අප මේ වනවිට තිස්‌සමහාරාම බල ප්‍රදේශයේ තරුණ තරුණියන් 5,750 කට වැඩි ප්‍රමාණයකට රැකියා ලබා දී තිබෙනවා. අප ලබා දුන් රැකියා පත්වීම් තාවකාලික ඒවා බවට විරුද්ධවාදීන් අද චෝදනා කරනවා. මෙම රැකියා පත්වීම් සියල්ලම අනිවාර්යයෙන්ම අප ස්‌ථිර කරන බව මා ඉතාම වගකීමෙන් යුතුව පවසනවා. මීට අමතරව තරුණ තරුණියන්ට තවත් රජයේ රැකියා පත්වීම් 15,000 ක්‌ ලබා දීමට අප කටයුතු කරනවා යෑයි නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දින තිස්‌සමහාරාම යෝධකණ්‌ඩිය පොළ භූමියේ පැවති ජනහමුවක්‌ අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌ වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

පසුගිය කාලය පුරාම මේ රටේ බලයේ සිටි පාලකයන්ට දුප්පත් ජනතාව වෙනුවෙන් යමක්‌ කරන්න බැරි වුණා. තරුණ තරුණියන්ට රැකියා දෙන්න බැරි වුණා. ඒ අයගේ කාලයේදී කළේ ඒ අයගේ සහ තමන්ගේ හෙන්චයියලාට අතමිට සරු වෙන ව්‍යාපෘති විතරයි. දුප්පත් ජනතාව වෙනුවෙන් ඒ කිසිවෙක්‌ සේවය කළේ නෑ. පසුගිය රජය කාලේ ජනතාවට බෙදාදීමේ පුරුද්දක්‌ ඔවුන්ට තිබුණේa නෑ. සෑම දෙයක්‌ම ඔවුන් විතරක්‌ බෙදාගත්ත එක විතරයි කළේ. කවදා හෝ දවසක නැවත ජනතාව හමුවට යන්න වේවි කියලා හිතුවේ නෑ. අද මේ යහපාලන රජය පත්වීමෙන් පසු අපි ජනතාව වෙනුවෙන් සේවය කරනකොට අපේ විරුද්ධවාදීන්ට ඒවා බලාගෙන ඉන්න බැරිවෙලා තියෙනවා. මම හැමදාම කියන කතාවක්‌ තමයි මේ මම වැඩ කරන්නේ ජන්ද ඉලක්‌ක කරගෙන නෙමෙයි කියන එක. බලය නොතිබුණු කාලෙදිත් මා ජනතාව වෙනුවෙන් සේවය කළා. බලයට ආවම වැඩිපුර ජනතාවට සේවය කළා. මා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කළේ අද ඊයෙක නොවෙයි. එය මැතිවරණය ඉලක්‌ක කර ගනිමින් සිදු කළ දෙයක්‌ද නොවෙයි. මගේ ජනතාවට සහන ලබා දීම මා ආරම්භ කළේ 1994 වසරේ සිටයි. එය සමහරු නොදන්නවා ඇති. මා දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට කිසිවිටක මේ දේවල් කරන්නේ නැහැ. මා සෑම දිනකම අසරණ ජනතාවට සරණක්‌ වෙමින් මගේ සංවර්ධන කටයුතු සිදු කළා. එය ඔවුන්ට අමතක නම් නැවත මා එය මතක්‌ කර දෙන්නට කැමතියි. අපට යම් කිසි කෙනකු නියෝගයක්‌, උපදෙසක්‌ ලබා දුන් විට අප හිස මුදුනින් එය පිළි ගන්නවා. පසුගිය රජයේ නායකයන් මෙන් අප ඒවා නොසළකා හරින්නේ නැහැ. අප බලය අතට ගෙන කිසිවිටක වැඩ කටයුතු කරන්නේ නැහැ. තනතුරු යොදාගෙන නීතිය කඩ කරන්නේත් නැහැ. අපට ලැබුණ නියෝගවලට අප සාමකාමීව සවන් දුන්නා. යහපාලන රජයේ අපේ ක්‍රියාකලාපය මෙයයි.