බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා මෙරටට කැඳවූයේ ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සලකා බැලීමට බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ලෙස ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමා වගකිව යුතු බවද ඔහු පවසයි.
ඔහු එතෙර රටක සිටින බැවින් එරට නීති පද්ධතිය අනුව කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට ඊට මැදිහත් වීමේ හැකියාවක් නොමැති බැවින් මේ අවස්ථාවේ ඔහු එයින් ඉවත්ව සිටීම නුවණට හුරු ක්‍රියාවක් බවද ඔහු සඳහන් කර සිටියේය.
එමෙන්ම මෙම සිද්ධිය රටේ ජනතාව අනවශ්‍ය ලෙස ගැටලුවක් බවට පත් කරගෙන සිටින බව පෙනී යන බවත් බ්‍රිගේඩියර්වරයා හමුවූ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඊට සුදුසු පියවරක් ගන්නා බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ඉකුත් 70 වන නිදහස් සමරු උත්සවය දා ලන්ඩනයේදී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ නිරත වූ එල්ටීටීඊ හිතවාදීන් පිරිසකට ගෙල පෙන්වා සංඥාවක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා එසේ පැවැසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ ඉදිරිකරන ලද නව සේනාංක ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.