අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙරට ආනයනික භාණ්ඩ සදහා ලබාදී තිබූ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළඳ වරණය  පිළීබඳ පොදු ක්‍රමය හෙවත්  ජි.එස්.පී සහනය නොමැති වීමෙන් මෙරට ඇඟළුම් කර්මාන්තයට බලපෑම් එල්ල නොකරන බව ශ්‍රී ලංකා ඇඟළුම් ආපනයන කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ උප සභාපති රෙහාන් ලකානි මහතා පවසන්නේ අමෙරිකාවෙන් ලබාදී තිබූ එම ජී.එස්.පී සහනය අහිමි කිරීම ලංකාවට බලපෑමක් ඇති නොකරන බවයි.
ජෙරුසෙලම,  ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට අමෙරිකාව විසින් ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පසුගියදා එක්සත් ජාතීන්ගේ සවිධානයේදී විරෝධය පළ කිරීම ද ජී.එස්.පී සහනය නොලැබී යාමට හේතුවක් වන්නට ඇති බව ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසීය.
මේ අතර මෙරට විදේශ අමාත්‍යංශය අමෙරිකානු ජී.එස්.පී සහනය දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ මීට පෙර අවස්ථා කිහිපයකදී ද අමෙරිකානු ජී.එස්.පී සහනය කල් ඉකුත් වූ බවයි.
එම අවස්ථාවන් හීදී අමෙරිකාව ජී.එස්.පී සහනය යළි ලබාදීම ප්‍රමාද කළ බව පෙන්වා දෙයි.
ජී.එස්.පී සහනය මෙරටින් අපනයනය කෙරෙන විවිධ භාණ්ඩ 3500ක් සඳහා බලපාන අතර තෝරාගත් භාණ්ඩ සඳහා මෙම ජී.එස්.පී සහනය ලබාදී ඇති බව විදේශ අමාත්යං ශය ප්‍රකාශ කළේය.
මැණික්, ධීවර නිෂ්පාදන, රසායනික හා ඛනිජ ආදී නිෂ්පාදන ඊට අයත් වී තිබේ.
ජී.එස්.පී සහනය යළි ලබාදීමට අමෙරිකාව ඉදිරියේදී කටයුතු කරනු ඇති බවට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව අදාළ නිවේදනයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.