නීතී විරෝධීව දැරණියගල නගරයේ සිට විකාශනය කළ සිසි FM නමැති නාලිකාවක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිළධාරින් විසින් වටලා තිබෙනවා.

එම ගුවන්විදුලිය 90.1 MHz ඔස්සේ තම ගුවන්විදුලිය විකාශය කර ඇති බවයි වාර්තා වන්නේ.

කොමිෂන් සභාව සතු අති නවීන පිරික්සුම් පද්ධතිය මගින් මෙම ස්ථානය අනාවරණය කරගත් අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

ගුවන් විදුලි විකාශයක් සඳහා අවශ්‍ය සියලු තාක්‍ෂණික උපකරණ හා ඒ සඳහා සහාය වන අනෙකුත් උපකරණ විශාල තොගයක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබාගත් නිසි බලපත්‍රයක් නොමැතිව ගුවන් විදුලි තරංග විමෝචක උපකරණ භාවිතා කිරීම 1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27දරණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වනවා.

මීට පෙරද මෙවැනි නීති විරෝධී විකාශන උපකරණ හා එම විකාශන වලට සම්බන්ද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයන් හි නඩු පවරා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ශාමල් ජයතිලක මහතා පවසනවා.

නීති විරෝධි සංඛ්‍යාත විමෝචන උපකරණ ක්‍රියාත්මක කලහොත් විනාඩි කිහිපයක් තුලදී හඳුනාගැනීමට හැකිවන ස්වයංක්‍රීය සංඛ්‍යාත පිරික්සුම් මධ්‍යස්ථාන 2018 වසරේ දී මුලු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපනය කෙරෙනු ඇති.

ඒ මගින් නීති විරෝධීව ගුවන් විදුලි තරංග විමෝචන උපකරණ හා භාවිතා කරන්නන් ක්‍ෂණිකව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

දැරණියගලදී අත්අඩංගුවට ගත් උපකරණ හා සැකකරුවන් අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.