ජේ.ආර්.ගේ ජීවිතයත්, දේශපාලනයත් අපූර්ව එකක් බව 1980 ගණන්වලදී වරක් ඉන්දීය මාධ්‍යයක පළ කර තිබිණි. දේශපාලනයේදී අපූරු කතා කියූ ඔහුට තිබුණේද අපූරු වදන් මාලාවකි.

1980 ගණන්වල එක් සාහිත්‍ය උත්සවයකදී “සාහිත්‍යය කන්ඩ දැයි” ඇසූ ජේ.ආර්. තවත් අවස්ථාවකදී “විධායක ජනාධිපති උතුමකුට කොරන්ඩ බැරි ගැහැනියෙක් පිරිමියෙක් කිරීමත් පිරිමියෙක් ගැහැනියක් කිරීමත් පමණක්” බව කීවේය.

එක්තරා ගම්උදාව උත්සවයකදී ඔහුට කියන්නට අවශ්‍ය වූයේ “ඔම්ලට්” යන්න වුවද ඒ වදන වෙනුවට ඔහු භාවිත කළේ “බිත්තර ආප්ප” යන වදනයි. “මේ ගම් උදා උත්සව භූමිය මට පේනේනේ බිත්තර ආප්පයක් වගේ” යැයි එදා කීවේ” බිත්තරය නොකඩා ඔම්ලට් එකක් හදන්න බෑ” යන ඉංග්‍රීසි වාක්‍ය නොපිටට හරවාගනිමිනි.
“තිස් අවුරුද්දකින් ඉවර කොරන්ඩ තිබූ මහවැලි යෝජනා ක්‍රමය පස් අවුරුද්දකින් ඉවර කොරාන්ඩ වුවමනායි” කී ජේ.ආර්. එය කෙටි කලකින් නිම කිරීමට මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායකට භාර දුන්නේය. එසේ නිමා කළ මාදුරුඔය ජලාශයට ඔහු කීවේ. “මාදුරුවා ඔය” කියාය. එවැනි සංවර්ධන යෝජනා ක්‍රම විවෘත කිරීමට හෝ ඒවා නිමකළ උත්සවවලට පැමිණි පාසල් සිසුවියන්ට ඔහු ඇමතුවේ “මැතිනිය” කියාය.
වරක් මිහින්තලේ පොසොන් උත්සවයකට ගිය ජේ.ආර්. මෙසේ කීවේය.

“දේවානම් පියතිස්ස රජ්ජුරුවෝ දේදුන්නත් මුණ්ඩකූරුත් අරගෙන දඩයමේ යනකොට හාමුදුරුවෝ කට්ටියක් මුණ ගැසී බුද්ධාගම බදා ගත්තා” යනුවෙනි. ඉංග්‍රීසියෙන් ඡ්ථඡපචජඥඤ ඕභඤඤඩඪඵථ (බුදු දහම වැලඳගත්තා) යන්නට ජේ.ආර්. සිතුවේ බදා ගත්තා ලෙසිනි.
ප්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ සංවිධානය ජේ.ආර්. හැඳින්වූයේ එල්.ටී.ටී.ඊ සමාගම ලෙසය. 1982 දී ජනාධිපතිවරණයට ඔහුගේ ප්‍රතිවාදියා වූයේ හෙක්ටර් කොබ්බෑකඩුවය. ජනාධිපතිවරණ රැස්වීමක් අමතමින් ඔහු මෙසේ කීවේය.
“කොබ්බෑකඩුව උන්නැහේ කියනවා එයාගෙ නැහැයත් මගේ නැහැය වගේ දිගයි කියලා. මම අහනවා එතුමාගෙන් නැහැයෙන් පුළුවන්ද ආණ්ඩු කොරාන්ඩ කියලා. ඒකට මොළේ වුවමනායි”.

ජේ.ආර්. කිසි දිනෙක ශ්‍රී ලංකා ගුවන් හමුදාව එලෙස හඳුන්වනු අසන්නට ලැබී නැත. ඔහුට අනුව ගුවන් හමුදාව අහස් යාත්‍රා හමුදාවයි. නාවික හමුදාව නැව් හමුදාවයි.
පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ දිනයේ විධායක ජනාධිපතිවරයාව සිටි ජේ.ආර්ට තුවාල සිදු නොවුණු නමුත් සිය කමිසයේ ලේ පැල්ලම් කිහිපයක් තිබිණි. සිද්ධිය පිළිබඳව ජනතාව අමතමින් ජේ.ආර් කීවේ මෙම බෝම්බ පිපිරීමෙන් තමාට කිසිදු හානියක් සිදු නොවූ බවත් තම කමිසයේ ඇත්තේ තමන්ගේ ලේ නොවන නමුත් එම කමිසය “ස්මාරකයක්” ලෙස තබා ගන්නවා යනුවෙනි.

ජේ.ආර්.ගේ ලොකුම හිසරදය වූයේ විජේවීරය. ජේ.ආර්. විජේවීර හැඳින්වූයේ “රෝහාන් විජේවීර” නමිනි. ජනතා විමුක්ති පෙරමුණ හැඳින්වූයේ “ජාතික විමුක්ති පෙරමුණ” ලෙසය.

“ආණ්ඩුවේ වැරදි ඇත්නම් ඒ ගැන වාද කොරාන්ඩ රෝහාන් විජේවීරට ගෝල්ෆේස් පිට්ටනියට එන ලෙස ජේ.ආර්. අභියෝග කළේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ජේ.ආර්ගේ කියමන ගණනකට ගත්තේ නැත.
ඉන් ටික කලකට පසු ජේ.ආර්. නැවතත් කටහඬ අවදි කළේ මෙලෙසිනි.
“හෙනං… තමුන්නාන්සේලා තේරුම් ගන්ඩ වුවමනායි. කැටපෝලවලින් විදලා කවදාවත් ආණ්ඩු පෙරළන්ඩ බෑ. ආණ්ඩුවට විරුද්ධව කවුරුහරි යුද්ධ ප්‍රකාශ කරනවා නම් මං ඒ අයට කියන්ඩ කැමැතියි හැංගෙන්ඩ ගල්ගුහාවක් හොයාගන්ඩ කියලා”.

1977 මහ මැතිවරණ වේදිකාවේදී අද මෙන්ම එදාත් දේශපාලන පක්ෂ නායකයෝ ජනතාවට විවිධ පොරොන්දු දුන්හ. නොමිලේ ධාන්‍ය රාත්තල් අටක් පවුලකට ලබා දෙන පොරොන්දුව ජේ.ආර්. ජයවර්ධන දුන් එවැනි එක් පොරොන්දුවකි.
එහෙත් ඡන්දය ජයගත් පසු එම පොරොන්දුව පොරොන්දුවක් පමණක්ම විය. එනිසාම බෙහෝ දෙනා වරින්වර ජේ.ආර්. ලබා දෙනවා යැයි කියූ “ඇට අට” පිළිබඳව විමසන්නට වූහ.

බොරැල්ල මංසන්ධියේ පැවති එක් ජන රැලියකදී ජේ.ආර්. ඊට පිළිතුරක් දුන්නේ එය සංවිධානය කළ බොරැල්ල සංවිධායක එම්.එච්. මොහොමඩ් ඇතුළු බොහෝ පිරිසකගේ මුවගට සිනා නංවමිනි.

“සමහරු අද අපෙන් අහනවා දෙනවා කියූ ඇට කෝ.. ඇට කෝ… කියලා. ඉස්සර වගේ නෙවෙයි දැන් මේ රටේ ඕනෑම කඩේක එක එක ජාතියේ ඇට ජාති විකුණන්ඩ තියෙනවා. අද පුළුවන් තමුන්නාන්සේලාට තමුන් කැමති ඇටයක් තෝරගන්ඩ…”

බන්ධුල ගුණරත්න