මත්පැන් පානය කරන්නන්ට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනපතිවරයා මේ කරුණු අනාවරණය කළේ පෙරේදා (30 දා) පොළොන්නරුව පළුගස්‌දමන ප්‍රදේශයේ පැවැති ජනහමුවක්‌ අමතමිනි.

මෙතෙක්‌ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වූයේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා පමණක්‌ වුවද, මෙවර පළාත් පාලන මැතිවරණයත් සමඟ මිනිසුන්ගේ ගුණවත්කම් සහ යහපත්කම් සංවර්ධනය කරමින් යහපත් සමාජයක්‌ ගොඩනැඟීමේ පුළුල් වැඩසටහනක්‌ ඒ තුළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පැවැසීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කිසිදු අපේක්‍ෂකයකුට කුමන පක්‍ෂයක්‌ නියෝජනය කළද ඡන්දය ලබානොදෙන ලෙස මෙහිදී ජනතාවට පැවසූ ජනාධිපතිතුමා රටට සහ මතු පරපුරට ආදර්ශයක්‌ ලබාදිය හැකි මහජන නියෝජිතයන් පිරිසක්‌ රටට සහ ගමට තෝරා පත්කරගත යුතු බවද අවධාරණය කළේය.

අලුතින් පත්වන නගර සභා සහ පළාත් සභා නියෝජිතයන් ඒකරාශී කර ගනිමින් මීට පෙර කිසිදු ආණ්‌ඩුවක්‌ ගෙන නොගිය වැඩසටහනක්‌ දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රටේ අනාගතය වෙනුවෙන් බලඇණි ස්‌ථාපිත කරන බවද සඳහන් කළේය.

අද රට හමුවේ පවතින ප්‍රධාන අභියෝගයක්‌ බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය ගලවා ගැනීම සඳහා මෙවර මැතිවරණයට ඉදිරිපත් වන කාන්තා නියෝජිතවරියන් ඒකරාශී කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ බළකායක්‌ ගොඩනැඟීමට කටයුතු කරන අතර, අද රටේ කීර්තිනාමයට දැඩි හානියක්‌ව පවතින සියදිවි නසා ගැනීම්, වැළැක්‌වීම සඳහා තරුණ නියෝජිත නියෝජිතවරියන් ඒකරාශී කර ගනිමින් වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

කරුණාරත්න ගමගේ – අරලගංවිල රොෂාන් තුෂාර