දියතලාව, කහගොල්ලේදී පෙරේදා (21) අලුයම සිදු වූ පිපිරීම පිළිබඳව සමාජ මාධ්‍ය හා වෙනත් ක්‍රමවේද ඔස්සේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන්නන් ගැන පරීක්ෂණ පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ වගකිවයුතු අංශවලට උපදෙස් දී තිබේ.

සිද්ධිය පිළිබඳ පළ වන අසත්‍ය ප්‍රචාර ජාතික ආරක්ෂාවට ගැටලුවක් ඇති කිරීමට හා රට තුළ සාමයට හානියක් සිදු කිරීමට ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රකාශකයෙක් ‘රැස’ට පැවසීය. මේ සිද්ධිය යොදාගනිමින් ත්‍රස්තවාදය සහ වෙනත් ජාතිවාදී කරුණු විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන බව දැනුම් දීමෙන් පසු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසද දැනුම් දී ඇත.

අදාළ බස් රථය දියතලාවේ සිට මහියංගනය-හෙබරව දක්වා ගමන් කරමින් තිබියදී පිපිරීමකින් පසුව ගිනි ගැනීමට ලක් විය. එහි ගමන් කරමින් සිටියදී තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ රෝගීන් 14 දෙනකු ඊයේ  (22) වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් අමරකෝන් මහතා පැවසීය. එම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගෙන් අයකු ඊයේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටි බව කියා සිටි හෙතෙම, වැඩි දුරටත් ප්‍රකාශ කළේ මෙම සිද්ධිය නිසා තුවාල ලබා රෝහල්ගත කළ පිරිස අතරින් තදබල තුවාල ලබා සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගේ පාදවල බෝම්බයක් වැනි යමක් පුපුරායාමෙන් විසි වූ බව සිතිය හැකි ලෝහ කොටස් බහුලව දක්නට ලැබුණු නමුත් සෙසු තුවාලකරුවන් බොහොමයකගෙන් දක්නට ලැබුණේ එසේ නොවන තුවාල බවයි. තුවාල ලබා  සිටි කාන්තාවන් දෙදෙනා ඊයේ දිනය වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවද  අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහගෙන් කළ විමසීමේදී හෙතෙම කියා සිටියේ මේ පිළිබද පවත්වන පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවය. ඒ සම්බන්ධව අප යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගෙන් විමසා සිටි විට යුද හමුදාව මේ සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණය සම්බන්ධයෙන්ද මෙතෙක් නිශ්චිත කරුණක් කිව නොහැකි බව පැවසීය.

[ශිවන්ති ප්‍රනාන්දු] [නුවන් මහේෂ් ජයවික්‍රම]