resa

ශ්‍රී ලංකාව කියන නම ලෝකයට ගෙන චරිත ලයිස්තුවෙ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි ආසියාවේ කළු වෙළඹ කියන්නේ. සුසන්තිකා ජයසිංහ කියන නම ඒ තරම්ම මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ සන්නාමයක් වී අවසන්. ලංකාවට රිදී පදක්කමක් ගෙන ආ ප්‍රථම සහ එකම කාන්තාව ලෙස ඇය ගැන, ඇගේ දස්කම් ගැන ඇගේ පෞරුෂය ගැන නොදන්නා කෙනෙක් නැහැ. එම නිසා “රැස- ලිය” මෙවර අරුත්බර කරන්නට අපි ඇයට ආරාධනා කළා.

ඉතින් සුසන්තිකා, කොහොම ද ජිවිතේ?
ජීවිතේ දුකයි – සතුටයි එක්ක ගත වෙනවා. දැන් ළමයිනුත් ඉන්න නිසා වියදම සැර වැඩියි. කාර්යබහුලයි. වගකීම් වැඩියි.

මේ දවස්වල වැඩ කටයුතු ගැන කිව්වොත්?
මේ දවස්වල පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සවවලට ආරාධනා ලැබෙනවා. ඒ වගේම ක්‍රීඩා ඇමතිතුමාගෙ උපදේශිකාවක් හැටියට කටයුතු කරනවා.  පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා පුහුණු වෙන කණ්ඩායම සහ පුහුණු සංචිතයේ සියලුම අධීක්ෂණයන් මා යටතේ තමයි සිදු වෙන්නෙ. ඒ වගේම මමත් පෞද්ගලික පුහුණු කීරීම් කරනවා.

ජීවිතේ ආපසු හැරිලා බලනවිට කාන්තාවක් විදිහට මේ ආපු ගමන්මඟ ගැන මොකද හිතෙන්නෙ?
ගොඩක් සතුටුයි. ආඩම්බරයි. මම මගේ ජීවිතේ ගොඩක් දේවල් ලබාගෙන තියනවා. කාන්තාවක් වීම තුළ මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි මව් පදවිය. ඒ වගේම ගැහැනියක් ලෙස මම කාටවත් කරන්න බැරි වුණු දෙයක් කරලා පෙන්නුවා ලංකාවට පළවෙනි රිදී පදක්කම ගෙනල්ලා. ඒ ගැන ලොකු අභිමානයක් තියනවා.

කාන්තාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයේ  මීට පෙර  තිබුණෙ කවරාකාරයේ තැනක් ද?
ඉස්සර නොදියුණු වකවානුවේ හැමදේම හරිම සීමිතයි.  ක්‍රීඩා ක්ෂේත්‍රයෙත් එහෙමයි. ඒත් දැන් සමාජෙ ලොකු විපර්යාසයක් වෙලා තියනවා.ඒ නිසා එදයි අදයි මට සංසන්දනය කරන්න බැහැ.

ජීවිතේ කලකිරුණු තැන් තියනවා ද?
මගේ ජීවිතේ වැඩිපුරම තියෙන්නෙ කලකිරුණු තැන් තමයි. ජීවිතේ නොතේරුම්කමට කරපු දේවල් නිසා වැරදිලා පාඩු සිදුවූ  තැන් එමටයි. ඒ වුණු දේවල් මකන්න බැහැ කියලා මම දන්නවා. ඒත් ඒවයින් මම පන්නරයක් සහ අවබෝධයක් ලබලා ඉදිරියට යනවා.

ලෝකෙම දිනපු සුසන්තිකාට තමන්ගෙ පවුල දිනාගන්න බැරි වුණා කියලා කවුරුත් කිව්වොත්?
ඒක මම හිස නමලා පිළිගන්නවා. මගේ අම්මා තමයි මේ ලෝකේ ඉන්න චරිතවත්ම ගැහැනිය. මට අම්ම වගේ වෙන්න බැරි වුණා. අම්ම තාත්තා සමඟ ගත කරපු ජීවිතේ මට ලබන්න බැරි වුණු එක ගැන මම ජීවිත කාලෙම දුක්වෙනවා. ඒ වගේ ජීවිතයක් මම මගේ දරුවන්ට හරි ලබාදෙනවා.

අම්මගෙ චරිතය සුසන්තිකාගෙ ජීවිතය බලපෑවෙ කොයි විදිහට ද?
අපි දුප්පත් පවුලක්. මගේ අම්මගෙ ආර්ථික කළමනාකරණය දිහා බලනකොට කළමනාකරණ විශාරදවරුන්ට  මගේ අම්මත් එක්ක හැරෙන්නවත් බැහැ. අරපිරිමැස්ම,මුදල් කලමනාකරණය මේ හැමදේම මම ඉගෙනගත්තෙ අම්මගෙන්. ගමක ගැහැනියක් වුණාට මගේ අම්මා පුදුමාකාර හයියක් තියෙන කෙනෙක්. ජීවිතේ කළමනාකරණය ගැනත් අපිට මුල් පාඩම් කියලා දුන්නෙ අම්මා.

ඒ වුණාට ජීවිතයෙ කලමනාකරණය කියන මාතෘකාවෙන් සුසන්තිකා අසමත් නේද?
දැන් කතා කරන සුසන්තිකා පණ්ඩිත වුණාට එදා අවුරුදු 21දි ලෝකෙ දිනපු සුසන්තිකා එහෙම නැහැ. මම වරකාපොල උඩුවක ගමේ කෙල්ලෙක්.   මම  සමාජයේ තැලිලා පොඩි වෙලා තිබුණෙ නැහැ. ඒ අවබෝධය නැති නිසා තමයි ජීවිතය කළමනාකරණය කරගන්න බැරි වුණේ. ප්‍රශ්න ඇති වුණා. ඒවා විසඳ ගත්තා. ඒත් ජීවිතයේ කළමනාකරණය මට අතපසු වුණා. ඒත් මම ජීවිතයේ ගොඩක් දේවල් ආයෝජනය කරපු කෙනෙක්.

කාන්තාවක් ලෙස ජීවිතයේ මගහැරුණු තැන් තියෙනවා ද?
අනන්තවත් තියෙනවා. මට තව ටිකක් තරුණ කාලේ ගත කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මම විවාහ වුණේ අවුරුදු 18 දී. අඩු වයසින් විවාහ වුණු නිසා මගේ තරුණ කාලේ මඟ හැරුණා. ඒ වගේම ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු කරපු නිසා අධ්‍යාපනය මට මඟහැරුණා. මට තියෙන්නෙ සාමාන්‍ය පෙළ විතරයි. උසස් අධ්‍යාපනය හදාරන්න තිබුණා නම් හොඳයි කියලා  හිතිලා තියෙනවා.

ඉස්සර සුසන්තිකාට තිබුණු ප්‍රසිද්ධිය තාමත් තියෙනවා ද?
ඔව්. ඒ අතින් මම වාසනාවන්තයි. ඒ ලැබෙන ආදරය, ආශිර්වාදය මට තරම් වෙන කාටවත් ලැබෙන්නෙ නෑ. කොහෙ ගියත් මගේ ජීවිතේ මට කියලා ඉතුරු වුණු වටිනාකම තමයි ඒක. ඔලිම්පික් තරඟාවලියක් එන වාරයක් පාසා මම නැවත උපදිනවා. මාව හැමෝටම මතක් වෙනවා. මම ඒ ටික ඇති මුළු ජීවිත කාලෙටම.

වර්තමාන  කාන්තාවගේ භූමිකාව ගැන මොකද හිතෙන්නෙ?
අතීත වර්තමානයේ කියලා වෙනසක් නැහැ. කාන්තාව කොහොමත් හැඟීම් බරයි. ඒ හැඟීම් ඉස්සරහට එනකොට වගකීම්, මඟහැරෙනවා. නමුත් සුදුසු තමයි හැඟීම් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. වර්තමාන කාන්තාව ගෘහණිය කියන භූමිකාවෙන් ඉවත් වෙලා මුදල් උපයන්න, පවුලෙ බර කරට ගන්න රැකියාවල නිරත වෙනවා. ඒ ගැන මම සතුටුයි. ඒත් කාන්තාවගේ තියෙන නිහතමානිකම, මව්වත්කම, ගෑනුකම ඒ නිසා ඈත්වෙනවට මම කැමති නැහැ.

අම්මා කෙනෙක් විදිහට තමන්ගෙ දරුවන්ට යුතුකම් ඉෂ්ට කරලා තියෙනවාද?
මම චුට්ටක්වත් දරුවො මඟහැරෙන්න දීලා නැහැ. පුළුවන් හැම කාලයම මම දරුවො වෙනුවෙන් වෙන් කරනවා. මම විතරක් නෙමෙයි මගෙ අම්මා තාත්තාගෙ ආදරේ එයාලට ලැබෙනවා. මම හොඳ අම්මා කෙනෙක් කියලා මම ආඩම්බරෙන් කියනවා.

සුසන්තිකා ජයසිංහට හිතෙන්නෙ නැද්ද ආයිමත් අර ඇත්නාවල, උඩුවක හිටපු ගමේ කෙල්ලම වෙලා කියලා?
මම භෞතික වශයෙන් වෙනස් වෙලා ඇති. ඒත් මගේ ගැමිකම තාමත් එහෙමමයි. මට ආයෙත් වෙන්න දෙයක් නැහැ. මම කොහොමත් ගමේ කෙල්ලෙක් තමයි. වෙනස තියෙන්නෙ ගමේ කෙල්ල ගමේ ගැහැනියක් වෙච්ච එක විතරයි. මම නගරෙ හිටියට මගේ චින්තනය හැදිලා තියෙන්නෙ ගමෙන් ගත්ත දේවල්වලින්.