ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය පසුගියදා නිමාවට පත්වූ අතර පෙරේදා පැවති තෙවැනි සහ අවසාන විස්සයි-20 තරගයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළ නික් පොතාස් අවධාරණය කර සිටියේ මෙම අසීරු තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබූ ඉතා හොඳ තරගාවලියක් බවයි.

ටෙස්ට් තරග 3කින් එක්දින තරග 3කින් සහ විස්සයි-20 තරග 3කින් සමන්විත තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකි වූයේ එක්දින තරගයක් පමණි. අමිහිරි මතක රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වූ එම තරගාවලියේ කොල්කටාහි පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දීය කණ්ඩායම යම් තර්ජනයකට ලක් කළද දෙවැනි ටෙස්ට් තරගයේ එම ග්‍රහණයෙන් මිදී වාර්තාගත ජයක් ලබා ගැනීමට ඉන්දියානුවෝ සමත් වූහ. ධර්මසාලාහි පැවති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්ෂතා අතරට පිවිසියද අනෙකුත් තරගයන්හිදී එතරම් දක්ෂතා අතරට පැමිණීමට සමත් නොවිණි.

ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ දුර්වලතාව සුපුරුදු පරිදි ඉස්මතු වූ මෙම තරග සංචාරයේ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසත් එක්දින තරගාවලිය 21ක් ලෙසත් විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙසත් ඉන්දියානුවෝ ජය වාර්තා කළහ.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නික් පොතාස් ” ඉන්දියාවට එරෙහිව ඕනෑම තරග සංචාරයක් අසීරු එකක්. ඉගෙනගැනීම පැත්තෙන් සහ ක්‍රීඩකයන්ගෙ පැත්තෙන් බැලුවම මම හිතන්නෙ මෙතනට ආපු ක්‍රීඩකයාට වඩා හොඳ ක්‍රීඩකයෙක් මෙතැනින් ඉවත්ව යන්නෙ. දැන් ඔවුන්ට වැටහෙනවා ඔවුන්ගේ මානසික වශයෙන් දියුණු විය යුතු දේවල් සහ ශාරීරික වශයෙන් දියුණු විය යුතු දේවල්. ඇත්ත වශයෙන්ම අපිට කරන්න තව ගොඩක් දේවල් තියෙනව. මේ වගේ තරගාවලියකින් පස්සෙ අපිට තියෙන්නෙ මාර්ග 2යි. එක්කො අපි පරාජය භාරගෙන පැත්තකට වෙන්න ඕන. නැත්නම් අඩුපාඩු හදාගෙන ඉදිරියේදී හොඳින් ක්‍රීඩා කරන්න ඕන.”

එළැඹෙන බංග්ලාදේශ සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට නියමිත අතර ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ වන විට සැලසුම් සකස් කර ඇති බවද පොතාස් වැඩිදුරටත් පවසා සිටියේය. එමෙන්ම මෙම තරග සංචාරයෙන් ලත් අවබෝධයත් සමඟ බංග්ලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හොඳින් දක්ෂතා පෙන්වනු ඇතැයි තමන්ට හැඟෙන බවද ඔහු අවධාරණය කළේය.