පළාත් පාලන ආයතන 340ක් සඳහා පැවැති පළාත් පාලන මැතිවරණයේ බහුතර පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබේ.

ඒ අනුව පළාත් පාලන ආයතන 250කය අධික ප්‍රමාණයක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විසින් ජයග්‍රහණය කර ඇත.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ බහුතර බලයක්‌ හිමි නොවන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්‌ෂ අතර අභ්‍යන්තර නිල නොවන මට්‌ටමින් සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බවයි.

නව මැතිවරණ ක්‍රමයට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලයක්‌ ලබා ගැනීමට අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයෙන් සියයට 55 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගත යුතු වේ.

බහුතර බලයක්‌ නැති ආයතනවල මධ්‍යම ආණ්‌ඩුව මෙන් ශ්‍රීලනිපයත් සමග එක්‌ව බහුතර බලයක්‌ පිහිටුවා ගත යුතු බවට එජාපයේ මතය වී ඇති අතර ඒකාබද්ධ විපක්‌ෂය සමග එක්‌ව බහුතර බලයක්‌ ඇති කරගත යුතු බවට ශ්‍රීලනිපයේ මතය වී ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වෙතත් අද (11) මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වීමෙන් පසුව නිල වශයෙන් පක්‌ෂ අතර සාකච්ඡා සිදු කිරීමට සැලසුම් කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

බහුතර බලයක්‌ ගොඩනැඟීමට පැවැති සාකච්ඡාවලදී යම් යම් පක්‌ෂ එකඟ වී ඇතත් එම ආයතනවල නගරාධිපති හෝ සභාපති ධුරයන් ලබාදීම පිළිබඳව එකඟතාවට පැමිණීමට මෙතෙක්‌ කිසිවකුට නොහැකි වී ඇතැයි ද වාර්තා වේ.