උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් තමන්ට බොන්න වතුර ටික අහිමි වුණු, තමන්ගෙ නිවාස අහිමි වුණු, තමන්ගේ ජීවනෝපාය අහිමි වුණු, තමන්ගෙ සහෘදධයාගේ ජීවිතය අහිමි වුණු බණ්‌ඩාරවෙල ජනතාව තමන්ට විනාශය කැඳවපු අයට තමන්ගෙ ඡන්දය ලබා දුන් බවත් ඒ වෙනුවෙන් සටන් කරපු ජනතාව පරාජයට පත්කළ බවත්, ජනතා විමුක්‌ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය හේතුවෙන් නිවාස සහ දේපළ අහිමිවූවන් සඳහා කඩිනමින් සහන සලසන ලෙසට අදාළ බලධාරීන් වෙත නියෝග කරන ලෙස ඉල්ලා බදුල්ල පළාත් බද මහාධිකරණයේ පනවා තිබූ නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව පෙරේදා (12 දා) බදුල්ල නගරයේදී මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

බණ්‌ඩාරවෙල ජනතාව මෙවර මැතිවරණයේදී උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ යටතේ තරග කරපු අපේ කණ්‌ඩායම පරාජය කරා. අපි බණ්‌ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ 03 වන ස්‌ථානයට පත්කරලා තියෙනවා. අපි බණ්‌ඩාරවෙල ආසන 10 ම පරාජය වෙලා කොට්‌ඨාස 16 න් බණ්‌ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ අපට ලැබුණෙ මන්ත්‍රී ධුර 02 යි.

අපි අවුරුදු ගණනාවක ඉඳලා උමා ඔය ප්‍රශ්නය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කැප වෙලා වැඩ කළා. පවුල් 7000 කට වැඩි ජනතාවකට බොන්න තිබුණු වතුර ටික නැති වෙනකොට ඒ ජනතාවට උමා ඔය සහන කමිටු ලේකම් කාර්යාල හරහා වතුර ටික අරගෙන දුන්නා. බවුසර් 76 ක්‌ ගෙනල්ලා දවසකට වතුර ලීටර් පන් ලක්‌ෂ අසූ හය දහසක්‌ ලබල දෙන්න පහසුකම් සලසලා දුන්නා. කෝටි ගාණක වගා හානි අරගෙන දුන්නා. පුපුරලා විනාශ වුණු 7555 නිවාස සඳහා සහන ලබල දුන්නා. අපිට ඡන්දය නොදුන්න ඒ ජනතාව වෙනුවෙන් අදත් අපි උසාවි ආවා. තවදුරටත් ඒ ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරලා දෙන්නයි අපිට අදත් අධිකරණයට එන්න සිද්ධ වුණේ.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අපි අදත් කනගාටු වෙනවා. තමන්ට බොන්න වතුර ටික අහිමි වුණු තමන්ගෙ නිවාස අහිමි වුණු තමන්ගෙ ජීවනෝපාය අහිමි වුණු, තමන්ගේ සහෘදයාගේ ජීවිතය අහිමි වුණු, ඒ ජනතාව තමන්ට විනාශය කැඳවපු අයට තමන්ගෙ ඡන්දය දුන්නා. ඒ වෙනුවෙන් සටන් කරපු ජනතාව පරාජයට පත්කරා. විශේෂයෙන් උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සම්බන්ධයෙන් අපේ කනගාටුවක්‌ තියෙනවා. එහෙම තත්ත්වයක්‌ යටතේ වුණත් අපි මහා සංඝ රත්නය පෙරටු කරගෙන ඒ ජනතාව වෙනුවෙන් යම් සහනයක්‌ ලබාදීම වෙනුවෙන් අදත් අධිකරණයට ඇවිත් සාධාරණය ඉල්ලා සිටියා.

අධිකරණයෙන් මොනවාගේ තීන්දුවක්‌ ලබල දෙයිද කියන්න අපි දන්නෙ නැහැ. අපටත් මේ තත්ත්වය උඩ මහ පාරෙ සටන් කිරීමේ ශක්‌තිය එකපාර ගොඩ නගා ගන්න බැරි වෙයි. ජනතාවට සහන එපා කියන පැත්තෙද, විනාශය සාධාරණයි කියන පැත්තෙද මේ ප්‍රශ්නෙ තියෙන්න කියලා අපිටත් හිතන්න වෙනවා. ඒ කොහොම වුණත් අඳුරු යුගයකට රට ඇදගෙන යන ස්‌වභාවයක්‌ අපට පේනවා.

රටේ ජනතාව සොරකම් කරපු අයට නැවතත් බලය දීලා තියෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් මේකෙ වගඋත්තරකාරයො බවට පත්වෙනවා. 2015 ජනවාරි මාසෙ ජනවරම නිසි ලෙස ක්‍රියාත්මක නොකරමින් කළ වරදට අද ඒ අය දඬුවම් ලබලා තියෙනවා. නමුත් ඒ දඬුවම නැවත ජනතාවගෙ කර මත පටවන්න හදන එක ගැන අපිට කනගාටුවක්‌ තියෙනවා. මේ රට නැවත අඳුරට යන්න දෙන්න බැහැ. ඒ වගකීම අපේ කරමත වැටිලා තියෙනවා.

පක්‍ෂයක්‌ හැටියට අපි බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය අපිට ලැබුණේ නැතත් අපිට යම් සතුටක්‌ තියෙනවා. අපි යම් ප්‍රගතියක ඉන්නවා කියලා. මේ රටේ සිදුවී ඇති විනාශයට සාපේක්‌ෂව රටේ ජනතාව තීන්දුවක්‌ අරගත්තෙ නැති ස්‌වභාවයක්‌ අපිට දකින්න තියෙනවා.

පක්‍ෂයක්‌ හැටියට අපිත් යම් විග්‍රහයකට අරගෙන ඉදිරියේදී අපේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් යම් තීන්දු තීරණවලට යන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් මේ රට අඳුරු දිසාවට ඇඳගෙන යන්න අපි ඉඩ තියන්නෙ නැහැ. මේ රට අපේ අනාගත පරම්පරාව නිවැරැදි තැනකට රැගෙන යැම සඳහා අවශ්‍ය කටයුතු අපි පක්‍ෂයක්‌ හැටියට ඉදිරියේදී ක්‍රියා කරනවා.

හොරු අල්ලනවා කියලා බලයට ආපු අයත් හොරකම් කළා. නැවතත් හොරු නායකත්වය දරන පක්‍ෂවලට සැලකිය යුතු බලයක්‌ රටේ ජනතාව දීලා තියෙනවා. මේක අවාසනාවන්ත තත්ත්වයක්‌. මේ රටේ ජනතාව බුද්ධිමත් ආකාරයට කල්පනා කරපු කාලය දැන් පසු කරමින් ඉන්නවා. මෙවැනි තත්ත්වයක්‌ උඩ රට දැඩි විනාශයකට වැටෙන්න පුළුවන්. ඉදිරි දවස්‌ කිහිපය තුළ දේශපාලන කුණාටු හමාගෙන එන්න පුළුවන්.

රට සැලකිය යුතු ආකාරයට අරාජික තත්ත්වයට ගොදුරුවීමේ තත්ත්වයක්‌ මේ දින වල පේනවා. ජාත්‍යන්තර මට්‌ටමිනුත් රට සැලකිය යුතු අර්බුදවලට ලක්‌වීමේ ඉඩකඩ ඉදිරියේදී මතු වෙන්න පුළුවන්. රටේ ජනතාව මේ සම්බන්ධයෙන් කල්පනා කළ යුතු මැතිවරණයක්‌ පසු කළා. මේ රටේ වගකිව යුතු දේශපාලන පක්‍ෂ නායකයින් මේ රටේ ජනතාවට වග කියන්නේ නැහැ කියන එක අපි අද ජනතාවට මතක්‌ කරනවා.

රටේ දේශපාලන සූදුවක නිරත වනවා කියන එකයි අද අපිට පේන්න තියෙන්නේ. ඒ තුළ පීඩාවට පත්වෙන්නේ මන්aත්‍රීවරුන්, ඇමැතිවරුන් නොවෙයි අසරණ ජනතාව. ජනතාව මීට වඩා කල්පනා කළ යුතුව තිබුණු කාලයක කල්පනා නොකළත් ඉදිරියේදී හෝ කල්පනා කරලා තීරණයක්‌ ගන්න කියන ඉල්ලීම අපි ජනතාවට මතක්‌ කරනවා.