අදහස් දැක්වූ දයාසිරි ජයසේකර සඳහන් කළේ ක්ෂේත්‍ර නිලධාරීන් මැතිවරණයට ඉදිරිපත් වුවද නීතියට අනුව රාජ්‍ය සේවා තනතුරු අහිමිවන බවයි. නාම යෝජනා ලබාදීමේදීම එම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නම් නාම යෝජනා ලැයිස්තුවේ තිබුණේ නම් එය ප්‍රතික්ෂේප කළ හැකි දැයි සජිත් ප්‍රශ්න කළේය. නීතියට අනුව එහෙම කරන්න බැහැ යැයි සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවැසීය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙන ආ යුතු බවයි. මන්ද 4000ක් වූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 8000 දක්වා වැඩි කිරීම තුළින් ජනතාව අපට සාප කරයි. එම නිසා මන්ත්‍රි ධුර සංඛ්‍යාව ඉදිරියේදී සියයට 50ක් වත් අඩුකළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන අවම ප්‍රමිතීන් වෛද්‍ය අඥා පනත යටතේ වන රෙගුලාසි වශයෙන් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ “වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලබාදුන්
කරුණුවලට එකඟව අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කරනවා. දේශපාලන අවශ්‍යතා මත ඇතැම් පීඨාධිපතිවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහාය ලබාදීමේ අරමුණින් කටයුතු කරනවා. මෙම ලියවිල්ල එක් පීඨාධිපතිනියක් විසින් ලියා ඇති බවට තොරතුරු වාර්තා වුණා. ඇයගේ ස්වාමිපුරුෂයා මේ පිළිබඳව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නිරීක්ෂණ ලියා තිබෙනවා. ජනාධිපතිවරයාත් එම නිරීක්ෂණ ලියා ඇත්තේ පීඨාධිපතිවරුන්ගේ ලිපිය පදනම් කර ගනිමින්” කියාය.
“නෑ ඩොක්ටර් අපි දෙන්නට ඒ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්” ජනපති මෛත්‍රි කීවේය.

කුරුඳු පිරිසැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා දයා ගමගේ කළ යෝජනාවට මංගල විරුද්ධ විය.
“කොහෙන්ද ඉඩම?”
මංගල ඇසීය
‘පෞද්ගලික ඉඩමක්’
දයා කීය.
‘පෞද්ගලික ඉඩමකට රජයෙන් සල්ලි දෙන්න බෑ’
මංගල කීය.
මෛත්‍රිද මංගලගේ අදහස අනුමත කළේය.
මේ අතර කබීර් හෂීම් ගෙනාවේ කෘෂි තාක්ෂණික උද්‍යානයක් පිහිටුවන්නට යෝජනාවකි.
‘කොහේද, මාවනැල්ලෙද?’

මෛත්‍රි සිනාසෙමින් ඇසුවේ මාවනැල්ල කබීර්ගේ ආසනය නිසාය.
‘නෑ නෑ තිරියායේ.’
කබීර් කීය.
‘ජනාධිපතිතුමනි, හරි භයානක ප්‍රශ්නයක් තියෙනවා’
හිටි අඩියේ ගාමිණී ජයවික්‍රම කීවේය.
‘ඇයි, මොකක්ද මොකක්ද?’මෛත්‍රි විමසිලිමත්ව ඇසුවේය. කැබිනට් මණ්ඩලයම ගාමිණී දෙස බැලූහ.
‘පොඩි අලි පැටව්, ට්‍රෝලර්වලින් අරාබියට යවනවා’
ගාමිණී කීවේය.

‘ඒ ගැන අපි ක්‍රියාමාර්ගයක් ගන්නම්’
සාගල එහෙම කියන්න යද්දී ඊට ඉඩ නොදුන් ගාමිණී දිගටම කතා කරන්නට විය.
ඇමැතිතුමා, මම කියන දේත් ටිකක් අහන්නකෝ, ඔහොම කියවාගෙන ගියාම කොහොමද උත්තර දෙන්නේ”
සාගල මඳක් කේන්තියෙන් ඇසුවේය.

විදේශීය රටවලින් ආනයනය කරන සහල් ජනතාව පරිභෝජනය නොකරන බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය. එවිට ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය.
“මම ගෙදරින් කෑම ගෙනත් කන්නේ. ඇතැම් සහල් මටත් කන්න බැහැ. මම හාල් ගේන ළමයාගෙන් ඇහුවා මොනවාද මේ හාල් කියලා. කීරි සම්බා රුපියල් 133ක් වෙනවා කිව්වා. මම කිව්වා වෙළඳපොළේ අඩුම මිලට තිබෙන හොඳ හාල් ගේන්න කියලා. දැන් දේශීය හා විදේශීය කියලා දෙයක් නැහැ. විදේශීය රටවලින් ගෙන්වන හාල්ද පැකට් කරලා දේශීය විදියට අලෙවි කරනවා” එය අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අනුමත කළේය.

බ්‍රහස්පතින්දා උදේ වෙනදාටත් කලින් නිවෙසින් පිටත් වූ අගමැතිවරයා මුලින්ම මළ ගෙවල් කිහිපයකට ගියේය. පසුව ජනාධිපතිවරයාද හමුවීමෙන් අනතුරුව අරලියගහ මැඳුරට පැමිණි අගමැතිවරයා විශ්වවිද්‍යාල උප
කුලපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට එක්විය. සභානායක හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලද ඊට එක්විය. විශ්වවිද්‍යාලවල ගැටලු අඩුපාඩු මෙන්ම රාජ්‍ය අධ්‍යාපනය තූළ තවත් සිසුන් දහස් ගණනකට ඉඩකඩ සැපයීම මෙන්ම වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම සුදුසුකම් ගැනද එහිදී අවධානය යොමු විය.
“ලෝකයේ කිසිම රටක රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් විතරක් අධ්‍යාපනය සපුරන්න බෑ. ලොව පුරා පෞද්ගලික සරසවි අධ්‍යාපනයත් තියෙන්නේ ඒකයි. අපේ නිදහස් අධ්‍යාපනය උපරිමව රැකගන්නා ගමන් එය දියුණු කරන ගමන් ඊට සම්බන්ධ වීමට නොහැකි සිසුන්ට පෞද්ගලික අධ්‍යාපනය හරහා ඉඩකඩ දීම සියලු ආණ්ඩුවල ප්‍රතිපත්තියයි” අගමැතිවරයා කළ පැහැදිලි කිරීම
උපකුලපතිවරු සියලු දෙනා පිළිගත්හ.

“භෞතික දියුණුව ආණ්ඩුව ඇති කරනවා. අපේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ඉහළ දාලා ලොව හොඳම ඒවා අතරට ගේන එක ඔබලාගේ වගකීමක්.” අගමැති කීය.
අනතුරුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ ප්‍රධානීන්ගෙන් යුතු චීන දූත පිරිසක්ද අගමැතිවරයා හමුවිය. චීනය හා
ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය නව ආර්ථික සබඳතා හරහා නව මාවතකට පිවිස ඇති බවත් එය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටම එකඟවීමත් එහිදී සිදුවිය.
අනතුරුව සුපුරුදු ලෙස අගමැතිවරයා හමුවීමට අරලියගහ මැඳුරට පැමිණ සිටි මැති ඇමැතිවරු සමඟ පිළිසඳරක යෙදීමටද ඔහු අමතක කළේ නැත.
“ලොව දූෂිතම රටවල් 04ට ලංකාව වැටිල කියල තව ලෙඩක් පත්තු වෙලා” දයා ගමගේ කීය.

“එහෙම එකක් නෑ. ඕවා මේ ආණ්ඩුවට විරුද්ධව පතුරන මඩ. ගිය රජය කාලෙ තිබුණු ඔය චෝදනාව දැන් නෑ” අගමැති කීය.
රාජපක්ෂලගෙයි වටේ හිටපු අයගෙයි කෙරුවාවල් නිසයි රටට එදා දූෂිත ලේබලය වැදුණෙ” ගයන්ත කරුණාතිලක කී දේ අගමැතිවරයාද අනුමත කළේය.
“ජනාධිපතිතුමා ඒකාබද්ධෙ පාර්ලිමේන්තු අය ගලවනකොට ඔබතුමා ගමේ ඒකාබද්ධය ගලවල එජාපයට ගන්නවා. ඔවුන් දැන් නන්නත්තාර වේගෙන එන්නේ” දයා ගමගේ කී දේ සියලු දෙනා අනුමත කළහ.

“අපි ගම් මට්ටමින් ගන්නෙත් දූෂණ චෝදනා නැති අය විතරයි. ඒ නිසා හුඟදෙනෙක් ගන්නත් අපට අමාරු වේවි. මොකද ශ්‍රී ල.නි.ප. හිටපු ප්‍රාදේශීය සභාවල අයගෙන් 90%ක් ගමට තිත්ත වෙච්ච අයයි” අගමැති කීවේ සීනා මැදය.
“දැන් කේ.පී. කොහෙද ඉන්නෙ කියලා සමහරු අහනවා. කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදීත් ඒක මතුවුණා” ගයන්ත කරුණාතිලක ඇසුවේ අගමැතිගෙනි.
“කේ.පී. ඉන්න තැනක් ඇති. ඒ තැන කොතැනද කියලා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අහන්න.”
අගමැතිවරයා කීය.

“ඇමෙරිකාව ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසෙලම නම් කළා. ලංකාවේ ස්ථාවරය මොකක්ද?” දයා ගමගේ ඇසීය.
“ඇමෙරිකාවේ ඒ තීන්දු එක්ක අපට හැප්පෙන්න අමාරුයි. ටෙල් අවිව් නගරයෙන් අපේ කාර්යාල මාරු කළ යුතු නැහැ. ඇමෙරිකානු තානාපති ඇවිත් මාව හමුවුණාම මම තත්ත්වය පැහැදිලි කළා. මැදපෙරදිග සාම වෑයමටත් ඇමෙරිකාවේ මේ තීන්දු බලපාවි කියලා මම පෙන්නලා දුන්නා” අගමැතිවරයා පැහැදිලි කළේය.
“මේ රජය ඇමෙරිකන් ගැතියි කියලා කියන මහ බොරුවට මේ ස්ථාවරය හොඳ උත්තරයක්” දයා ගමගේ කීය.
“ශ්‍රී ල.නි.ප. ඡන්ද පදනම ගත්තාම මහින්දලාට හුඟක් යටින් හිටපු බව පෙනුණත් ඒකාබද්ධ අය කීප දෙනෙක් බා ගැනීම නිසා ඒකාබද්ධෙ දෙදරලා ශ්‍රී ල.නි.ප.ය උඩට ගියා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිටය. ඔහු නළල රැලි ගන්වා ඉවත බලා ගත්තද කිසිවක් කීවේ නැත.

“ඒ වුණාට ශ්‍රී ල.නි.පෙ. “හාඩ් කෝ” ඒක තාම ශ්‍රී ල.නි.ප.යට විරුද්ධයි. ඔවුන්ගෙන් බහුතරයක් තාම ඉන්නෙ මහින්ද එක්ක. ඡන්දය යන අතරෙ ශ්‍රී ල.නි.පයට තව උඩට එන්න නම් තව හුඟක් දේවල් කරන්න වේවි. ගමේ තත්ත්වය එහෙම බවයි මන්ත්‍රිවරු හුඟ දෙනෙක් කීව්වේ” මැති ඇමැතිවරුන් කීප දෙනකු කීවේ එවැන්නකි.
“මේ ඡන්දෙදි 60% හෝ උපරිම 65%යි. ඡන්ද ප්‍රකාශ වෙන්නේ. පාවෙන ඡන්ද පාවිච්චි වෙනවා නම් ඉන් අති බහුතරය එ.ජා.ප.යටයි. නැත්නම් ඒ ඡන්ද ගෙදර නවතීවි. පාවෙන ඡන්ද වෙන පැත්තකට යාවි කියලා හිතන්න ආමාරුයි” අගමැතිවරයාගේ විග්‍රහය එය විය.