මැ‍ලේසියානු අගමැතිවරයා පසුගිය සතියේ ලංකාවට පැමිණියේ තෙදින නිල සංචාරයක් සඳහාය. ලංකාවට පැමිණි මැ‍ලේසියානු අගමැතිවරයා නවාතැන්ගෙන සිටියේ ෂැංග්‍රිල්ලා හෝටලයේය. ඔහුගේ පරිවාර ඇමැතිවරයා ලෙස පත් කර තිබූ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාද ඔහු සමග රැදී සිටියේ අගමැතිවරයාගේ අවශ්‍යතාවන් ඉටු කරමිනි. ලංකාවට පැමිණි දිනයේදීම මැ‍ලේසියානු අගමැතිවරයා ගයන්තගෙන් ඉල්ලුවේ අපූරු ඉල්ලීමකි.
“මට ගොල්ෆ් ගහන්න ආසයි. කොළඹ අවට ගොල්ෆ් ගහන්න තැනක් තියෙනවාද” මැ‍ලේසියානු අගමැතිවරයා ඇසුවේය.
“ගොල්ෆ් ක්ලබ් එක තියෙනවා. අපි එතැනට යමු” ගයන්ත ගොල්ෆ් ක්‍රීඩාංගණයට අගමැතිවරයා රැගෙන ගියේය.
එදින රාත්‍රියේ මැ‍ලේසියානු අගමැතිවරයාගෙන් තවත් අපූරු ඉල්ලීමක් ඉදිරිපත් විය.
“මම සාමාන්‍යයෙන් රටකට ගියහම ආරක්ෂක නිලධාරීන් නැතිව සාමාන්‍ය කෙනෙක් විදියට ඇවිදින්න යනවා. මට මෙහේ කකුළුවෝ කන්න තැනක් තියෙනවාද” අගමැතිවරයා ඇසුවේය.
“එහෙනම් අපි කොටුවේ ඩච් හොස්පිටල් එකට යමු” යැයි කී ගයන්ත මැ‍ලේසියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් මුසම්මිල් සමග මැ‍ලේසියානු අගමැතිවරයා රැගෙන ගියේ මිනිස්ට්්‍ර ඔෆ් ස්ක්‍රැබ් වෙතටය. රාත්‍රී ආහාරයට කකුළුවන් එක් කරගත් අගමැතිවරයා එම හෝටලයේ කළමනාකරුවන් සමග සුහද කතාබහකටද එක්විය.
“මැ‍ලේසියාවෙත් මේ හෝටලයේ ශාඛාවක් දාන්න” මැ‍ලේසියානු අගමැතිවරයා හෝටලයේ කළමනාකරුවන්ට දැනුම් දුන්නේය.
“මේ ගමන්ම අපි ෂොපිං යමු” යැයි කී අගමැතිවරයා ගයන්තද කැටුව සාමාන්‍ය සංචාරකයෙක් මෙන් වෙළෙඳසැල් කිහිපයකට ගියේ සංචාරය සිහිවීම සඳහා සිහිවටන කිහිපයක් මිලදී ගැනීමටය.
මෛත්‍රී සහ රනිල් හමුවී ද්වි පාර්ශ්වික සාකච්ඡා පවත්වන අතරවාරයේදීද මැ‍ලේසියානු අගමැතිවරයා කකුළුවන් කෑමට ගිය ගමන සිහිපත් කිරීමට අමතක කළේද නැත.