හදිසි විශේෂ රැස්වීමක් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයකින් කතානායක කරු ජයසූරිය හෙට (10දා) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව කැඳවයි. අංක 2053/02 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් කතානායකවරයා මේ රැස්වීම කැඳවා තිබේ.

මෙම හදිසි රැස්වීමේ කාල වේලාව ගැන තීරණය පිණිස පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක්ද අද (9දා) කැඳවා ඇත.
විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝග 14 ප්‍රකාරව කැඳවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
නව වර්ෂයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණේ මෙම මස 23දා අඟහරුවාදා පස්වරු 1ටය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාදය පිණිස පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාට දන්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ ඉරිදා (7දා) පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ හමුවේදී ද ප්‍රකාශ කළේය.
බැඳුම්කර වාර්තාව පිළිබඳ හදිසි විවාදයක් පැවැත්වීමට තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පවත්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණද කතානායකවරයාගෙන් ඉල්ලා තිබිණි.

ඒ අනුව පක්ෂ නායක රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (9දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේ කතානායක නිල මැදිරියේදී පැවැත්වේ.
විවාදයේ කාලවේලාව සම්බන්ධ තීරණය කිරීම මෙම පක්ෂ නායක රැස්වීමේදී සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවැසීය.