දූෂණ හා වංචා පිළිබඳව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන ඇමැතිවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් සහ තවත් විෂයයන් දෙකකට අදාළව කමිටු දෙකක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

කැබිනට් සංශෝධනයෙන් පසු නීතිය හා සාමය අමාත්‍යංශයේ වැඩ භාර ගනිමින් අගමැතිවරයා ඊයේ (26) උදෑසන නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

දූෂණ හා වංචා මැඬලීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමැති සාගල රත්නායක මහතා ලබාදී තිබූ වාර්තාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබේ. පසුගිය කාලයේදී දිගින් දිගටම අදාළ විමර්ශන ප්‍රමාද වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර, ආණ්ඩුවේ නායකයන් දෙදෙනාම පවසා තිබුණේ එම ප්‍රමාදය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බවයි.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලන පළිගැනීම්වලට අදාළ අභියාචනා පිළිබඳ කටයුතු කඩිනම් කිරීමට තිලක් මාරපන, රංජිත් මද්දුමබණ්ඩාර හා සාගල රත්නායක යන ඇමැතිවරුන්ගෙන් යුතු කමිටුවක්ද මෙහිදී අගමැතිවරයා විසින් පත්කරනු ලැබිණි.

මේ කමිටුව පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මත්ද්‍රව්‍ය වැටලීම් හා සංවිධිත අපරාධ මැඩලීමේ කටයුතු දිගටම ක්‍රියාත්මක කරමින්, අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවය. මේ සඳහා පොලිස් නිලධාරීන්ගේ සුබසාධන සහ අනෙකුත් කටයුතු විධිමත් කිරීම අත්‍යවශ්‍ය බවද අගමැතිවරයා පෙන්වා දී ඇත. විශේෂයෙන්ම කාන්තා හිංසනය සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බවද සඳහන් කර ඇති අගමැතිවරයා, පොලීසිය විසින් පවරනු ලබන නඩුවලින් අවාසිදායක තීරණයක් ලද වහාම ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබිය යුතු බවද අවධාරණය කර තිබේ.

මීට අමතරව අපරාධ යුක්තිය පිළිබඳව විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් හා තලතා අතුකෝරාළ,  සාගල රත්නායක යන ඇමැතිවරුන්ගෙන් යුත් තවත් කමිටුවක්ද පත් කර ඇත.