මෙවර මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොව පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයින් තෝරාගන්නා මැතිවරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දමිළ ප්‍රගතිශීලී සන්ධානය හැටන් DKW ශාලාවේදී පැවැත්වූ ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය වටා ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා 2015 වසරේදී සෙසු දේශපාලන පක්ෂ සහ ජනතාව ඒකරාශී වූවා සේම මෙවර පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සියලුදෙනා ඒකරාශී වී සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.

අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ඉල්ලීම පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව වැඩිකිරීමට තම ආණ්ඩුව කටයුතු කළ බවත් ඊට පෙර පැවති කිසිඳු ආණ්ඩුවක් වැවිලි ප්‍රජාව වෙනුනෙන් එවැනි සේවාවක් සිදුකර නොමැති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

කඳුකරයේ ප්‍රජාව භාර අමාත්‍යවරයා බවට පලනි තිගාම්බරම් මහතා පත්කිරීමට තමා පියවර ගත්තේ වැවලි ප්‍රජාව වෙනුවෙන් සේවය කිරීම සඳහා බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා විසින් වැවිලි ප්‍රජාව උදෙසා නිරවුල් ඔප්පු සමඟ නිවාස ලබා දීමේ වැඩසටහන සහ ඔවුන්ගේ යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

තිගාම්බරම් අමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙළ ඉන්දීව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැසසුමට ලක්වූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2020 පැවැත්වෙන මැතිවරණයේදී ජනාධිපතිවරයා බවට පත්කිරීමට කැපවී කටයුතු කරන බව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා අදහස් දක්වමින් මෙහදී ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂය රටට සේවය කර ඇති පක්ෂයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ජාතිවාදී නොවන පුද්ගලයෙකු බවත් එතුමා සියලු ජාතීන්ගේ සිත දිනාගෙන සිටින පුද්ගලයෙකු බව අමාත්‍යවරයා කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයාට ඇතැමුන් අසත්‍ය චෝදනා එල්ල කිරීමට උත්සාහ කළත් ඒවා ඔප්පු කර ගැනීමට ඔවුන්ට නොහැකිවනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුනි.

වැවිලි ප්‍රජාව වෙනුවෙන් තම ඉල්ලීම පරිදි ඉඩම් හිමිකම් ඔප්පු සමඟ නිවාස ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂ රජය බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මෙවර මැතිවරණයේදී ඒ සඳහා කෘතගුණ දැක්වීමට වැවිලි ප්‍රජාව කැපවී සිටින බවයි.