විශ්‍රාම ලත් වෛද්‍ය පරිපාලකයින්ගේ අභිනන්දන උත්සවය සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී පසුගියදා පැවැත්විනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – වෛද්‍ය පරිපාලකයින් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශාල කැපවීමක් ලබාදෙනවා. සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ අයිතියක්. මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ විශ්වීය ප්‍රකාශණයේ දැක්වෙන්නේ සෑම පුද්ගලයෙකුටම තමා සහ තම පවුල උතත් මට්ටමේ සෞඛ්‍යමය සහ යහපත් ජීවන මට්ටමක පවත්වාගෙන යාමේ අයිතියක් ඇති බවයි. උසස් ජීවන මට්ටමේ සතුටුදායක සෞඛ්‍ය තත්ත්වයන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය එය විග්‍රහ කරනවා. අපගේ සෞඛ්‍ය සේවාව මේ වන විට ජාත්‍යන්තරය ද පිළිගෙන තිබෙනවා. එහි පදනම වන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවක් අප රට තුල ක්‍රියාත්මක වීමයි. සෞඛ්‍යට අදාල විශාල ප්‍රගතියක් අප ලබාගෙන තිබෙනවා. උපරිම ආයු අපේක්ෂාව, කාන්තා සහ පිරිමි අතර සමාන සාක්ෂරතාවයක් පැවැතීම, පාසල් අධ්‍යාපනය, අවම මාතෘ මරණ හා ළදරු මරණ අනුපාතය යන කරුණු අතින් කළාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව අප ඉදිරියෙන් සිටිනවා. සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ ප්‍රවර්ධනය සැළකීමේ දී වෛද්‍ය පරිපාලකයින් හදුන්වාදීම ඉතා වටිනා හැරවුම් ලක්ෂයක්. එම ක්‍රියාවලියේ දී වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය අනගිබවනීය මෙහෙවරක් සිදු කරනු ලබනවා. වෛද්‍ය පරිපාලනය අභියෝගාත්මක කාරණයක්. එම ඉළක්කය ජය ගැනීමට ඔබ සතුව ආත්ම විශ්වාසය තිබෙන බව මා පිළිගන්නවා.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් විශ්‍රාම ලත් වෛද්‍ය පරිපාලකයින්ට සම්මාන පිරිනමන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සුජාතා සේනාරත්න මහත්මියසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු වෛද්‍ය පරිපාලකයින් රැසක් එක්ව සිටියහ.