මෙවර අප විශේෂාංගය හා එක්‌වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී මාධනී මල්වත්තගේ…

ගැටිස්‌සි කාලෙ

මගේ ගැටිස්‌සි කාලෙ මතක්‌ වෙද්දී මට දැනෙන්නෙ එක්‌තරා විදිහක දුකක්‌. මොකද අපිට ඒ කාලෙ ආපහු කවදාවත්ම ලැබෙන්නෙ නෑ. ඒ වගේම මට තවමත් ලොකු දුකක්‌ දැනෙනවා පාසලේ අවසාන දවස මතක්‌ වෙනකොට. ගුරුවරු, යාළුවෝ සියලු දෙනාගෙන්ම සමුගත්ත ඒ දවස මතක්‌ වෙද්දී තවමත් මට දුකයි. ආපහු ඒ කාලෙට ගිහින් ඒ සතුට විඳගන්න තියෙනව නම් කොච්චර හොඳද කියලා හිතෙනවා.

පාසල

මම ඉගෙන ගත්තෙ මහනුවර උසස්‌ බාළිකා විද්‍යාලයේ. පාසලේදී මම නැතුවම බැරි සාමාජිකාවක්‌. ගායනයට, රංගනයට මට උපන් හපන්කම් තියෙනවා කියලා තමයි පාසලේ හැමෝම කතා වෙන්නේ. ඒ හින්දම පාසලේ සියලුම කලා කටයුතුවල මූලිකත්වය අරගෙන කටයුතු කරන්න මට සිද්ධ වෙනවා. පන්ති කාමරේ රැඳෙනවට වඩා මම සංගීත කාමරේ තමයි රැඳුණේ. මට මතකයි ඔය වැඩ කටයුතුවලට සහභාගි වුණාම මගේ යාළුවෝ මට අතපසුවෙන සටහන් පවා ලියලා දෙනවා.

අත්දැකීම්

පාසලෙන් අයින් වුණාට පස්‌සේ විශ්වවිද්‍යාලයට යන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියෙ. ඔය කාලෙදී මමයි මගේ යාළුවයි සම්බන්ධ වෙනවා මහරගම තරුණ සේවා සභාවට. එතනදි මට එච්. ඒ. පෙරේරා, ඩග්ලස්‌ සිරිවර්ධන, නිශ්ශංක දිද්දෙණිය, කේ.බී. හේරත්, මංගල සේනානායක, ජයලත් මනෝරත්න වගේ ප්‍රවීණම කලා ශිල්පීන් රැසක්‌ හඳුනා ගන්න ලැබෙනවා. මම පාසල් යන කාලේ ඉඳන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලෙදි හුඟාක්‌ වේදිකා නාට්‍ය බලපු කෙනෙක්‌. ඉතිං මට ලොකු වුවමනාවක්‌ තිබුණා නාට්‍ය හා රංග කලාව හදාරන්න. මම හිතනවා මට ඒකට ලොකු පිටිවහලක්‌ ජාතික තරුණසේවා සභාවෙන් ලැබුණා කියලා. එතැනින් පස්‌සෙ තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ.

බලාපොරොත්තු

මගෙන් කවුරුහරි ඇහුවම ලොකු වුණාම කවුද වෙන්නෙ කියලා ම කිව්වෙ සංගීත ගුරුවරියක්‌ වෙනවා කියලා. ඒ බලාපොරොත්තුව තමයි මම විශ්වවිද්‍යාලය දක්‌වාම ගෙනිච්ෙච්. නිළියක්‌ වීමේ බලාපොරොත්තුවක්‌ නම් කොහෙත්ම තිබුණේ නෑ.

විනෝදාංශ

ලොකුම විනෝදාංශය තමයි සිංදු කියන එක.

යාළුවෝ

දීපිකා, දුලීකා, මිහිරි, නයන්ති, ගංගා වගේ හොඳ යාළුවෝ ගොඩක්‌ හිටියා. ඉස්‌කෝලේ හැමෝම වගේ මගේ යාළුවෝ තමයි. අදටත් සමහර යාළුවෝ කතා කරලා සතුටු වෙනවා අද මම ඉන්න තැන ගැන කියලා.

කල්ලි ගැහුණු තැන්

පිරිමි ළමයින්ට වගේ අපිට එහෙම කල්ලි ගැහෙන්න විශේෂ තැනක්‌ තිබුණේ නෑ. ටියුෂන් පන්තිය තමයි අපේ කට්‌ටියම එකතු වෙන තැන. මට මතකයි අපි කට්‌ටියම එකතු වෙලා දවසක්‌ දළදා මාලිගාවට ගියා. ඒ ගියේ විභාගයට තියෙන බය නැතිකර ගන්න.

පටබැඳි නම්

පාසල් කාලෙදී නම් මට එහෙම විශේෂ නමක්‌ තිබුණේ නෑ. නමුත් විශ්වවිද්‍යාලයේදී මට කිව්වේ මනමේ කියලා.

පිරිමි ළමයි

ඒ කාලෙ පිරිමි ළමයි ඔක්‌කොම යාළුවෝ වගේ තමයි හිටියේ. අපිට විවිධ යෝජනා ආවේ නැතුවම නෙමෙයි. හැබැයි ඉතිං පාසල් කාලේ ගත වුණේ බාලිකා විද්‍යාලයක හින්දා විශේෂයෙන් පිරිමි ළමයි සම්බන්ධ අත්දැකීම් අපිට අඩුයි.

දෙමවුපියෝ

ඇත්තටම මට ලොකු සහයෝගයක්‌ ලැබුණා මගේ අම්මාගෙන්, තාත්තාගෙන්, අක්‌කාගෙන් සහ මල්ලිගෙන්. ඉගෙන ගන්න දේවල්වලට විතරක්‌ නෙමෙයි මගේ සියලුම වැඩකටයුතුවලට හැමෝම මට උදව් කළා. කලාවට සම්බන්ධ වෙලා කටයුතු කරද්දී තාත්තා හුඟාක්‌ උදව් කෙරුවා. මට ඒ පැත්තෙන් ඉදිරියට යන්න. තාත්තා මම පුංචි කාලෙම මට වයලින් එකක්‌ ගෙනල්ලා දුන්නා. ඊට පස්‌සෙ තාත්තා මාව ආනන්ද පෙරේරා මහත්මයයි, අශෝක පෙරේරා මහත්මයයි කරපු NTC කියන කලායතනයට එක්‌කගෙන ගියා. කලාව පැත්තෙන් මට ගෙදරින් ලොකු හයියක්‌ ලැබුණා.

ගුරුවරු

ගුරුවරු අතර මම දීප්තිමත් ශිෂ්‍යාවක්‌ වුණා. මගෙන් ඒගොල්ලන්ට කිසිම කරදරයක්‌ නෑ. මම මගේ පාඩුවේ මගේ වැඩටික කරගෙන ගියා. මගේ නම කිව්වම ගුරුවරු අතර ලොකු ආදරයක්‌ එදා තිබුණා. ඒ ආදරය අදටත් තියෙනවා. ගුරුවරු පවා මට කතා කරලා සුබ පතනවා. මම කවදාහරි මේ වගේ තැනකට එයි කියලා ඒ හැමෝම බලාපොරොත්තුවෙන් හිටියා කියලා මට කියනවා. ඒක මට ලොකු සතුටක්‌.

අහල පහල අය

මම ජීවත් වුණේ නුවර බෝගලවත්ත කියන ප්‍රදේශයේ. අපේ අසල්වාසීන් හැමෝම මගේ තාත්තගේ මිතුරෝ. මගේ තාත්තාගෙ නම කියපු ගමන් ඕනම කෙනෙක්‌ දන්නවා. එයා වැඩ කෙරුවෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ඒ නිසා ලයනල් මල්වත්තගේගෙ දුව කියලා තමයි මාව හැමෝම අඳුරන්නේ. වටපිට හැමෝම තාත්තටයි අම්මටයි හුඟක්‌ ගරුකරනවා. ඒ ගෞරවය ඒ විදිහටම අපිටත් ලැබුණා. අදටත් ගමට ගිහාම හැමෝම ලොකු ගෞරවයකින් කතා කරනවා. අම්මා ජීවතුන් අතර නැති වුණත් හැමෝම කියනවා දෙමව්පියෝ දෙන්නා අපිව හොඳට හැදුවා කියලා.

මාලක නන්දන