“සංවර්ධිත රටවල ජනප්‍රිය පුද්ගලයන්  අප්‍රිකාවට ආධාර දීම පසුගිය දශක කීපයක සිට සිදුකර තිබෙනවා. ඔවුන් ලෝකය පුරා එකතු කරන මුදල් මිලියන ගණනින් අප්‍රිකාවට එවනවා. වෙනත් රජයන් පවා බොහෝ ණය, ආධාර සපයනවා. එහෙත් අද අප්‍රිකාවේ තත්ත්වය කෙබඳුද? 1970දී 10%ක් වූ දුප්පතුන් ප්‍රමාණය අද වන විට 70% ඉක්මවා තිබෙනවා. එසේ නම් එම ආධාර වලට සිදුවූයේ කුමක්ද?”

දම්බීස මෝයෝ අන්තර්ජාතික ආර්ථික විශේෂඥවරිය මෙසේ තම  කෘතියෙන් විශාල ආධාර ව්‍යාපෘතිවල අසාර්ථකභාවය පෙන්වා දෙන ලදී. මෙම ආධාර නිසි පරිදි කළමනාකරණය නොවීමට හේතුව ලෙස ඇඟිල්ල දිගු කරන්නේ ඒ රටවල දේශපාලන නායකයන් ඇතුළු වංචනික නිලධාරී පැලැන්තියටය.

ඇය තර්කානුකූලව පෙන්වා දෙන්නේ තවදුරටත් මහා ධනස්කන්ධයක් ආධාර සහ ණය වශයෙන් ලබා ගැනීම අත්හිටුවා අප්‍රිකානු ජනතාව තම රට වෙනුවෙන් හිස කෙළින් තබාගෙන අනුන්ට අත නොපා කටයුතු කළ හැකි පිරිසක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ වහාම ආරම්භ කළ යුතු බවයි. මෙය දවසකින් දෙකකින් කළ නොහැකියි. ඇය විසින් ඒ සඳහා පස් අවුරුදු සැලැස්මක් යෝජනා කළාය. එනම් ඉදිරි වසර පහ ඇතුළත ක්‍රමයෙන් මෙම ආධාර ගැනීම අඩු කර නිෂ්පාදන ආර්ථිකයට රට යොමු කරගත යුතු බවයි. එය කළ හැකි ක්‍රමය ඇය විසින් පියවරෙන් පියවර විස්තරාත්මකව පෙන්වාදී ඇත. ණය උගුලේ සිරවුණු ඕනෑම සංවර්ධනය වෙමින් පවතින රටකට මින් ලබාගත හැකි ආදර්ශ බොහෝය.
1969 පෙබරවාරි 2දා සැම්බියාවේ දුප්පත් ගමක ඇය උපත ලැබුවාය. ඉතා දුෂ්කර ළමා කාලයකින් පසු ඇගේ ඉගෙනීමට ඇති දක්ෂතාව නිසාම ඇමෙරිකානු විශ්වවිද්‍යාලයකට ශිෂ්‍යත්වයක් ලබා ගත්තාය. එහිදී රසායන විද්‍යාව සහ ර්ඕඒ උපාධිධාරිනියක වන ඇය හාර්වර්ඩ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවලින් ආර්ථික විද්‍යාව උපාධිද ලබා ඇත.

ලෝක බැංකු උපදේශකවරියක් ලෙස දෙවසරක්ද, විවිධ ප්‍රධාන පෙළේ සමාගම් රැසකටද ඇගේ සේවය ලබාදී ඇත. ලෝකයේ රටවල් අසූවක සංචාරය කරමින් මහජන දේශන පවත්වන්නියක ලෙස දම්බීස මෝයෝ ඉහළ කීර්තියක් අත් කරගෙන සිටී. ආර්ථික විද්‍යාව හදාරන ලොව පුරා වෙසෙන සිසු සිසුවියන් අතර ඇය ඉතා ජනප්‍රියය. අධධථ බධ අඥචඤ නමැති ලෝකයේ දුප්පත් රටවල දරුවන්ට පොත්පත් ලබාදෙන වැඩසටහනේද ඇය ප්‍රධාන තනතුරක් දරා ඇත. දක්ෂ මැරතන් දුර දිවීමේ ක්‍රීඩිකාවක්ද වන්නීය.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් අමතා කළ දේශනයකදී ඇය මෙසේ පැවැසුවාය. “සැම්බියාවේ 1969දී මා ඉපදෙන කාලයේ කළු ජාතිකයන්ට උප්පැන්න සහතිකයක් ලබා දුන්නේ නෑ. මා ඉපදුණු බවට සහතිකයක් ලෙස නම ගම ලියූ කුඩා කොළ කැබැල්ලක් හෝ මට ලැබුණේ පසු කාලයකදී. මට මෙතැනට ඒමට විශ්වාස කළ නොහැකි අභියෝග රැසකට මුහුණ දෙන්න වුණා. ලෝකයේ ජනගහනයෙන් සියයට පනහකගේ ආදායමට සමාන ආදායමක් පුද්ගලයන් 62ක් අතර ගොනු වී තිබෙනවා. මෙම ඇති නැති පරතරය අඩු කිරීමට අප දායක විය යුතුයි. ලොව වෙසෙන සෑම වැසියකුටම අඩුම තරමින් ආහාර, නිවාස, රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය යන තම මූලික පහසුකම් ටිකවත් ලැබෙන ක්‍රමයකට ලෝක ආර්ථිකය වෙනස් විය යුතුයි. අද අප්‍රිකාව තුළට එන මහා ධනස්කන්ධය එය අවශ්‍ය ස්ථාන කරා නිසි ලෙස යන්නේ නෑ. මස් කැබැල්ලකට පොරකන වෘකයන් රැළක් මෙන් ඒ මුදල් පිරිසක් විසින් ඩැහැගන්නවා. මන්දපෝෂණය, වසංගත රෝග, ඒඩ්ස්, විරැකියාව, නිවාස පහසුකම් නොමැති වීම ආදියෙන් කෝටි සංඛ්‍යාත ජනතාවක් පීඩා විඳිනවා. කීපදෙනෙක් විසින් අල්ලාගෙන සිටින මෙම ආර්ථිකය ජනතාවට බෙදා දෙන යුගයකට ලෝකයේ සෑම රටක්ම පෙරමුණ ගත යුතුයි.

ඇය විසින් 2011 රචිත “බටහිර ලෝකයේ කඩාවැටීම” කෘතියෙන් ධනවාදී ආර්ථික ක්‍රමයකින් ඇති නැති පරතරය තවදුරටත් වැඩි වෙන අයුරු පෙන්වාදී ඇත. 2012 ඇගේ තෙවැනි කෘතියට තේමාව වූයේ චීනයේ ආර්ථික පිළිවෙතයි. එය ‘ජයග්‍රාහකයා සියල්ල ලබාගනී’ යන්නයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් යටපත් කරගෙන චීනය නුදුරු අනාගතයේ ලෝකයේ ආර්ථික අතින් බලවත්ම රට වන බව ඇය එයින් පෙන්වාදෙයි. ව්ඥඹ කධපඬ ඊඪථඥඵ ඡඥඵබ ඵඥතතඥප පත් වුණ මෙම කෘතීන් චීන, ජර්මන්, ඉතාලි ඇතුළු භාෂා රැසකට පරිවර්තනය වී ඇත. අවංකවත් නිර්භීතවත් විද්‍යානුකූලවත් තම විශ්ලේෂණ ඉදිරිපත් කරන ඇයට එරෙහිව සටන් වැද ඇති කණ්ඩායම් බොහෝය. විශේෂයෙන්ම ලෝක ආධාර සහ ණය තම පෞද්ගලික සුඛ විහරණයට යොදා ගන්නා අප්‍රිකානු නායකයන්ගෙන් ඇයට දැඩි විවේචන සහ තර්ජන එල්ල වේ. පසුගිය හැට වසරක් පුරා අප්‍රිකානු දේශපාලකයන් ණය සහ ආධාර තව තවත් ගෙන්වා ගැනීමට දුප්පතුන් දුප්පතුන් සේම තබාගනී. මෙම ‘හිඟන්නාගේ තුවාලය’ සුව කරගත යුතුය. අනුන්ගෙන් නොයැපී, අභිමානයෙන් යුතු ජාතියක් ලෙස නැඟී සිටීමට, නිෂ්පාදන ආර්ථිකයකින් තම තමන්ගේ රටවල් ගොඩනඟා ගැනීමට, උගත් තරුණ අප්‍රිකානු ජනතාව පෙරට පැමිණිය යුතු බව ඇගේ අදහසයි. දම්බීස මෝයෝ ඒ වෙනුවෙන් ඉදිරියටත් සටන් වදිනු ඇත.